කැලෑ පාර්ලිමේන්තුවකට කිසිසේත්ම ඉඩක් නැහැ : අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල

 ඡායාරූපය:

කැලෑ පාර්ලිමේන්තුවකට කිසිසේත්ම ඉඩක් නැහැ : අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල

පක්ෂ නායක රැස්වීමේදී ගන්නා තීන්දු තීරණ තුට්ටුවකට මායිම් නොකර කථානායකවරයා එජාපය හා සුමන්තිරන් ප්‍රමුඛ දෙමළ සන්ධානයේ අවශ්‍යතාව මත පාර්ලිමේන්තුව තුළ කටයුතු කරන බවත් ඔහුගේ පක්ෂපාතී තීන්දු තීරණවලට එරෙහිව දැන් රටේ ජනතාව තුළද දැඩි අප්‍රසාදයක් මතුව තිබෙන බවත් ජනමාධ්‍ය හා ඩිජිටල් යටිතල පහසුකම් පිළිබඳ රාජ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

කථානායකවරයාගේ පක්ෂග්‍රාහී තීන්දු තීරණවලට එරෙහිව පසුගියදා (20) මහනුවර පූජාපිටිය නගරයේ පැවැති විරෝධතාවයේදී අමාත්‍යවරයා මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය.

“කැලෑ පාර්ලිමේන්තුවකට අපි කිසිසේත් ඉඩ ලබා දෙන්නේ නැහැ. උතුරු නැෙඟනහිර ඒකාබද්ධ කරමින් රට බෙදන ෆෙඩරල් ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ගෙනවිත් ශබ්දය අනුව එය සම්මත කර ගැනීම එජාප අරමුණයි. නමුත් ජනාධිපතිවරයා ගත් තීරණයෙන් එය පැහැදිලිවම වැළකී ගියා.

කථානායකවරයා පාර්ලිමේන්තුවේ ඒකාධිපති අයුරින් ක්‍රියා කරනවා. පාර්ලිමේන්තු සැසි වාරයක් ආරම්භ කරන ක්‍රමවේදයක් සහ විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කෙරෙන සම්ප්‍රදායක් රට තුළ පවතිනවා. ඉන් පරිබාහිරව කටයුතු කරනවා නම් ඊට එරෙහිව මන්ත්‍රීවරුන්ගේ විරෝධතාවක් අනිවාර්යයෙන්ම එල්ල වෙනවා.

පාර්ලිමේන්තුවේ සම්ප්‍රදායන් සහ ක්‍රියා පටිපාටීන් උල්ලංඝනය කරමින් චෞර ආකාරයට කථානායකවරයා අද ක්‍රියාකරමින් සිටින බව දක්නට ලැබෙනවා. පාර්ලිමේන්තුව තුළ ඇතිවූ තත්ත්වයට සම්පූර්ණයෙන් වගකිව යුතු වන්නේ වෙන කිසිවෙක් නෙවෙයි. කථානායකවරයායි. පසුගිය 26 වැනිදා ජනපතිවරයා අගමැති ධුරයට මහින්ද රාජපක්ෂ මහතා පත් කළේ ව්‍යවස්ථාවට අනුකූලවයි.”

මාතෘකා