අද අප ඉන්නේ මහත්මා ගාන්ධිලා සිය දෙනෙක් අවශ්‍ය යුගයකයි : ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

 ඡායාරූපය:

අද අප ඉන්නේ මහත්මා ගාන්ධිලා සිය දෙනෙක් අවශ්‍ය යුගයකයි : ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

මහත්මා ගාන්ධිතුමා වැනි චරිත අපට අද දකින්න නොලැබුණත් මහත්මා ගාන්ධිලා එක් කෙනෙක් නොව සියයක් අවශ්‍ය වන යුගයකයි අපි අද ඉන්නේ. එතුමාගේ චරිතය පිළිබඳ අධ්‍යයනය කරමින් එතුමා ලබාදුන් ආදර්ශය ක්‍රියාවට නංවමින් නව ගමන්මඟක ඉදිරියට යා යුතුයි” යනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා (12) ගාන්ධිතුමාගේ 150 වැනි ජන්ම දිනය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පැවැති විශේෂ විවාදයකට එක් වෙමින් පැවැසීය. එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේද කීය.

“මහත්මා ගාන්ධිතුමා විසිවන සියවසේ මුල්භාගයේ දී මුළු මහත් මානව සමාජයටම බිහි වූ සැබෑ මානවවාදියෙක්. විශිෂ්ටයෙක් සහ ශ්‍රේෂ්ඨයෙක්. අපි අද එක්වී සිටින්නේ එතුමාගේ ගුණ සිහිපත් කරන්න. සැබෑ ලෙසම එතුමා දේශපාලනඥයෙක් නොවෙයි, දේශපාලනඥයෙක් නොවූ මානවවාදියෙක්. මහා භාරතය බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස ලබාගැනීම සඳහා ගෙන ගිය ජාතික නිදහස් අරගලයට තමාගේ සමකාලීන නායකයන් සමඟ එතුමා දුන් විශිෂ්ට නායකත්වය හිංසාවාදයෙන් සහ ප්‍රචණ්ඩත්වයෙන් තොරයි. දේශපාලනඥයන් වෙනත් මහජන අරගලවල දී අද ඇති කරගන්නා වූ ගැටුම්වලට වඩා වෙනස් තත්ත්වයක ගැටුම්වලට එතුමා සම්බන්ධ වුණේ.

“මහත්මා ගාන්ධි චරිතය ඉන්දීය ජනතාව අතර පමණක් නොවෙයි අසල්වැසි මිත්‍ර රාජ්‍යයක් විදියට අපේ රටේත් සමස්ත ලෝකයේත් ගෞරවයට, ප්‍රණාමයට, භක්තියට, ආදරයට, සෙනෙහසට, දයාවට ලක් වූ චරිතයක්. එතුමා අපේ රටට පා තැබූ විශිෂ්ට ඉන්දීය නායකයෙක්. බ්‍රිතාන්‍ය පාලනයෙන් බැට කෑ, පීඩනයට පත් වූ ඉන්දීය ජනතාව ඉතා දක්ෂ ලෙස හසුරුවනු ලැබූ ආකාරයට සහ දුන් විශිෂ්ට නායකත්වයට එතුමා උසස් අධ්‍යාපනයෙන් ලබාගත් දේ සහ බැරිස්ටර්වරයකු විදියට ලැබූ අත්දැකීම් හේතුවෙන්න ඇති. එතුමා තුළ තිබූ හික්මීම, විනයගරුකභාවය, ඉවසීම, සැබෑ ලෙස මිනිසුන්ට ආදරය කිරීම ආදී විශිෂ්ට ගුණාංගවලට අද සමාජය වගේම හෙට උපදින දරුවනුත් ගෞරව කරාවි. ප්‍රචණ්ඩත්වයෙන් සහ හිංසාවෙන් තොරව ජනතාව ඒකරාශී කර ගනිමින් ගෙන ගිය එතුමාට ආවේණික වූ සටන් විලාසය කිසිවකට සම කළ නොහැකියි. අපි අද කළ යුත්තේ ඒ විශිෂ්ට චරිතය පිළිබඳ ගුණ ගායනා කිරීම සහ ඒ චරිතය සිහිපත් කිරීම පමණක් නොවෙයි. එතුමාගේ චරිතයෙන් ගත යුතු සහ ගත හැකි ආදර්ශ බොහෝමයි. අප වගේම අපේ රටේ උගත් නව පරපුර, හෙට උපදින දරුවන් ඒ විශිෂ්ට චරිතයේ ගති ලක්ෂණ, ගුණාංග ආදර්ශයට ගත යුතුයි. මහත්මා ගාන්ධිතුමා පිළිබඳ චරිත කතා පොත් කොතෙක් කියවා ඇත්දැයි මට මතකයක් නැහැ. ඒ තරමටම ගාන්ධි චරිත කතා මම කියවලා තිබෙනවා. මගේ නිල නිවසේ මහජන හමුවීම් තබන ස්ථානයේ බිත්තියේ මුදුනෙන්ම තිබෙන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ පුංචි ප්‍රතිමාවක්. ඒ බුදුන් වහන්සේගේ ප්‍රතිමාවට යටින් තිබෙන්නේ මහත්මා ගාන්ධිතුමාගේ ඡායාරූපයක්. ඒ චරිතය අප අධ්‍යයනය කළ යුතු චරිතයක්. ඒ චරිතය අපි කියවිය යුතු චරිතයක්.

