රට ගොඩ නැගීමට තිබෙන අවසාන අවස්ථාව මෙයයි : අගමැති මහින්ද රාජපක්ෂ

 ඡායාරූපය:

රට ගොඩ නැගීමට තිබෙන අවසාන අවස්ථාව මෙයයි : අගමැති මහින්ද රාජපක්ෂ

මම පසුගිය 15 වැනිදා පාර්ලිමේන්තුවේ කරපු කතාවේ සියලුම දේශපාලන පකෂවලට යෝජනා කළා, ජනතා පරමාධිපත්‍යයට ඉඩ දීලා මහ මැතිවරණයකට යමුයි කියලා. ජනතා විමුක්ති පෙරමුණ එකඟ වුණා. නමුත්යූ.එන්.පී ය මහ මැතිවරණයක් නැතුව ජනාධිපතිවරණයක් පවත්වමුයි කියලා මඟහරිනවා.

අවුල තියෙන්නේ පාර්ලිමේන්තුවේ. ඒ නිසා මේ අවස්ථාවේදී ජනාධිපතිවරණයක් පවත්වන්න කිසිම හේතුවක් නෑ. 2015 අගෝස්තු මාසයේ පවත්වපු මහ මැතිවරණයෙන් කිසිම පක්ෂයකට පැහැදිලි බහුතරයක් ලැබුණේ නෑ. එක්සත් ජාතික පක්ෂසයට ආසන 106යි, එක්සත් ජනතා නිදහස් සන්ධානයට ආසන 96යි, වෙනස ආසන 10යි. ඒ අවස්ථාවේදී එජාපය ප්‍රමුඛ ආණ්ඩුවක් පිහිටුවා ගත්තේ එ.ජ.නි.ස මන්ත්‍රීවරුන් කණ්ඩායමක් සමඟ ඇති කරගත් ගිවිසුම්ක් අනුවයි.පසුගිය ඔක්තෝබර් 26 වැනිදා එ.ජ.නි.ස කණ්ඩායම ආණ්ඩුවෙන් ඉවත්වුණා. ඊට පස්සෙ එජාප මන්ත්‍රීවරු කීපදෙනෙකුම අපට එකතුවුණා.

අද පාර්ලිමේන්තුවේ විශාලම කණ්ඩායමට තමයි මම නායකත්වය දෙන්නේ. 1994, 2001, 2004 මහමැතිවරණවලින් පස්සේ ඒ කාලේ ජනාධිපතිවරුන් වූ ඩී.බී. විජේතුංග මහතාත්, චන්ද්‍රිරකා කුමාරතුංග මැතිනියත් ආණ්ඩුවක් පිහිටුවන්න ආරාධනා කළේ පාර්ලිමේන්තුවේ වැඩිම මන්ත්‍රීරුන් හිටපු කණ්ඩායමටයි.

ඒ අනුව 1994දී පොදු පෙරමුණත්, 2001දී එක්සත් ජාතික පක්ෂයත්, 2004දී එක්සත් ජනතා නිදහස් සන්ධානයත් ආණ්ඩු හැදුවා. අපි පසුගිය ඔක්තෝබර් 26 වැනිදා කළේ දැනටම ප්‍රකාශයට පත් කරලා තාවකාලිකව උසාවිය විසින් අත්හිටුවලා තියෙන මහ මැතිවරණය අවසන් වෙනකන් පමණක් පවතින අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම පමණයි. මේ ආණ්ඩුවෙන් දිගටම රට පාලනය කරන්න අපේ මොනම බලාපොරොත්තුවක් වත් තිබුණෙ නෑ. මුළු රටටම පේනවා ඒකාබද්ධ විපක්ෂයෙන් මේ ආණ්ඩුවේ තනතුරු දරන්නේ බොහොම සුළු පිරිසක් කියලා.

ඒ, මේක තාවකාලික ආණ්ඩුවක් නිසයි. අපේ ඒකායන පරමාර්ථය මැතිවරණයක් පවත්වලා අලුත් ආණ්ඩුවක් පිහිටුවාගන්න එකයි කියලා මම අගමැති ලෙස දිවුරුම් දීපු අවස්ථාවේ ඉඳලා කිවුවා. නමුත් අනෙක් පැත්තෙ අයගේ එකම බලාපොරොත්තුව මොනම මැතිවරණයක්වත් නොපවත්වා, අර පරණ ආණ්ඩුවම තව පුළුවන්තරම් ඇදගෙන යෑමයි. ඕක තමයි මෙතන තියෙන ගැටුම.

ජනාධිපතිතුමා අපේ ආණ්ඩුවේ හිටපු නිසා දන්නවා අපි අසීරු තත්ත්වයන් පාලනය කළේ කොහොමද කියලා. යුද්ධය කරන්න අපි සල්ලි හොයාගත්තා. දශක ගණනාවක් තිස්සෙ කාටවත් කරන්න බැරි වුණ මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති විශාල ගණනක් අපි සම්පූර්ණ කළා.

