පොලිසිය වෙනුවෙන් වෙනම අමාත්‍යංශයක් ඇති කර තිබෙනවා : අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

 ඡායාරූපය:

පොලිසිය වෙනුවෙන් වෙනම අමාත්‍යංශයක් ඇති කර තිබෙනවා : අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

අද වන විට පොලිස් සේවයේ විශාල දියුණුවක් ඇති වී තිබෙනවා. එම දියුණුව නිසා මේ වන විට අපරාධ පාලනය කිරීමට හැකි වී තිබෙනවා. ජනමාධ්‍ය හරහා වාර්තා නොවුණත් රටේ අපරාධ සිදුවන ප්‍රමාණය විශාල ලෙස අඩු වී තිබෙන බව පැවසිය යුතුයි.

ඒ වගේම අපරාධ විසඳීමේ ප්‍රවණතාවද වැඩි වී තිබෙනවා. එය හොඳ වාතාවරණයක් බව කිව යුතුයි. පොලිසිය නීතිය හා සාමය සුරැකීම සඳහා කාර්යයන් ගණනාවක් සිදු කරනවා” යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා (29) පුත්තලම, වනාතවිල්ලුව නව පොලිස් ස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මෙසේද කීය.

“නීතිය හා සාමය ආරක්ෂා කිරීම වෙනුවෙන් පොලිසියට අවශ්‍ය යටිතල පහසුකම් ලබාදීම අපි සිදු කරනවා. එහි එක් පියවරක් ලෙස වනාතවිල්ලුව නව පොලිස් ස්ථානය විවෘත කිරීම නම් කරන්නට පුළුවන්. රුපියල් මිලියන 60ක වියදමකින් වසර එකහමාරක් තුළ මෙම නව ගොඩනැගිල්ල විවෘත කිරීමට අපට හැකියාව ලැබුණා. නීතිය හා සාමය පිරිහෙනවා නම් යටිතල පහසුකම් පිළිබඳව අවධානය යොමු කිරීමට හැකියාවක් නැහැ. නීතිය හා සාමය ක්‍රියාත්මක වනවා නම් යටිතල පහසුකම් ශක්තිමත් කිරීම සිදු වෙනවා.

“පොලිසියේ වැඩ කටයුතු වෙනුවෙන් වෙනම අමාත්‍යංශයක් ඇති කර තිබෙනවා. ආරක්‍ෂක අමාත්‍යංශය යටතේ පොලිසියේ වැඩ කටයුතු සිදු නොකිරීමට අප තීරණය කළා. මේ අමාත්‍යංශය හරහා පොලිසියේ සියලුම ගැටලු වසර වසර පහක් තුළදී විසඳන බවට 2015 වසරේදී අප තීරණය කළා. කෙසේ නමුත් තවමත් විසඳී නොමැති ගැටලු කිහිපයක් ඉතිරි වී තිබෙන බව අප දන්නවා.

එම ගැටලු සඳහා විසඳුම් සෙවීම බාර වී තිබෙන්නේ වර්තමාන අමාත්‍යතුමාටයි. පොලිසියට නිලධාරීන් බඳවා ගත්තත්, උසස්වීම් නිසියාකාරව ලබා නොදීමේ ගැටලුව තවමත් තිබෙනවා. දේශපාලන පළිගැනීම් සඳහාද විසඳුම් සෙවිය යුතුව තිබෙනවා. මේ සියලු ගැටලු ගොඩගැසී තිබෙන අවස්ථාවක ඒ සියල්ල ක්‍රමානුකූලව විසඳීම අපේ යුතුකමයි.

පනත් කෙටුම්පත් හරහා පොලිසියට අවශ්‍ය නීති සැකසීම ආදියත් අමාත්‍යංශය යටතේ සිදු වෙනවා. අප මේ ගත කරන්නේ ඉතා අසීරු කාලවකවානුවක් වුවත් ගමේ ආර්ථිකය බිඳවැටීමට ඉඩදිය නොහැකියි. වර්තමානයේ රට විශාල ගෝලීය ආර්ථික අර්බුදයකට මුහුණපා සිටින තත්ත්වය හමුවේ වුවද ගම ශක්තිමත් කිරීම සඳහා යොදවන මුදල් ප්‍රමාණයද කිසි විටෙක අඩු කරන්නේ නැහැ.

