රුපියල රැක ගැනීමට අපනයන වැඩි කළ යුතුයි : අමාත්‍ය මහින්ද සමරසිංහ

 ඡායාරූපය:

රුපියල රැක ගැනීමට අපනයන වැඩි කළ යුතුයි : අමාත්‍ය මහින්ද සමරසිංහ

තිරසාර ආර්ථික වැඩපිළිවෙළකට යාමට නම් රුපියල ආරක්ෂා කර ගත යුතු බවත් ආර්ථික වර්ධනයක් ලබා ගැනීමට නම් අපනයනය වැඩිදියුණු කළ යුතු බව මහබැංකු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා පවසා ඇති බව ශ්‍රීලනිප මාධ්‍ය ප්‍රකාශක වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ඊයේ (04) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

එහිදී වැඩිදුරටත් එතුමා මෙසේ පැවසීය,

“අපනයන ක්ෂේත්‍රය නියෝජනය කරන්නන්ට සහන සැලසීමට සහ වෙනත් ප්‍රවේශ සකසා දීමට කටයුතු කිරීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. ඒ තීරණය සමග විදේශ සංචිතය තවදුරටත් ශක්තිමත් කිරීමට හා භාණ්ඩ මෙරටට ගෙන්වීමේදී පාලනයක් ඇතිව කල යුතු බවටත් තීරණයක් ගෙන තිබෙනවා. මහබැංකු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති පී. නන්දලාල් වීරසිංහ මහතා ඒ ගැන පසුගියදා මාධ්‍ය වෙත කියා තිබෙනවා.

මේ වන විට අපනයන ක්ෂේත්‍රයේ විශාල වර්ධනයක් ඇති වී තිබෙනවා. නමුත්, ඊට සාපේක්ෂව ආනයන ක්ෂේත්‍රයේත් වැඩි වීමක් තිබෙනවා. ආනයන ක්ෂේත්‍රයට එකවරම තහංචි දැමීම කළ නොහැකියි. එය අහිතකර බව මහබැංකු නියෝජ්‍ය අධිපතිවරයා පෙන්වා දුන්නා. ඇතැම් භාණ්ඩ ආනයනය කිරීමේ අරමුණ අපනයන භාණ්ඩයේ අවසාන ඵලය සකසා ගැනීමයි. උදාහරණයක් ලෙස ඇඟලුම් ක්ෂේත්‍රයට අදාල අමුද්‍රවයක් වන රෙදි ආනයනය කළත්, අවසාන නිෂ්පාදනය විදේශ විනිමය විශාල වශයෙන් ගෙන එමින් වෙළදපොල අල්ලාගැනීමට සමත්ව ී තිබෙනවා.

ආනයනයේදී රටට මොකද්ද අවශ්‍ය, මොකද්ද අවශ්‍ය නොවන්නේ කියා සැලකිලිමත්විය යුතුයි. ඒ අනුව ඊට අදාළ වැඩපිළිවෙළ දැන් සකස් කර ඇති බව පී. නන්දලාල් මහතා පසුගියදා පෙන්වා දුන්නා. මේ වැඩපිළිවෙල මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා යෝජනා කළේ මීට අවුරුදු දෙකකට පමණ පෙර. ආර්ථික සභාව පටන් ගැනීමටත් පෙර කැබිනට් මණ්ඩලයට එතුමා උදාහරණ ඇතිව මේ බව පෙන්වා දුන්නා. ආනයනය අවම කර අපනයනය වැඩි කිරීමට ආදාළ යෝජනා ආර්ථික සභාවේ නියාය පත්‍රයට පවා ඇතුළත් කර තිබෙනවා. දේශීය ව්‍යාපාරිකයන්ට අවස්ථාව ලබාදීමට, දේශීය කර්මාන්ත දියුණු කිරීමට සහ දේශීය ව්‍යාපාරිකයින්ට අතහිතදීමට, ඔවුන්ට සහන සැලසිය යුතුය යන මතයේ ජනාධිපතිවරයා මුල සිටම සිටියා.

ජනාධිපතිතුමා දේශීය ව්‍යාපාරිකයින්ට අවස්ථාව ලබාදී තිබෙනවා, ආර්ථික සභාවට ඔවුන්ගේ අදහස් හා යෝජනා සහ ඔවුන්ට ඇති අභියෝග ගැටලු ඕනෑම අවස්ථාවක අද වන විට ඉදිරිපත් කර විසදුම් ලබාගත හැකියි. එය දේශිය ව්‍යාපාරිකයන් ලද භාග්‍යයක්”

[තියේෂා ද සිල්වා]

මාතෘකා