“බ්‍රිතාන්‍ය පාලනයට විරුද්ධව එතුමා ගෙන ගිය අරගලය නිසා බ්‍රිතාන්‍ය පාලනයෙන් මහා භාරතයට නිදහස ලැබෙන බවට වන නිල නිවේදනය නිකුත් කරන්න සතියකට පමණ පෙර මහත්මා ගාන්ධිතුමාට ඒ බව දැනගන්න ලැබුණා. ඒ පණිවුඩය දුන්නේ එවකට ඉන්දියාවේ සිටි බ්‍රිතාන්‍ය පාලනය විසින් පත් කරනු ලැබූ ආණ්ඩුකාරතුමා. ඒ පණිවුඩය දුන්නාට පසුව මහත්මා ගාන්ධිතුමා වසර ගණනාවක සිටම ගෙන ගිය භාරත නිදහස් ජාතික සටනට නායකත්වය දුන් තමාගේ සමකාලීනයන් රාශියක් එක මේසයකට කැඳෙව්වා. එහි දී සමකාලීන ඉන්දීය ජාතික සටනේ නායකයින්ට ගාන්ධිතුමා කිව්වා අපිට තව දින කීපයකින් බ්‍රිතාන්‍ය පාලනය නිදහස ලබා දෙනවා. ඒ සමගම ඉන්දියාවේ පළවෙනි නිදහස් ආණ්ඩුව හදන්න අපි සූදානම් වෙන්න ඕනෑ කියලා. ඒ නිදහස් ආණ්ඩුව හදන විට අප සියලු දෙනාම එකට කටයුතු කරන්නට ඕනෑ කියලා එතුමා කියා තිබෙනවා. නිදහස දෙන අවස්ථාවක පකිස්තානය ඉන්දියාවෙන් වෙන් කර දිය යුතු බව ඒ වන විටත් බ්‍රිතාන්‍ය පාලනයට දැනුම් දී සිටි පකිස්තානය නිර්මාණය කළ නිර්මාතෘවරයා මොහොමඩ් අලි ජින්නා මැතිතුමාත් ඒ සාකච්ඡාවට සහභාගි වුණා.