“වසර දහයකට පසු අමෙරිකානු ආර්ථිකය ශක්තිමත් වීම නිසා ඩොලරයේ වටිනාකම ඉහළ ගොස් තිබෙනවා. ඊට සාපේක්ෂව ලෝකයේ බොහෝ රටවල මූල්‍ය ඒකකවල වටිනාකම අඩු වෙමින් තිබෙනවා. අද වන විට ශ්‍රී ලංකාවද මේ අර්බුදයට මුහුණදෙමින් සිටිනවා. අනෙක් අතින් ලෝක ඉන්ධන මිලද ඉහළ යමින් තිබෙනවා.

ඉන්ධන මිල ඉහළ යාම නිසා එම ඉන්ධන මිලදී ගැනීම වෙනුවෙන් ගෙවිය යුතු මුදල වැඩි වී තිබෙනවා. ඒ අනුව ගෝලීය ආර්ථික අර්බුදය තුළ ශ්‍රී ලංකාව දෙයාකාරයකින් සිරවී සිටින බව කිව යුතුයි. අපේ ඊළඟ පියවර වන්නේ රටට ආයෝජන ගෙන්වා ගැනීමයි.

තවමත් ගෙවීමට තිබෙන විශාල ණය කන්දක් අප ඉදිරියේ තිබෙනවා. 2025 වන විට මේ ණය ගෙවා අවසන් කිරීමට අප සැලසුම් කළා. මෙම ගෝලීය ආර්ථික අර්බුදය මතු වුණේ එම අතරතුරයි. එම අර්බුදය තුළ රටක් ලෙස අප සිර වී සිටිනවා. එම අර්බුදයෙන් මිදීමට අප කටයුතු කරන අතරම විශාල ණය ප්‍රමාණය ගෙවීමටත් වර්තමානයේ ශ්‍රී ලංකාවට සිදුව තිබෙනවා.

“මෙම වසරේ ගෙවීමට තිබෙන ණය ප්‍රමාණය ඩොලර් මිලියන 3000ක් වෙනවා. ඒ වගේම ඉදිරි වසරේදී එම ප්‍රමාණය ඩොලර් මිලියන 4000ක් වෙනවා. එනම් රුපියල් මිලියන 700,000ක් ලබන වසරේදී ගෙවීමට සිදු වෙනවා. මෙතරම් මුදලක් ගෙවීමට නොතිබුණා නම් හෝ අඩුම තරමින් එය ඩොලර් මිලියන 10,000කට පමණ සීමා වුණා නම් බඩු මිල වැඩි වීම, වැට් බදු වැඩි කිරීම ආදී ගැටලුවලට ජනතාවට මුහුණදීමට සිදු වන්නේ නැහැ. ඉන්ධන මිල වැඩි වන විට ඇතැම් භාණ්ඩවල මිල ඉහළ යාම සාමාන්‍ය තත්ත්වයක්.

නමුත් රටේ අවාසනාවට අපි දෙයාකාරයකින් සිර වී සිටිනවා. අධික ලෙස ණය ගැනීමේ විපාකය එයයි. එදා ණය ලබාගත්තේ අප නොවුණත්, දැන් ආණ්ඩුව බාර ගෙන තිබෙන්නේ අපයි. පරණ පව් ගැන කොතරම් කෑගැසුවත් මේ වගකීම අප බාරගත යුතුයි. මේ ආර්ථිකය නැවත ගොඩනැගීම වෙන කිසිවෙකුටත් කළ නොහැකියි. ලෝකයේ බොහෝ රටවල් මේ තත්ත්වයට මුහුණපාමින් සිටින අතර එම තත්ත්වයෙන් ගොඩ ඒමට එම රටවල් පියවර ගනිමින් සිටිනවා.

“මෙම ගෝලීය ආර්ථික අර්බුදය මේ වසර තුළදී අවසන් වන්නේ නැහැ. එය ඉදිරි වසරේදීත් පවතිනවා. එම නිසා යුද්ධයක් මෙන් විටින් විට එම අර්බුදයන්ට මුහුණදීමට අපට සිදු වෙනවා. මේ සම්බන්ධයෙන් නොවැම්බර් මාසයේදී ගත යුතු පියවර පිළිබඳවද අප සාකච්ඡා කර තිබෙනවා. මේ තත්ත්වය රටේ ආර්ථිකයටත්, ගෙදර ආර්ථිකයටත් පොදුවේ බලපා තිබෙනවා. එම නිසා එම තත්ත්වයෙන් ගොඩ ආ යුතුයි.

