ජනපති මූලිකත්වයෙන් අඩිතාලම දැමූ දකුණු ආසියාවේ විශාලතම ජල පර්යේෂණාගාරය

 ඡායාරූපය:

ජනපති මූලිකත්වයෙන් අඩිතාලම දැමූ දකුණු ආසියාවේ විශාලතම ජල පර්යේෂණාගාරය

මිනිස් ජීවිතයට මෙන්ම සකලවිධ සත්ත්ව ප්‍රජාවටද ජලය තරම් අත්‍යවශ්‍ය අංගයක් තවත් නොමැත. ජලය දුෂණය වූ විට මෙම දෙපාර්ශ්වයම මහත් වූ ව්‍යසනවලට ගොදුරු වන්නේ සමහර විට සිය ජීවිතයද අකාලයේ අහිමි වීමෙනි.

මෑත කාලයේ ශ්‍රී ලංකාව තුළ ජල තල දූෂණයට ලක්ව ඇත්තේ විවිධ මිනිස් ක්‍රියාකාරකම් හා පාරිසරික සාධඛ වෙනස් වීම මතය. ඉන් වඩාත් ඛේදනීය ඉරණම අත්ව ඇත්තේ මිනිසා සහ සත්ත්වයන් ලෙස කිසිසේත් වර්ග කොට නොව මෙම දෙකොටසම එම දුක්ඛිත ඉරණමට මුහුණ දෙති.

විශේෂයෙන් මිනිස් ජීවිත රැකෙන විට සත්වයන් එවන් විපතකට පත්වන අවස්ථාවලදී සතුන්ට පිහිට වීමට හැකි නමුත් මිනිසා ජලය නිසාම රෝගී වන්නේ නම් සතුන්ටද අත්වන්නේ දුක්ඛිත තත්ත්වයන්මය.

ශ්‍රී ලංකා ජන සමාජය අද විවිධ ලෙඩරෝගවලට මුහුණ දෙති. ඉන් වඩාත්ම අමිහිරි අත්දැකීම විඳින්නේ මාරාන්තික වකුගඩු රෝගය නිසාය. ඒ හේතුව නිසාම මෙම ක්ෂේත්‍රය දෙස අප රටේ මුල් පුරවැසියා වන ජනාධිපතිවරයාගේ අවධානය ඊට යොමුව තිබීම විශේෂත්වයකි. ඒ හෙතෙම ජනාධිපතිවරයා වීමට ප්‍රථම මේ රටේ සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටි කාලයේ සිටය.

වර්තමානයේ ශ්‍රී ලංකාවේ උතුරු මැද පළාත ඇතුළු දිස්ත්‍රික්ක 11ක පැතිර යාමට පටන්ගෙන ඇති වකුගඩු උවදුරට හේතු සාධක සොයා බලමින් සිටී. ඒ, ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙනි. ඒ සඳහා විවිධ ක්‍රමවේදද අනුගමනය කරමින් සිටී.

එම විවිධ ක්‍රමවේද අතර සුවිශේෂ තැනක් ගන්නා කාරණයකට දැන් ශ්‍රී ලංකාව මුල පුරා ඇත. ඒ මෙම උවදුරට බලපෑ ඇතැයි සැලකෙන ජල අපවිත්‍රතාව සිදුවන ආකාරය සොයා බලා ඊට පිළිතුරු සෙවීමය.

ඒ සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සෞඛ්‍ය ඇමතිවරයාව සිටි කාලයේම අඩිතාලම දැමිණි. ඒ අනුව චීන සමූහාණ්ඩුව සමඟ එක්ව දකුණු ආසියාවේ විශාලතම ජල පර්යේෂණාගාරයේ ඉදිකිරීම් සඳහා ගිවිසුම් අත්සන් කෙරිණි. ‍

නොබෝදා චීන - ශ්‍රී ලංකා ආයෝජනයෙන් රුපියල් මිලියන 2830ක් වැයකොට ඉදිකිරීමට යෝජිත එම ජල පර්යේෂණාගාරයේ ඉදිකිරීම් ඇරඹිණි. ඒ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය සමීපයේ භූමි භාගයකය.

ඊට ශ්‍රී ලංකා අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ, නගර සැලසුම් හා ජලසම්පාදන අමාත්‍ය රවුෆ් හකීම්, එම නියෝජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන යන මහත්වරුන්ගේ ආරාධනයෙන් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ ආර්ථික හා වාණිජ උපදේශක යෑන්ග් සුයුවාන් (Yang Zuoyuan), නගර සැලසුම් හා ජලසම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ඩී.ජී.එම්.වී. හපුආරච්චි, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල් බී. දිසානායක යන මහත්වරු එක් වූහ. මෙම ජල පර්යේෂණාගාරයේ ඉදිකිරීම් 2020 දී නිම කිරීමට නියමිතය. සේවා නියෝජිතයන් සේ කටයුතු කරනුයේ නගර සැලසුම් හා ජලසම්පාදන අමාත්‍යාංශයයි.