“නිදහස ලැබෙනවාත් සමඟම හෝ ඊට පෙර අපට පකිස්තානය වෙන් කර ගෙන වෙනම රාජ්‍යයක් විදියට අවශ්‍යයි කියලා මොහොමඩ් අලි ජින්නා මැතිතුමා එහි දී කියා තිබෙනවා. මහත්මා ගාන්ධි දේශමාමකයෙක්, දේශප්‍රේමියෙක්, දේශජයෙක් විදියට එතුමාගේ චරිතයේ තිබූ ලක්ෂණ පෙන්නුම් කරමින් පකිස්තානය කියා වෙනම කොටසක් මේ රටින් වෙන් කර ඉල්ලන්න එපා. ඉන්දියාවෙන් පකිස්තානය කියලා වෙන් කරලා රාජ්‍යයක් ඉල්ලන්න එපා. අපි සියලු දෙනාම එකම රටක ජීවත් වෙමු කියලා කිව්වා. මොහොමඩ් අලි ජින්නා මැතිතුමාට ඒ පිළිබඳ බොහෝ කරුණු ඉදිරිපත් කෙරුවා. බොහෝ තර්ක විතර්ක ඉදිරිපත් කෙරුවා. එය බොහෝ සංවාදශීලී වටමේසයක් බවට පත් වුණා. අවසානයේ මොහොමඩ් අලි ජින්නා තදින්ම කියා සිටියා අපට පකිස්තානය වෙන් කර ගැනීම ඉතාමත් අත්‍යවශ්‍යයි කියලා. එවිට ගාන්ධිතුමා මොහොමඩ් අලි ජින්නාට කියනවා ඔබ පකිස්තානය කියා රටක් වෙන් නොකර මේ මහා භාරතයේ අගමැති වෙන්න. ඔබ මේ රටේ නායකයා වෙන්න. ඔබ මේ රට භාරගන්න. කැමති ඇමැති මණ්ඩලයක් පත් කරගන්න. කැමති හමුදාපතිවරු පත් කරගන්න. ඔබට කැමති අමාත්‍යංශ ලේකම්වරු පත් කරගන්න. මේ සටන ගෙන ගිය මේ සමකාලීන මිත්‍රයින් සමඟ ඔබ රටේ නායකයා වී ඉන්දියාව ඉස්සරහට ගෙනියන්න කියලා. නමුත් එයට මොහොමඩ් අලි ජින්නා මැතිතුමා කැමති වුණේ නැහැ. පකිස්තානය වෙන් කරන ලෙසම ඉල්ලා සිටියා. මහත්මා ගාන්ධි නම් වූ ඒ ශ්‍රේෂ්ඨ මානවවාදියා, ඒ ශ්‍රේෂ්ඨ යුග පුරුෂයා, ඒ විසිවන සියවසේ ලෝකයටම ආදර්ශයක් දුන් මහා සැබෑ මිනිසා ඒ වෙලාවේ මහා හයියෙන් හැඬූ බව එතුමාගේ චරිත කතාවේ සඳහන් වෙනවා. එසේ කඳුළු සලමින් මහත්මා ගාන්ධිතුමා මොහොමඩ් අලි ජින්නාගෙන් ඉල්ලා සිටියා පකිස්තානය කියලා වෙනම කොටසක් ඉල්ලන්න එපා කියලා. නමුත් අවසානයේ ඒ ඉල්ලීමට ඉඩ ලැබුණේ නැහැ. පකිස්තානය කියා වෙනම රටක් හැදුණා. වෙන් වුණා. ඉන්දු - පකිස්තාන් දේශසීමා අරගල පිළිබඳ අපි කියවා තිබෙනවා. ඉන්දු - පකිස්තාන් දේශසීමාවල ඇති වන යුද්ධ පිළිබඳ අපි දන්නවා. අපි දැක තිබෙනවා.

“ඉන්දියාව නිදහස ලබාගත්තායින් පසුව මේ වන විට දහස් ගණනක් මියගිය බව අපි දන්නවා. දෙරටේම ආර්ථිකය කොතරම් විනාශ වුණාද කියන කාරණාව අපි දන්නවා. අදත් පකිස්තානය සහ ඉන්දියාව සිය දේශසීමා අතරේ ගැටුම් වළක්වා ගැනීමට කොපමණ ආරක්ෂක වියදම් ප්‍රමාණයක් දරනවාද කියන එක ඒ රටවල්වල අය-වැය යෝජනා තුළින් පැහැදිලි වෙනවා. රටවල් දෙක වෙන් වීමත් සමඟ ලක්ෂ ගණන් ජනතාව පාකිස්තාන් දේශයේ සිට ඉන්දියාව පැත්තටත් ඉන්දීය දේශයේ සිට පාකිස්තානය පැත්තටත් මහා පෙරහැරවල් වගේ ගංගාවල් ගලනවා වගේ ගලායන්න පටන් ගත්තා. එකම රටක ජීවත් වූ එකම සහෝදර ජනතාව රටවල් දෙකක් වීමෙන් පසුව ඒ කටුක අත්දැකීම ඒ ජනතාව ලැබුවා. ඒ කටුක අත්දැකීම තුළ බොහෝ ප්‍රශ්න ඇති වුණා. බොහෝ දේශපාලන, සමාජ, ආර්ථික ප්‍රශ්න ඇති වුණා.