රට තුළත්, නිවස තුළත් උද්ගත වී තිබෙන අසහනකාරී තත්ත්වය අප නැති කළ යුතුයි. ඉරානයට විරුද්ධව පනවා ඇති සම්බාධක ක්‍රියාත්මක වන්නේ නොවැම්බර් මාසයේදීයි. එවිට ඉන්ධන මිල තවදුරටත් ඉහළ යයිද, ශ්‍රී ලංකාවේ තේ ඉරානයට අපනයනය කිරීමට හැකි වේවිද යන සියලු ගැටලුවලට ඉදිරියේදී මුහුණදීමට සිදු වෙනවා. එම නිසා නොවැම්බර් මාසය තුළ ඇති තත්ත්වයන් පිළිබඳ අවබෝධයක් ලබාගත් විට අපට ඉදිරියට මුහුණදීමේ හැකියාව ලැබෙනවා. ඒ අතරතුර අනෙක් රටවල් මෙන් විදේශ විනිමය ආරක්‍ෂා කිරීමේ ප්‍රතිපත්තිය තුළ අප කටයුතු කරනවා.

“වර්තමානය වන විට විදේශ ආයෝජකයන්ට ශ්‍රී ලංකාව පිළිබඳව විශ්වාසයක් ඇති වී තිබෙනවා. අපනයනය හරහා හැකි තරම් මුදල් උපයා ගැනීමට අප කටයුතු කළ යුතුයි. සංචාරක ව්‍යාපාරය, මත්ස්‍ය කර්මාන්තය, ඇඟලුම් කර්මාන්තය ආදිය හරහා අපනයන වැඩි කර ගත යුතුයි.

අපනයන ආර්ථිකයක් වෙනුවෙන් රට තුළ දැනට තිබෙන යටිතල පහසුකම් ප්‍රමාණවත් නොවන බව අප අවබෝධ කර ගෙන තිබෙනවා. ඒ හේතුවෙන් මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමටත්, බිංගිරිය, මාවතගම ප්‍රදේශවල වෙළෙඳ කලාප ඉදිකිරීමටත්, ඉරණවිල නව සංචාරක කලාපයක් ඇති කිරීමටත්, කල්පිටිය සහ වනාතවිල්ලුව ආදී ප්‍රදේශවල සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමටත් අපි කටයුතු කරනවා.

“ඒ වගේම කළුතර නව වෙළෙඳ කලාපයක් ඇති කිරීමටත්, ගාල්ල සහ මාතර ප්‍රදේශවල නව සංචාරක කලාප 4 ක් ඉදිකිරීමටත්, හම්බන්තොට අක්කර 10,000 ක වෙළෙඳ කලාපයක් ආරම්භ කරමින් ඒ සඳහා ආයෝජකයන් ගෙන්වා ගැනීමටත් අපි කටයුතු කරනවා. ඒ හරහා තාක්‍ෂණ සහ තොරතුරු තාක්‍ෂණ ක්ෂේත්‍රයන් දියුණු කෙරෙනවා. අප සියල්ලන්ගේ සහයෝගයෙන් ඉදිරියට ගොස් මේ රට බේරා ගත යුතුයි.

“මෙවැනි වේදිකාවල සිටිමින් පසුගිය ආණ්ඩුවේ ක්‍රියාකලාපයන්ට දෝෂාරෝපණය කිරීමෙන් පමණක් මෙම අර්බුදවලට විසඳුම් සොයා ගත නොහැකියි. මෙතරම් විශාල සංවර්ධන සැලැස්මක් අප ඇති කර තිබෙන්නේ ඊට විසඳුම් ලෙසයි. මෙම අර්බුද ඇති වූයේ කෙසේද, ඊට මුහුණ දෙන්නේ කෙසේද යන්න පිළිබඳව අප ආණ්ඩුවක් ලෙස අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා”

මාතෘකා