මන්ත්‍ර කියන ගොබෙල්ස්ලා දන්න ඇත්තක් නෑ : ඇමැති මංගල සමරවීර

 ඡායාරූපය:

මන්ත්‍ර කියන ගොබෙල්ස්ලා දන්න ඇත්තක් නෑ : ඇමැති මංගල සමරවීර

ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම ණය ප්‍රමාණය ගෙවීමට 2018 වර්ෂයේදී ලංකාවට සිදු වූ බවත්, 2019දී ට්‍රිලියන 2කට වඩා වැඩි ප්‍රමාණයක්ද, 2020දී ඒ හා සමාන ප්‍රමණයක්ද ණය ගෙවීමට සිදුවන බවත්, මේ සම්පූර්ණ ණය ප්‍රමාණයෙන් සියයට 83ක්ම රාජපක්ෂ සමයේ ණය බවත් මේ සියල්ල රාජපක්ෂ පිළට අමතක බවත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

ඊයේ (9) සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.

"රුපියල කඩා වැටීම නිසා ආර්ථිකය කඩා වැටෙනවා කියලා උදේ දවල් රාත්‍රී මන්ත්‍ර කියමින් ගොබෙල්ස් න්‍යායක් රට පුරා ව්‍යාප්ත කරන්න පටන් අරගෙන තියෙනවා. මේ අය පසුගිය රජය සමයේ සිදු වූ මහා ආර්ථික කඩා වැටීම, ඊයේ පෙරේදා ඉපදුණ අත දරුවන් වගේ අමතක කරලා. 2015 ජනවාරි මාසයේ 8 වැනිදා අපේ රජය භාර ගත්තේ රාජ්‍ය මූල්‍ය ආර්ථික කාල බෝම්බයක්. ඇත්තෙන්ම කියතොත් අතීතය ගැන වැඩිය කතා කරන්න අමතක වුණත් අද අතීතය අමතක කරන අත දරුවෝ විශාල ප්‍රමාණයක් පාර්ලිමේන්තුවේ ඉන්නවා.

"මේ රාජ්‍ය මූල්‍ය කාල බෝම්බය කොයි තරම් විනාශයක් කරා රට ඇදලා දැම්මාද? ඒ ගැන මතක් කළ යුතුයි.

"උදාහරණයක් ලෙස රාජ්‍ය ආදායම දිගින් දිගටම පහත වැටුණ කාලයක් ලබා දුන්නා. 1990 සාපේක්ෂව රටේ ආදායම අඩු වෙලා. 1990 දී සියයට 20ක් 21ක් තමයි රටේ ආදායම තිබ්බේ. නමුත් රාජපක්ෂලාගේ ඒ ඥාති හිතමිත්‍ර ආර්ථිකයෙන් පසු 2014 දී එය 11.4 දක්වා කඩා වැටුණා. රාජ්‍ය ආදායම 2006 දී සියයට 25.8 සිට 2014 දී සියයට 5.1 දක්වා කඩා වැටුණා. ඒ විතරක් නෙමෙයි රාජ්‍ය වියදම රාජ්‍ය ආදායමට වඩා ඉහළ අගයක් ගත්තා. මෑත ඉතිහාසයේ කවදාවත් මෙහෙම වුණේ නැහැ.

"2014 වන විට රාජ්‍ය ආදායම හා වියදම අතර වෙනස දැවැන්ත සෘණ අගයක් දක්වා වැඩි වුණා. විශාල ආර්ථික අවුලක් තිබුණා. පුනරාවර්තන වියදම් අඛණ්ඩව ඉහළ ගියා. පුනරාවර්තන වියදම්වලින් සියයට 66ක් වැටුප් හා පොලී ගෙවන්න වියදම් වුණා. වැටුප් හා වේතන හා සහනාධාර පොලී ඉහළ ගියා. මේ කාලයේ විශ්‍රාම වැටුප් ගෙවීම හය ගුණයකින් පමණ වැඩිවීම රාජ්‍ය වියදම් කළමනාකරණයට බලපෑවා. ඒ වගේම ප්‍රාග්ධන ආයෝජන සම්පූර්ණයෙන්ම අඩාළ වුණා.