2007 ලෝක ආහාර අර්බුදය ජනතාවට දැනෙන්නවත් ඉඩ හැරියේ නෑ. 1930 ගණන්වලින් පසු ලෝකයේ ඇති වූ දරුණුම ආර්ථික අවපාතය 2008දී ඇති වුණත් ලංකාවේ මිනිස්සු ඒවගේ දෙයක් වුණයි කියලවත් දැණගෙන හිටියෙ නෑ. ඒ කාලේ ලෝක තෙල් මිල ඉතිහාසයේ කවරදාකටත් වඩා ඉහල මට්ටමක පැවතියත්, ඒකත් අපි කළමනාකරණය කරගත්තා. මම අවුරදු 9ක් ඇතුළත මේ රටේ ඇමෙරිකානු ඩොලර් ඒකපුද්ගල ආදායම තුන් ගුණයකින් වැඩි කළා. ඒ කාලේ ආර්ථිකයේ සාමාන්‍ය වර්ධන වේගය 7.4%ක්. ඩොලරයක මිල රුපියල් 131යි. දල ජාතික නිෂ්පාදිතයට සාපේක්ෂව ණය බර තිබුණෙ 70%ක අගයක.

අපි 2015 ජනවාරි 9 වනදා අලුත් ආණ්ඩුවට භාර දුන්නේ ආර්ථික වශයෙන් ඉතාම ස්ථාවර රටක්. නමුත් අවුරුදු 4ක අවපාලනයෙන් පස්සෙ, අද මුළු ආර්ථිකයම දැඩි අවදානම් සහගත තත්ත්වයකයි තියෙන්නෙ. අද මේ රට මුහුණපාල තියෙන ආර්ථික අර්බුදයේ භයානකම පැත්ත තමයි විදෙස් විනිමය ණය බර. මම 2005දී මුල් වරට ජනාධිපති වෙනකොට රටේ යුද්ධයක් තිබුණා. නමුත් ආර්ථිකය ඇත්ත වශයෙන්ම මේ තරම් දරුණු තත්ත්වයක නෙවෙයි තිබුණෙ. ඒ කාලෙත් දළ ජාතික නිශ්පාදිතයට සාපේක්ෂව ණය ප්‍රතිශතය 90%ක් තරම් ඉහළට නැඟලයි තිබුණෙ. නමුත් එදා ඒ තිබුණ ණය අතරෙ අද තරම් විදේශීය ණය ප්‍රමාණයක් තිබුණෙ නැහැ.

2015 ජනවාරිවල ඉඳලා යූ.එන්.පී ආණ්ඩුව ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර, සවරින් බොන්ඩ්, සින්ඩිකේටඩ් ලෝන්, කරන්සි ස්වැප් වගේ නොයෙක් මූලාශ්‍රවලින් ලබාගත්ත විදෙස් විනිමය ණය ප්‍රමාණය ගැන විටින් විට ලිඛිතව මහජනතාව දැනුවත් කරන්න මම පියවර ගත්තේ නැවත අපි බලය ගත්ත දවසට, අපිට මුහුණ දෙන්න වෙන ලොකුම ප්‍රශ්නය මේ ණය ගැනීම බව මම දැනගෙන හිටිය නිසයි.

ගොඩ අරගෙන තිබ්බ රට ප්‍රපාතයට දැම්මේ ඒගොල්ලො තමයි. ඒකයි මැතිවරණවලට ඔය තරම් බය. ජනතා සහයෝගය නිසා තමයි අපට පුළුවන් වුණේ වෙන කිසිවකුටවත් ඉවර කරන්න බැරි වුණ යුද්ධය ඉවර කරන්න. මා මේ අවස්ථාවේදී ජනතාවගෙන් ඉල්ලා සිටිනව මේ වැටී තිබෙන ප්‍රපාතයෙන් රට ගොඩ ගන්න අපට යුද්ධය කාලයේදී ලබාදුන් ආකාරයේ සහයෝගයක් ලබා දෙන්න කියලා.

මේ රට ගොඩ ගන්න තියෙන අවසන් අවස්ථාව මෙයයි. අපේ උත්සාහය වැරදුණොත් මේ රට කෙළවර වෙන්නෙ ග්‍රීසියට වෙච්ච දේ වෙලා. මේ රට අද වැටිලා තියෙන ප්‍රපාතයෙන් ගොඩගන්න පුළුවන් අපිට විතරයි කියලා ජනාධිපතිතුමත් දන්නවා, රටේ ජනතාවත් දන්නවා. මහ මැතිවරණයක් පවත්වලා අපේ ආණ්ඩුවක් බලයට අවොත් මේ සියලුම ප්‍රශ්න විසඳනවා කියලා ඒ ගොල්ලො දන්නවා. ජනාධිපතිවරයාත්, අපිත් එකතු වී හදන ආණ්ඩුව ඉතාම බලසම්පන්න, ජනතා හිතවාදී ආණ්ඩුවක් වෙන බව මතක තබාගන්න.

මේ සංක්‍රාන්ති කාලය තුළ මා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, අප සමඟ ඉඳලා රට ගොඩගැනීමේ උත්සාහයට සහභාගී වෙන්න කියලයි. අපි මේ ගන්න උත්සාහය ලංකාවට ගොඩයන්න තියෙන අන්තිම අවස්ථාවයි. මැතිවරණ නොපවත්වා දිගටම බලයේ ඉඳගෙන රට විනාශ කරන්න වලිකන බලවේග අපි හැමෝම එකතුවෙලා පරාජය කරලා මේ රට නැවත හරි මඟට ගමු.

(අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (25) සිය කාර්යාලයේ සිට කරන ලද කතාවයි)

මාතෘකා