“ඒ අතරේදි හින්දු අන්තවාදීන් කණ්ඩායමක් මහත්මා ගාන්ධිතුමා කැමැත්තෙන් තමයි ඉන්දියාවෙන් පකිස්තානය කියන රට වෙන් කරලා දුන්නේ කියලා සැක කළා. අනතුරුව කුමන්ත්‍රණ කරලා ඔවුන් මහත්මා ගාන්ධිතුමාව අමු අමුවේ ඝාතනය කළා. එතුමා සහභාගි වූ උත්සවයකට එතුමාව පිළිගන්නා වේෂයෙන් ආපු ඝාතකයා, සිය ඉනේ සඟවා ගෙන තිබූ රිවෝල්වරය අරගෙන එක දිගට මහත්මා ගාන්ධිතුමාට වෙඩි තියන්න පටන් ගත්තා. එයින් තමයි එතුමාගේ අභාවය සිදු වුණේ.

“අද ලෝකයම ගරු කරන මානවා දී, දේශපාලනඥයකු නොවූ නමුත් ජාතික නිදහස් සටන් අරගලය ගෙන ගිය විශිෂ්ට, ශ්‍රේෂ්ඨ ශාන්තුවරයෙක් වශයෙන්ද හඳුන්වනු ලැබූ ඒ සැබෑ ගුණගරුක මිනිසා සඳහටම අපෙන් සමුගත්තේ ඒ විදියටයි. මහත්මා ගාන්ධිතුමාගේ ගුණ සමරන මේ අවස්ථාවේ එම ශ්‍රේෂ්ඨ චරිතය පිළිබඳ ගුණකථනයක් කරන්න එතුමාගේ චරිතය සැම විටම අගය කරන සහ මේ රටේ ප්‍රධාන මහජන සේවකයා විදියට මේ ලැබුණු අවස්ථාව පිළිබඳ මාගේ සතුට ප්‍රකාශ කරනවා වගේම ගරු සභාවේ කාලය වෙන් කරලා මට මේ අවස්ථාව ලබාදීම පිළිබඳ මම බෙහෙවින් සතුටු වෙනවා.

“අපි අදත් හෙටත් එතුමාට ගරු කරනවා. එතුමාගේ චරිතය අධ්‍යයනය කිරීමෙන් අද ලෝකයේ තිබෙන බොහෝ ප්‍රශ්නවලට විසඳුම් සොයාගන්න පුළුවන්. අනන්‍යතාව, ජාතිකත්වය, වාර්ගික අර්බුද දේශසීමා අරගල, අභ්‍යන්තර ගැටුම් පවතින රටවල්වලට සහජීවනය, සංහිඳියාව ඇති කරගන්න එතුමාගේ චරිතය මහඟු ආදර්ශයක්. ඇතැමුන් අපට විහිළු කරන්න පටන්ගත්තත් යහපාලනය තිබෙන රටක තිබිය යුතු, ජාතීන් - ආගම් රාශියක් නියෝජනය කරන රටවල්වල තිබිය යුතු, සැබෑ සංහිඳියාව මහත්මා ගාන්ධිතුමාගේ චරිත කතාවෙන් පෙන්වා දී තිබෙනවා. එතුමාට ඉතාමත් දක්ෂ, විශිෂ්ට මහා වාග්කෞෂල්‍යයක් තිබුණා. බ්‍රිතාන්‍ය පාලකයින්ට තර්ජන ස්වරූපයෙන්, එහෙත් සෙනෙහසින් සහ අවිහිංසාවෙන් එතුමා එල්ල කළ වාග් ප්‍රහාරවලට බ්‍රිතාන්‍ය පාලකයින් පවා බියට පත් වුණා. ඒ වාග් ප්‍රහාරවලින් පවා ආදර්ශයට ගත හැකි බොහෝ දේ තිබෙනවා.

“මහත්මා ගාන්ධිතුමා වැනි චරිත අපට අද දකින්න නොලැබුණත් මහත්මා ගාන්ධිලා එක් කෙනෙක් නොව සියයක් අවශ්‍ය වෙන යුගයකයි අපි අද ඉන්නේ. එතුමාගේ චරිතය පිළිබඳ අධ්‍යයනය කරමින් එතුමා ලබාදුන් ආදර්ශය ක්‍රියාවට නංවමින් නව ගමන් මඟක ඉදිරියට යමුයි කියන ගෞරවනීය ඉල්ලීම කරමින් මගේ කතාව අවසන් කරනවා”

මාතෘකා