ඉදිරියේදී දුම්රිය ආරක්ෂක නිලධාරීන් සිවිල් ඇඳුමින් රාජකාරි කටයුතු කළ යුතුයි : ඇමැති නිමල් සිරිපාල ද සිල්වා

 ඡායාරූපය:

ඉදිරියේදී දුම්රිය ආරක්ෂක නිලධාරීන් සිවිල් ඇඳුමින් රාජකාරි කටයුතු කළ යුතුයි : ඇමැති නිමල් සිරිපාල ද සිල්වා

දුම්රිය සේවාවේ ගුණාත්මකභාවය සඳහා සහ ජනතාවගේ ආරක්ෂාව සඳහා දුම්රිය ආරක්ෂක නිලධාරීන් සිවිල් ඇඳුමින් සැරසී රාජකාරී කටයුතුවල නිරත විය යුතු බව ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අවධාරණය කරයි. ඊයේ (09) මරදාන දුම්රිය මූලස්ථාන ශ්‍රවණාගාරයේ පැවති උත්සවයකදී හෙතෙම මේ බව පැවසීය.

“දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයින් තම සේවා තෘප්තිය ලබාගත්තේ වැඩ වර්ජන කිරීමෙන් තම වැටුප් වැඩිකරගැනීම නිසයි. අනිත් අංශයේ සේවාවලින් ඔවුන්ට තෘප්තියක් ලැබුණෙත් නැහැ. දෙපාර්තමේන්තුවට තෘප්තියක් ලැබුණෙත් නැහැ. එයට හේතුවූයේ මෙම බඳවාගැනීම් හා උසස්වීම් ක්‍රමවේදයේ තිබුණු විසඳාගත නොහැකි වු ගැටලුකාරී ස්වාභාවයයි. එම තත්ත්වය පසුගිය කාල පරිච්ඡේදය තුළ විසඳාගනිමින්, කාලයක් පුරා නොවිසඳී තිබුණු උසස්වීම් ඔබට අද ලබාදීමට හැකිවූවා. නමුත් තවමත් එය අවසන් වී නැහැ.

එදා සර් ජෝන් කොතලාවල මහතා ආරම්භ කල දුම්රිය ආරක්ෂක අංශයට වඩා අද පුළුල් ක්ෂේත්‍රයක් ආවරණය වෙනවා. අද අපේ සමාජ රටාව වෙනස්. එදා දුම්රිය ආරක්ෂක සේවාව ඇති කළේ, දුම්රියෙන් ප්‍රවාහනය කරන ආහාර ද්‍රව්‍ය පැහැරගන්නන්ගෙන් ආරක්ෂාකර ගන්න. ඒත් අද දුම්රිය දේපළත්, දුම්රිය මගීනුත් සොරුන්ගෙන් ආරක්ෂා කරගන්න වෙලා තියෙනවා.

ඒ වගේම අලුතින් එක්වන දුම්රිය මැදිරිවල, දුම්රිය එන්ජින්වල හා දුම්රිය මැදිරි උපාංග ආරක්ෂා කරගත යුතුයි. අපට එක එක ආරක්ෂක නිලධාරීයා ඒ ස්ථානවලට යොදවන්න බැහැ. ඒ නිසා තමයි සිවිල් ඇදුමින් සැරසුන ආරක්ෂක නිළධාරීන් දුම්රිය ස්ථාන වලට, දුම්රිය මැදිරිවලට හා දුම්රිය වැඩපලවලට යෙදවිය යුත්තේ.

එම නිසා අපේ පවතින අවශ්‍යතාවයන්ට අනුව දුම්රිය ආරක්ෂක සේවාවද වෙනස් විය යුතුයි. ඉදිරියේදී මාතර-බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ දුම්රිය ස්ථාන වලටත්, ආරක්ෂක අංශයේ නිලධාරීන් යෙදවිය යුතුයි. අපි තවත් ආරක්ෂක නිලධාරීන් 150ක් බඳවා ගැනීමට කටයුතු කරනවා. එහෙත් පවතින පරිපාලන කටයුතු අවසන් වන විට තවත් කාලයක් ගතවේවි”

මාතෘකා