ළමයින්ට එරෙහි අභියෝග ගැන විමසිල්ලෙන් සිටිමු : ජනපති මෛත්‍රීපාල සිරිසේන

 ඡායාරූපය:

ළමයින්ට එරෙහි අභියෝග ගැන විමසිල්ලෙන් සිටිමු : ජනපති මෛත්‍රීපාල සිරිසේන

ලෝක ළමා දිනයේදී ළමා අයිතිවාසිකම් සහ වරප‍්‍රසාද පිළිබඳව මෙන්ම ළමයින්ට සමාජයෙන් එල්ල වී තිබෙන අභියෝග පිළිබඳවද වගකිව යුතු සියලු පාර්ශ්වයන්ගේ දැඩි අවධානය යොමුවිය යුතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (01) බලපිටිය, රේවත ජාතික පාසලේ 2018 වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවයට එක්වෙමින් පැවසීය.

දූපත් රාජ්‍යයක් ලෙස අපට සංචාරක ව්‍යාපාරය සම්පතක් වුවත් සංචාරක ව්‍යාපාරය, විෂ මත්ද්‍රව්‍ය ව්‍යාප්තියටත් හේතු වී තිබෙන බවද මෙහිදි ජනාධිපතිවරයා අවධාරණය කළේය.

තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ පැවසිය.

“බලපිටිය, රේවත පාසැලේ විශේෂත්වයක් පිළිබඳව විදුහල්පති ඩී. සිරිනන්ද මහත්මයා එතුමාගේ කතාවෙදී කිව්වා. සිංහල දරුවන් වගේම මුස්ලිම් දරුවන් සහෝදරත්වයෙන් මේ පාසැලේ ඉගෙන ගන්නා බව විදුහල්පතිතුමා කිව්වා. ජාතික සංහිඳියාවට රේවතයෙන් දෙන්නේ කදිම ආදර්ශයක්. ඉතාම කලාතුරකින් දක්නට ලැබෙන තවත් විශේෂත්වයක්ද මම, මේ පාසලේදී දුටුවා. අද අපේ රටේ කාන්තා ජනගහනය 52% ක්. රජයේ කාර්යාලයකට ගියත්, වෙනත් ඕනෑම කාර්යාලයකට ගියත් පාසැලක ගුරුවරු ගත්තත් කාන්තා ප්‍රතිශතය වැඩියි. නමුත් මේ පාසලේ ඉගෙන ගන්නා ළමුන්ගෙන් 1500 ක් පිරිමි වන විට ගැහැනු ළමුන් ඉන්නේ 1400 ක් පමණයි.

"දරුවනේ, මේ දවස ඔබේ දවස. එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෝක ළමා දිනය කියල අද (01) දවස වෙන් කළේ ඇයි කියල බලන්න ඕනෑ. වසරේ දවස් 365 න් විශේෂිත දිනයක් ඒ සඳහා වෙන් කළේ ඇයි කියල වැදගත් වෙනවා. එසේ කළේ සියල්ලන්ටම වඩා ළමයින් වැදගත් වන නිසයි. දරුවන්ටත් ප්‍රශ්න තිබෙනවා. මීට පෙර කතා කළ අසෝක ධනවංශ, දයාරත්න මහත්වරුන් පාසලේ ප්‍රශ්න ගැන කිව්වා. ලොකේ කොහේවත් ප්‍රශ්න නැති තැනක් නැහැ.

"සියලු ආගම්වල ආධ්‍යාත්මික දර්ශනයක් පැහැදිලි කර තිබෙනවා. දරුවන්ගේ, පුද්ගලයින්ගේ පරිසරයේ ප්‍රශ්න විසඳන විදිය ඒ මගින් පෙන්වා තිබෙනවා. දරුවන්ගේ ප්‍රශ්න පිළිබඳව අවධානය යොමු කිරීම සියලු ආගම්වල වගකීමක්. ඉතා වැදගත් වන්නේ දරුවන්ගේ සුරක්ෂිතභාවයයි. දෙමාපියන් දරුවන් සම්බන්ධයෙන් වැඩිම කාලයක් මුහුණ දෙන ප්‍රශ්නයත් ඒකයි. දරුවන්ගෙන් ප්‍රධාන වශයෙන්ම වාර්තා වන්නේ මානසික හා කායික ප්‍රශ්නයි.

