ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව මම කිසිම දෙයක් කරලා නැහැ : ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

 ඡායාරූපය:

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව මම කිසිම දෙයක් කරලා නැහැ : ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

අගමැති පත් කිරීම, හිටපු අගමැති ඉවත් කිරීම, පාර්ලිමේන්තුව විසුරුවා හැරීම, පාර්ලිමේන්තුව වාර අවසාන කිරීම, කැබිනට් මණ්ඩලය විසුරුවා හැරීම, මම මේ සියල්ල කරලා තියෙන්නේ නීත්‍යනුකූලව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකඟව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව කිසිම දෙයක් කරලා නැහැ” යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා (25) විදේශ ජනමාධ්‍ය නියෝජිතයන් සමඟ පැවති හමුවේදී පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේද කීය.

“පසුගිය ඔක්තෝබර් 26 වැනිදා රටේ සිදු වූ සිදුවීමත් සමඟම එක්තරා අන්දමක දේශපාලන නොසන්සුන්තාවක් ඇතිවෙලා තිබෙනවා කියලා තමයි මම දකින්නේ. ඒක බරපතළ දේශපාලන අර්බුදයක් විදියට මම කොහෙත්ම තක්සේරු කරන්නේ නැහැ. යම් දේශපාලන නොසන්සුන්තාවක් ඇතිවෙලා තිබෙනවා. ඊට හේතුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා වශයෙන් පත් කිරීමත්, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එම තනතුරෙන් ඉවත් කිරීම සහ තිබූ කැබිනට් මණ්ඩලය අහෝසි කරලා නව කැබිනට් මණ්ඩලයක් පත් කිරීම යන කාරණා.

“මීට හේතු වූ කරුණු මොනවද කියලා ඔබ අහන්න පුළුවන්. මෙය හදිසියේ ක්ෂණිකව ඇති වූ දෙයක් නොවෙයි. සුමානයක්, දෙකක් ඇතුළත වූ යම්කිසි සිද්ධීන් සමුදායක කාරණයක් නොවේ, ඊට වඩා බොහෝ දීර්ඝ කාලීනයි. මම ජනාධිපති ධුරයට පත්වුණේ 2015 ජනවාරි මාසයේ 09 වැනිදා. 09 වැනිදා හවස 6.10ට විතර තමයි ජනාධිපති විදියට දිවුරුම් දුන්නේ. එම දිවුරුම් දීම අවසානයේ ඒ මොහොතේම රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති විදියට පත් කළා.

ඔහු දිවුරුම් දෙන විට පාර්ලිමේන්තුවේ 225න් 162ක් තිබුණේ අගමැති දි.මු ජයරත්න මහතාට. රනිල් වික්‍රමසිංහ මහතා මම අගමැති විදියට පත් කරන විට ඔහුට පාර්ලිමේන්තුවේ තිබුණේ මන්ත්‍රී ධුර 41යි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉතා පැහැදිලිව සඳහන් වන ජනාධිපතිවරයා සතු බලතල අනුව 162ක් තිබුණ කෙනා ඉවත් කරලා 41ක් තිබුණ කෙනා පත් කළා. ඒ වගේම පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ මහතාට අගමැතිවරයා වශයෙන් කටයුතු කිරීමට අවශ්‍ය සියලු පහසුකම් සහ වරප්‍රසාද ලබා දුන්නා.

“ඒ තත්ත්වය තුළ ඒ ආරම්භය සිද්ධ වුණා වගේම රනිල් වික්‍රමසිංහ මහතා සහ මා අතරේ ඇති වූ අදහස්වල වෙනස්වීමක් පළමුවෙන් ඒ සතියේම සිද්ධ වුණා. ඒ පළමුවෙනි සතිය කියන්නේ 2015 ජනවාරි මාසයේ 03 වැනි සතිය. ඇත්තටම කියනවනම් අපේ වැඩ කිරීමේ ක්‍රමය පිළිබඳ මතභේදයක් ඇති වුණා. ජනාධිපති පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළ මගේ මැතිවරණ ප්‍රකාශනයේ ඉතා පැහැදිලිව සඳහන් කරලා තිබෙනවා ඇමති මණ්ඩලයක් පත් කිරීමේ යහපාලන ආණ්ඩු සංකල්පය මත ඒ ඇමති මණ්ඩලය පත් කරන්නේ විද්‍යාත්මක විෂය පදනමකින් තමයි කියලා. නමුත් ඒ ආකාරයට සිදු වුණේ නෑ.