රාජ්‍ය ණය ඉතාමත්ව ශීඝ්‍රයෙන් ඉහළ ගියා. මේ නිසා අපිට ණය කන්දක් හිමිවුණා. මේ නිසා 2018 වර්ෂයේ ලංකා ඉතිහාසයේ වැඩිම ණය ගෙවන්න අපිට වුණා. අපිට බිලියන 1900ක් ගෙවන්න නියම වුණා. 2019 වර්ෂයේදී ට්‍රිලියන 2කට වඩා වැඩි ප්‍රමාණයක් ගෙවන්න වෙලා. 2020දී ඒ හා සමාන ප්‍රමාණයක් ගෙවනවා. ඊළඟ වසර 2දී ට්‍රිලියන 4ක් ගෙවන්න ණය ගන්න සිදු වුණා. මේ සම්පූර්ණ ණය ප්‍රමාණයෙන් සියයට 83ක්ම රාජපක්ෂ ණය. මේව අමතකයි මේ මිනිස්සුන්ට. ඔවුන් ජනතාව නොමඟ යවනවා. ඒ අයගේ කොමිස් කුට්ටි සංවර්ධන ව්‍යාපෘති නිසා රාජ්‍ය ණය තවත් වැඩි වුණා.

"හම්බන්තොට වරායේ අලාභය 2016 දක්වා රුපියල් බිලියන 46යි. බොහෝ අමාත්‍යංශවලට අවුරුද්දකට මේ තරම් මුදලක් ලැබෙන්නේ නැහැ. 2016 මත්තල ගන්නකොට රුපියල් බිලියන 8.3යි. මිහින් ලංකා සමාගම භාරගන්න කොට අලාභය බිලියන 17.3යි. 2017 මාර්තු මාසය වනවිට ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සමුච්චිත අලාභය රුපියල් මිලියන 169යි. ලංකාවේ ණය වැඩියෙන් ගෙවන වසර කිහිපය 2018, 2019, 2020යි. විදේශීය ණය ගෙවද්දි විදේශීය සංචිත කිහිපය ගැන විශාල අවධානයක් යොමු කරන්න වෙනවා.

"රුපියල අවප්‍රමාණය වීමට හේතුව විදේශීය ණය පියවීමේදී ඇතිවුණ මහා පීඩනය. ඒ වගේම 2013/14 ආර්ථික වර්ධන වේගයක් ඇති වුණත් යුද්ධය නිමාවෙන් ඇති වුණ තත්ත්වය රටේ වාසියට හරවගන්න බැරි වුණා. ඔවුන් හැදුවේ පවුල ගොඩ නඟන්න. 2012, 9.3ට තිබුණ අර්ථික වර්ධන වේගය 3.4 දක්වා වැටුණා. ඒ වගේම ලංකාවේ අපනයන දිගින් දිගටම පහළ වැටුණා. 2000 දී දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 33ක් තිබ්බ අපනයන 2014 දී සියයට 14ට අඩු වුණා. මේ විදිහට විශාල වශයෙන් කඩා වැටුණා. රාජ්‍ය ආදායම පහළට වැටුණා. 2015 දී අපි ඒත් භාර ගත්තා.

"අපි රාජපක්ෂලා ණය කියලා අතහැරියේ නැහැ. අභියෝගයට සාර්ථකව මුහුණ දුන්නා. අද කවුරු මොනව කිව්වාත් ආර්ථිකය සාර්ථකව ශක්තිමත්ව අහියෝග හමුවේ ඉදිරියට යනවා. අපි ඉන්නකම් ආර්ථිකය වැටෙන්න දෙන්නේ නැහැ. කවුරු මොනව කිව්වාත් මේ ආර්ථිකය ශක්තිමත්. පසුගිය වසරේ නිඟයක් ගංවතුරක් තිබ්බා. ඒ නිසා වර්ධන වේගය 3.1 දක්වා අඩු වුණත් පසුගිය කාර්තුවේ 3.7 දක්වා වැඩි වුණා. ඒ වගේම මේ වසරේ වර්ධන වේගය 4 දක්වා වැඩි කරනවා. ඇත්තෙන්ම රටේ ආදායම කඩාගෙන වැටුණත් මේ වසරේ රජයේ ආදායම පළමු කාර්තුවේ සියයට 12.3කින් වැඩි වුණා. ඒ විතරක් නෙමෙයි උද්ධමනය අඩු වෙලා තිබෙනවා.

තාමත් මේ රට රැකෙන්නේ වක්‍ර බදුවලින්. කන කෑමවලින් තමයි බදු ගන්නේ අපි. නමුත් සල්ලි ව්‍යාපාරිකයෝ, වෘත්තිකයෝ තියෙන අය ගෙවන්නේ සියයට 18යි. සියයට 82ක් වක්‍ර බදුවලින් ආදායම එනවා. මේ වෙනකොට බදු ලිපි ගොනු ලක්ෂය දක්වා වැඩි කළා. සාමාන්‍ය ජනතාවට මේ නිසා පීඩනයක් නැහැ. බදු බරින් සාමාන්‍ය ජනතාව තැලිලා කියලා පත්තරවල කිව්වත් අපි බදු සහන දුන්නා. මාසික ආදායම ලක්ෂයකට වඩා වැඩි නම් විතරයි බදු ගෙවන්න ඕන.