"දරුවන්ට ලැබෙන ආදරයේ ප්‍රමාණය සම්බන්ධයෙන් වු ප්‍රශ්නය ඉතා වැදගත්. දරුවාට ආදරය කිරීම ඉතා වැදගත් වෙනවා. ජනාධිපති තනතුර, මැති ඇමති තනතුරු, සභාපතිකම්, අධ්‍යක්ෂකකම්වලට වඩා වැදගත් වෙන්නේ මව සහ පියා කියන තනතුරු දෙකයි. දරුවන් දෙමාපියන්ට දක්වන ආදරය, ගෞරවයේ ප්‍රමාණය තීරණය වෙන්නේ දෙමාපියන් දරුවන්ට දක්වන ආදරය, ගෞරවයේ ප්‍රමාණයෙන්. දෙමාපියන් දරුවන් රකින බව දරුවන්ට තේරෙන්න ඕනෑ. ඒ වගේම දරුවන්ගේ ප්‍රශ්න විසඳන බවත් තේරෙන්න ඕනෑ. රටේ වෙනම ළමාරක්ෂක අධිකාරියක් මෙන්ම ළමයින් වෙනුවෙන් වෙනම අමාත්‍යංශයක් පවා තිබෙන්නේ ඒ නිසයි. දරුවන් රකිමු කියල මම වෙනමම ජනාධිපති කාර්යාලයෙනුත් කරගෙන යනවා.

"රේවත විදුහගේ විදුහල්පති සිරිනන්ද මහත්මයා, පාසලේ දරුවන්ගේ කරුණු ඇතුළත් වාර්තාවක් මට දුන්නා. අනිත් මහත්වරුන් කතා කරන අතරේ මම ඒ වාර්තාව කියෙව්වා. දරුවන් ඉදිරියට යන ආකාරය පිළිබඳව අපි අවධානය යොමු කළ යුතුයි. නිදහස් අධ්‍යාපනය තුළ දරුවන්ට අධ්‍යාපනයේ සියලු පහසුකම් ලැබිල තිබෙනවා. සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නංගර මහත්මයා ඔබේ රන්දොඹේ ප්‍රදේශයේ ඉපිද රටට දායාද කළ නිදහස් අධ්‍යාපනය අපි විශාල කාලයක් ලබාගෙන තිබෙනවා. විශිෂ්ටයින් අතර විශිෂ්ටයින් වෙන්නත් විශේෂිතයින් අතර සුවිශේෂිතයින් වෙන්නත් අපි මහන්සි විය යුතුයි.

"අපිට ඕනෑ තරම් විභාග සමත් වෙන්න පුළුවන්. නමුත් ජීවිතය සමත් වීමයි ඉතා වැදගත් වෙන්නේ. විශ්වවිද්‍යාල තුළදීත් ජීවිතය සමත් වෙන්න පුරුදු පුහුණු විය යුතුයි. අපේ විශ්වවිද්‍යාල තුළ ප්‍රචණ්ඩත්වය ඉතා ඉහළයි. ලිංගික හිරිහැර කිරීම් පවා විශාල වශයෙන් සිදු වෙනවා. ලෝකේ කොහේවත් විශ්වවිද්‍යාලයක මේ තත්ත්වය නැහැ. දේශපාලනය විශ්වවිද්‍යාල තුළට රිංගාගෙන තිබෙනවා. උසස් අධ්‍යාපන ඇමතිතුමා මේ ගැන නිතරම කියනවා. විශ්වවිද්‍යාල සිසුන් විශාල පිරිසක් හිරිහැර නිසා විශ්වවිද්‍යාලය දාලා ගිහින් තිබෙනවා. අපේ විශ්වවිද්‍යාල අද අපිට ඛේදවාචකයක් වෙලා. මේ සම්බන්ධයෙන් දෙමව්පියන් දැනුවත් විය යුතුයි.