මේ සඳහා අත්සන් තැබුණු අවබෝධතා ගිවිසුම්වලට අනුව කරුණු හතරක් සඳහා මුල් තැන දී තිබේ. පර්යේක්ෂකයන්ට, විද්‍යාඥයන්ට සහ වෛද්‍යවරුන්ට වසර පහ දක්වා පර්යේෂණ කිරීමට අවශ්‍ය පිරිවැය දැරීමටද එකඟතාව මත ශ්‍රී ලංකාවේ හඳුනා නොගත් නිදන්ගත වකුගඩු රෝග ව්‍යාප්ත වීමට බලපා ඇති හේතු හඳුනා ගැනීම, ශ්‍රී ලංකාවේ හඳුනා නොගත් වකුගඩු රෝගයට ලක්ව ඇති ප්‍රදේශවල භූගත ජල පිරිපහදු කිරීම ක්‍රමවත් කිරීම, ඒ ආශ්‍රිත ක්‍රම දියුණු කිරීම, ශ්‍රී ලංකාවේ වියළි කලාපවල වැසි ජලය එකතු කිරීම හා භාවිතා කරන ක්‍රම හා තාක්ෂණ කටයුතු දියුණු කිරීම, ජලසම්පාදන සනීපාරක්ෂක කටයුතු යටිතල පහසුකම් දියුණු කිරීම, ජල සම්පත් කළමනාකරණය හා ශ්‍රමය භාවිතා කිරීම සඳහා ඒකාබද්ධ සැලසුම නිර්මාණය කිරීම පිණිස ශ්‍රී ලංකා රජයට උපකාර කිරීම ඒ අතර වේ. ඊට අමතරව මෙම ජල පර්යේෂණාගාරය කේන්ද්‍රකොට පිරිසුදු ජලය උත්පාදනය, වකුගඩු රෝග මරදන පර්යේෂණ අධ්‍යාපන හා පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, උපාධිධාරීන් හා පශ්චාත් උපාධිධාරීන් සඳහා දැනුම වර්ධිත වැඩසටහන් දියත් කිරීම, කණ්ඩායම් දෙක බැගින් චීනයට යවා පුහුණුවකට යොමු කිරීම. එම කටයුත්ත වසර පහක් දක්වා සිදුකිරීමටද නියමිව ඇත.

ද්ව්පාර්ශ්වික සම්මන්ත්‍රණ මඟින් දැනුම, තාක්ෂණික කුසලතා හුවමාරුව, වකුගඩු අවදානම් ප්‍රදේශ සඳහා පිරිසිදු කරන ලද ජලය සැපයීම් පිණිස අනුරාධපුර කහටගස්දිගිලිය ජලසම්පාදන ක්‍රමයේ ජල පිරිපහදු පද්දතිය ස්ථාපිත කිරීම, වැසි ජල කළමනාකරණය කිරීමේ පද්ධතියක් ස්ථාපිත කිරීම සහ ශ්‍රී ලංකාවේ වියළි කලාපවල වෙසෙන ජනතාවට වැසි ජලය ලබා දීම සඳහා රාජාංගනය, සිරිපුර නව පවිත්‍රකරණ පද්ධතිය ස්ථාපිත කොට ඒ ඔස්සේ රෝගයෙන් අවදානමට ලක්ව සිටින ජනතාවට පිරිසුදු කරන ලද ජලය සැපයීමද අපේක්ෂිතය.

පරීක්ෂණාගාරයේ මූලිකත්වයෙන් ක්ෂේත්‍රයේ අත්දැකීම් ඇති විශේෂඥයන්ට නව පර්යේෂණ සහ විමර්ශන සිදු කොට නව දැනුමෙන් සන්නද්ධ වීමටත් තොරතුරු හා ප්‍රකාශිත ඔස්සේ දෙරටෙහි අන්‍යෝන්‍ය දැනුම වර්ධනය කර ගැනීම තුළින් ක්ෂේත්‍රයේ ප්‍රවීණත්වයට පත් වීමටත් දෙරටේ එකඟත්වය වර්ධනය වීම තුළින් නවතම හඳුන්වාදීම් විශ්වයට එකතු කිරීමටත් බලාපොරොත්තු වේ.

වර්ෂ 2015 සිට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, අමාත්‍ය රවුෆ් හකීම්, අමාත්‍යාංශ ලේකම් ඩී.ජී.එම්.වී. හපුආරච්චි සහ ජලසම්පාදන සහ ජලාප්‍රවාහන මණ්ඩලයේ සභාපති කේ.ඒ. අන්සාර් යන මහත්වරුන් සමඟ ව්‍යාපෘති අධ්‍යක්ෂ ආචාර්ය වේරගොඩ, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමා ප්‍රමුඛ මහත්වරු ගත් උත්සාහය අගය කළ යුතුය

දකුණු ආසියාවේ විශාලතම ජල පර්යේෂණාගාරය ඉදිකිරීමේ උත්සහය තුළින් මාරාන්තික වකුගඩු රෝග නිවාරණය මෙන්ම නුදුරු අනාගතයේදී විශේෂයෙන් ශ්‍රී ලංකාවේ මෙන්ම සමස්ත ලෝකයේම ජල පිරිපහදුව සම්බන්ධයෙන් පැන නැඟී ඇති ගැටලු සහගත තත්ත්වයන් සමනය කර ගැනීමට හැකිවනු ඇතැයි අප උදක්ම විශ්වාස කරමු.

සටහන සහ ඡායා [මධ්‍යම පළාත් සමූහ නිහාල් ජයවර්ධන]

මාතෘකා