අවුරුද්දකට ලක්ෂ 12ක ආදායමක් තියෙනවා නම් විතරයි බදු ගන්නේ. මේ බදු ගැන හා නොගෙවන අය ගැන එක එක දේවල් කියනවා. මං දන්නේ නැහැ බන්දුල ගුණවර්ධන මහත්තයාවත් බදු ගෙවනවද කියලා. ඒ අය මහ ලොකුවට කතා කරනවා. ඒ අයගේ බදු ගැන කතා කරන්න ගියොත් වෙනම වෙලාවක් යනවා.

"මෙහිදී වැඩිපුර කෑ ගහන්නේ නොගෙවන අයයි. අද ලංකාව ආසියා කලාපයේ අඩුම ආදායම් බදු ගන්න රටක් ලෙස හෙළිවෙලා තිබෙනවා. ඉන්දියාවේ සියයට 30, 35 ඉක්මවලා. පෞද්ගලික අංශය කියන්නේ හැමදේම නොමිලේ දෙන්න කියලා. ඒත් විශේෂයෙන් සල්ලි තියෙන අයට නොමිලේ දෙන එක නතර කරලා නොමිලේ දිය යුතු අයට දිය යුතුයි. දුප්පත් අයගේ ආදායම පොහොසත් අය වෙනුවෙන් කැප කරන්න බැහැ. ඒක අපේ ප්‍රතිපත්තියක්. ඒ වගේම අපේ තවත් විශේෂ සලකුණු තිබෙනවා. ලංකාවේ ඉතිහාසයේ හොඳම අපනයන වර්ෂය 2017. පළමු මාස 7ටක් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.35ක අපනයන කරලා තියෙනවා. ඒ අනුව පසුගිය වසරේ වාර්තාවත් මේ අවුරුද්දේ කඩන්න පුළුවන්.

"ඇත්තටම දැනට ලෝකයේ දේශීය මුදල් අවප්‍රමාණය වීමේ රටවල් අතුරින් මේකට හොඳින්ම මුහුණ දුන්නේ ලංකාව. ඉන්දියාවේ රුපියල වාර්තාගත ලෙස අඩු වෙලා. පාකිස්තාන රුපියලත් එහෙමයි. ඔස්ට්‍රේලියාවේත් අවප්‍රමාණය වුණා. රුසියාවත් අවප්‍රමාණය වුණා. අපේ රුපියල සියයට 10ක් විතර අවප්‍රමාණය වුණා. 170.64යි අපේ රුපියල. තව වැඩි වෙන්න පුළුවන්. ඒත් අපි ඒක වැළැක්වීමට අපේ විදේශ සංචිත නාස්ති කළේ නැහැ. අපි මේ වනවිට අවප්‍රමාණය නවත්ව ගන්න ඩොලර් මිලියන 250යි වියදම් කළේ. නමුත් අද ආර්ථීක ඔස්තාර්ලා හැටියක කතා කරන මහින්ද රාජපක්ෂ 2012 දී රුපියල සියයට 14කින් මාස 3කින් අවප්‍රමාණය වනවිට එදා මේ වගේ ප්‍රශ්න කරන්න බැහැ. සුදු වෑන්වලින් උස්සනවා.

"රුපියල කඩාගෙන වැටෙනවා කියන එක ආර්ථිකයේ කඩා වැටීමක් නෙමෙයි. ආර්ථික විද්‍යාව අනුව එහෙම වෙනවා කියලා ඔප්පු වෙලා නැහැ. අද අපි හදිසි අවශ්‍යතා හැරෙන්න හාල් පිටරටින් ගෙන්වන්නේ නැහැ. පිටරට භාණ්ඩ ගෙන්වනවා නම් රුපියල අවප්‍රමාණය වෙනවා. දැන් අපි ආනයනය කරන එක අඩු කරලා. ඉන්ධන මිල නිසාත් අවප්‍රමාණ වෙනවා. මොන අවප්‍රමාණය වුණත් ගෑස්, ඉන්ධන, කෑම මිල අඩුයි. නමුත් මේක සාමාන්‍ය අයට බලපාන්නේ නැහැ. මේක බලපාන්නේ වාහන ගන්න අයටයි පිටරට සුඛෝපභෝගී දේවල් ගේන අයට විතරයි."

මාතෘකා