"මත්ද්‍රව්‍ය පිළිබඳ ප්‍රශ්නය අපිට විශාල ගැටළුවක් වෙලා. එක්සත් ජාතීන්ගේ සංවිධානය, නීති විරෝධී මත්ද්‍රව්‍ය සහ විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් නව නීති සම්පාදනය කර තිබෙනවා. නමුත් සියලු ආරක්ෂක

වැඩ පිළිවෙලවල් මැදින් රිංගා මත්ද්‍රව්‍ය දිවයිනට එනවා. පාසල්වලට, විශ්වවිද්‍යාලවලට මත්ද්‍රව්‍ය බෙදා හරින්නේ නොමිලයේ. විශ්වවිද්‍යාල සිසුන් අඳින විදියට ටී ෂර්ට් එකක්, සෙරෙප්පු දෙකක් දාගෙන බෑග් එකකුත් කරේ එල්ලාගෙන ඇවිත් විශ්වවිද්‍යාල ඇතුළේ මත්ද්‍රව්‍ය බෙදා හරිනවා.

"මම 2015 ජනාධිපති වූ විගස මත්ද්‍රව්‍ය විරෝධී වැඩපිළිවෙල නැවත පටන් ගත්තා. මම සෞඛ්‍ය ඇමතිවරයා ලෙසත් එම කටයුතු ඉටු කළා. එහි ප්‍රතිඵල අද අපි භුක්ති විඳිනවා. ඇමරිකාවේ හැම පාරකම හැම බස් හෝල්ට් එකකම සිගරැට් බොනවා. නමුත් අපේ රටේ ප්‍රසිද්ධ ස්ථානවල කවුරුවත් සිගරැට් බොන්නේ නැහැ. එම නිතී රීති සකස් කරන්න අපිට පුළුවන් වුණා. ඒ අතින් අපි ඉස්සරහට ඇවිත් තිබෙනවා.

"දූපත් රාජ්‍යයක් ලෙස සංචාරක ව්‍යාපාරය අපිට සම්පතක්. සංචාරක ව්‍යාපාරයෙන් අපිට විශාල වශයෙන් ආදායම් ලැබෙනවා. නමුත් සංචාරක ව්‍යාපාරය විෂ මත්ද්‍රව්‍ය ව්‍යාප්තියටත් හේතු වී තිබෙනවා. දරුවන් කාගේ දරුවන්ද යන්න නොව දරුවන් අපේ දරුවන් ලෙස සිතා අපි කටයුතු කළ යුතුයි. මේ පාසලේ දියුණුව සම්බන්ධයෙන් අපි සතුටු වෙනවා. අපේ ආණ්ඩුවෙන් විශාල වශයෙන් ප්‍රතිලාභ ලැබුණ බව දයාරත්න මහතා කිව්වා. මේ පාසලේ භෞතික සම්පත් හා මානව සම්පත් විශාල වශයෙන් දියුණු කර තිබෙනවා.

"ගුරු හිඟය මේ පාසලට විතරක් නොවෙයි රටටම විශාල ප්‍රශ්නයක්. අපේ රටේ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගන්නා විශාල පිරිසක් සේවය කරන්නේ පිටරටවලට. ඒ නිසා අපේ රටේ ඉංජිනේරුන් වෛද්‍යවරුන් මෙන්ම ගුරුවරුනුත් විශාල වශයෙන් හිඟයි. ඔවුන් වැඩි පඩියට පහසුකම්වලට විදේශගත වෙනවා. නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගන්නා අපි අවම වශයෙන් වසර 10 ක් වත් රටට සේවය කරනවා කියල හිතාගන්න ඕනෑ. වෙනත් රටවල නම් උගතුන්ට පිටරට යෑම සම්බන්ධයෙන් සීමා මායිම් තිබෙනවා. අද සමහර දරුවන් අම්මට තාත්තට වඩා ජංගම දුරකථනයටයි ආදරය කරන්නේ. මේ විද්‍යාලයට අවශ්‍යව තිබෙන ක්‍රීඩා පිට්ටනියක් සහ පිහිනුම් තටාකයක් හදන්න අවශ්‍ය සැලසුම් හදල ඇස්තමේන්තුවක් හදල දෙන්න, මේ වර්ෂයේම මම මුදල් පාස් කරල දෙන්නම්."

[ජයකාන්ත ලියනගේ] අහුන්ගල්ල

මාතෘකා