“මේ රටේ ජනතාව මාව ජනාධිපතිවරයා විදියට පත් කළේ මේ රටේ ඉතාම පිරිසිදු රාජ්‍ය පාලනයක් ඇති කරන්න. දූෂණයට විරුද්ධව, බලය අයුතු ලෙස භාවිත කිරීමට, හොරකමට, අල්ලසට, දූෂණයට විරුද්ධව බොහොම සාධාරණ, නීතිගරුක සමාජයක් සඳහා, නීතියේ ආධිපත්‍ය ශක්තිමත් කරමින් පිරිසිදු රාජ්‍ය පාලනයක් සඳහා. නමුත් ඔබට මතක ඇති මම ජනාධිපති වෙලා, ඔහු අගමැති වෙලා මාස තුනයි මහ බැංකුවේ පළමු කොල්ලය සිද්ධ වුණා. ඒක ඉතා බරපතළයි. ඊට පස්සේ ආයෙත් මාස 03කට පස්සේ නැවත මහ බැංකුව කොල්ල කෑවා.

දැන් අද වන විට බොහොම පැහැදිලියි. ජනාධිපති කොමිසම පත් කරලා, සාක්ෂි විමසලා තියනවා, අර්ජුන මහේන්ද්‍රන් මේකේ පළවෙනි වගඋත්තරකරුවෙක්, අද ඔහු සැඟවිලා ඉන්නවා. අර්ජුන මහේන්ද්‍රන් අද ඉන්න තැන ඉතා පැහැදිලිවම රනිල් වික්‍රමසිංහ මහත්තයා දන්නවා. ඒ මොකද ඔහුගේ ඉතාම හොඳ මිත්‍රයා නිසා. ඒ මම එපා කියද්දි කරපු පත්වීම. අද ඔහුට ජාත්‍යන්තර වරෙන්තු නිකුත් කරලා තිබෙනවා. අධිකරණය විසින් ඔහුව ඉදිරිපත් කරන්න කියලා කියපු අවස්ථාවේ සිට මේ දක්වා ඔහු අධිකරණයට ඉදිරිපත් කරන්න රනිල් වික්‍රමසිංහ මහත්තයට කිසිම වුවමනාවක් තිබුණේ නැහැ. ඒ සම්බන්ධයෙන් කිසිම සැලකිල්ලක් දැක්වුවේ නැහැ.

“එතකොට එදා මෙදා කාලය තුළ මෙවැනි බරපතළ සිදුවීම් වගේම වංචා, දූෂණ කොච්චර ඒ ආණ්ඩුව තුළ සිදුවුණාද කියලා බලන්න වෙනම කොමිසමක් දාන්න ඕන. රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයේ කටයුතු කල කාලය තුළ 2015 සිට 2018 ඔක්තෝබර් 25 වැනිදා දක්වා කාලය තුළ ආණ්ඩුවේ සිදු වූ වංචා, දූෂණ සෙවීමට ජනාධිපති කොමිෂන් සභාවක් පත් කිරීමට මම බලාපොරොත්තු වෙනවා. ඒ තරම් බරපතළයි ප්‍රශ්නය. ඒවා සොයනකොට මහ බැංකුවට වඩා බරපතළ දේවල් හෙළි වෙයි. ඒ නිසා දූෂණය, වංචාව, හොරකම රාජ්‍ය බලය අයුතු ලෙස භාවිතා කිරීම, මේවා අසීමිත වුණා. ඉහ වහා ගියා.

“ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් විදියට මම සෑම වෙලාවකම පාර්ලිමේන්තුවේ බහුතරය පිළිගන්න කෙනෙක්. නමුත් ඒ බහුතරය විනිවිදභාවයෙන් යුක්ත වෙන්න ඕන. අනිත් එක තමයි මම ඒ අයගෙන් ඉල්ලීමක් කළා 14 වැනිදා සම්මත වූ යෝජනාවේ තියෙන යෝජනා අංක එකේ තියෙන්නේ ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව ව්‍යවස්ථාව කඩ කරලා කටයුතු කරලා තියෙනවා කියලා. ඒ නිසා මම කථානායකවරයාට සහ පක්ෂ විපක්ෂ සියලුදෙනාට කිව්වා කරුණාකරලා ඒ පාර්ලිමේන්තුව දෙන තීන්දුව මට භාරගන්න මම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව කටයුතු කරලා තියෙනවා කියන කොටස අයින් කරන්න කියලා.

මොකද එහෙම එකක් සම්මත වීම මට භාරගන්න බැහැ. අනිත් එක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මම කඩලද නැද්ද කියලා ව්‍යවස්ථා විශ්ලේෂණයක් කරන්න පුළුවන් ව්‍යවස්ථාව පිළිබඳ විග්‍රහයක් කරන්න පුළුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට විතරයි. එහෙම නැතුව පාර්ලිමේන්තුවට කිසිම බලයක් නැහැ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ නිර්වචනයක් දෙන්න. ඒ නිසා මේ තත්ත්වයන් තුළ මම සතුටු වෙනවා අද වන විට පාර්ලිමේන්තුව බොහොම සන්සුන් වෙලා තියෙනවා, ශීලාචාර වෙලා තියෙනවා.

“මම මුල ඉඳලම කියලා තියෙන්නේ විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට එනවා නම් ස්ථාවර නියෝග අනුව නිවැරදිව එන්න ඕනෑ. ස්ථාවර නියෝගවල තිබුණත් හඬින් ගන්නේ නැතිව මන්ත්‍රීවරුන්ගේ නමින් සහ ඉලෙක්ට්‍රොනික් ක්‍රමයට ඡන්දය ගන්න ඕනෑ. එය එක් ක්‍රමයක්. ඒ විදියට බහුතරය පෙන්වන්න ඕනෑ. බහුතරය තියෙනවා නම් එක්සත් ජාතික පෙරමුණට ඒකෙදි බොහොම පැහැදිලිව මහින්ද රාජපක්ෂ මහත්මයා තීරණයක් ගනියි එතුමා කොහාමද වැඩ කරන්නේ කියලා. බහුතරය තිබුණත් එය නිත්‍යනුකූල ක්‍රමයකට එන්න ඕනෑ. මේ දක්වාම මට පිළිගත හැකි විදියට බහුතරය විශ්වාසභංග යෝජනාවට පෙන්නුවේ නෑ පෙරේදා තේරීම්කාරක සභාවටනේ ඡන්දයක් තිබුණේ.

“29 වැනිදාට බහුතරය කාට යයිද කියලා අපිට අද කියන්න පුළුවන්කමක් නැහැ. නමුත් 29 වැනිදාට බහුතරය පෙන්නුවොත් මම කියන විදියට ඡන්ද අරගෙන මට ඒක පිළිගන්න සිදුවෙනවා. නමුත් රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති විදියට පත් කරන්නේ නැහැ මගේ ජීවිතේට. බහුතරය පෙන්නුවත් මම බොහොම පැහැදිලිව ඒ අයට කියලා තියෙනවා රනිල් වික්‍රමසිංහ මහත්මයා නම් මම ළඟට ගේන්න එපා කියලා. මම එයාව කොහෙත්ම පත් කරන්නේ නැහැ. පෞද්ගලික ගැටලුවක් නෙවෙයි. ප්‍රතිපත්ති ගැටුමක් තිබෙන්නේ.”

මාතෘකා