පුළුවන් නම් විශ්වාසභංග යෝජනාව පරාජය කරන්න : එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ

 ඡායාරූපය:

පුළුවන් නම් විශ්වාසභංග යෝජනාව පරාජය කරන්න : එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ

විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ විට බහුතරයක් ඇත්නම් ඊට විරුද්ධව එය පරාජය කරන ලෙසත්, එසේ නොකොට පාර්ලිමේන්තුව කඩාකප්පල් කිරීමට කටයුතු කරන්නේ නම් එයින් පෙනී යන්නේ රාජපක්ෂවාදීන්ට බහුතරයක් නොමැති බවත් එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (21) පැවසීය.

හිටපු අගමැතිවරයා මේ බව පැවසුවේ එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායකවරුන්ගේ හමුවේදීය.

විශ්වාසභංගය තහවුරු වී ඇතැයි කථානායකවරයා ප්‍රකාශ කිරීමත් සමඟ කැබිනට් මණ්ඩලය අහෝසි වී යන හෙයින් අගමැතිවරයාට මුදල් වෙන් කිරීමට හැකියාවක් නැති බවට වන යෝජනාව රවි කරුණානායක මහතා විසින් ඉදිරිපත් කළ බව කී වික්‍රමසිංහ මහතා දැන් එම අභියෝගය භාර ගන්නා ලෙසද පැවසීය.

“අප විසින්ම ජනාධිපති ධුරයට පත්කළ මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එක්සත් ජාතික පෙරමුණට පහර ගැසීම සිදු කළා. අපේ ඡන්ද නැතිනම් ඔහුට ජනාධිපති වීමට හැකියාවක් තිබුණේ නැහැ. ඔක්තෝබර් මස 26 දින කළ මේ සිද්ධියෙන් අනතුරුව ප්‍රශ්නය අවසන් වේවි යැයි ඔවුන් සිතුවා. ඒ ප්‍රශ්නය එක්සත් ජාතික පෙරමුණේ නොව සමස්ත රටේ ප්‍රශ්නයක් බවට අද පත්වෙලා තිබෙනවා.

“ජනතාවගේ ඡන්දයෙන් පැමිණ ජනාධිපතිවරයා විසින් සිදුකළ මෙම ක්‍රියාදාමය ජනතා පරමාධිපත්‍යයට පහර ගැසීමක් බව කිව යුතුයි. අපි සටන් කළේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ජය ගැනීමටයි. අපි 19 වන සංශෝධනයෙන් ඉදිරියට ගියා. ඒ සංශෝධනයෙන් ජනතා අයිතිවාසිකම් තව දුරටත් තහවුරු කළා. ජනාධිපති පාර්ලිමේන්තුවට වගකිව යුතු පුද්ගලයකු බවට පත්කළා. නමුත් විධායකය නැති කිරීම සඳහා අප පත් කළ පුද්ගලයා අද උත්සාහ කරන්නේ පාර්ලිමේන්තුව පාගා දැමීමටයි. අප එයට ඉඩ දෙන්නේ නෑ. එක්සත් ජාතික පෙරමුණ පමණක් නොව, ජනතා විමුක්ති පෙරමුණ, ද්‍රවිඩ සන්ධානය ඇතුළු අප සමග සිටින සියලු පක්ෂත් රටේ ජනතාවගේ එම මතයට විරුද්ධයි.

“වත්මන් පාර්ලිමේන්තුවට 2020 අගෝස්තු දක්වා කාලය තිබෙන බව මගේ අදහසයි. ඊට පෙර මැතිවරණ අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ එකට එක්වී තීරණය ගනිමු. නමුත් ඊට කලින් ව්‍යවස්ථාව හා නීතියේ ආධිපත්‍යය තහවුරු විය යුතුයි. එම නිසා දැන් මැතිවරණ ගැන කතා කිරීමෙන් පලක් නැහැ. මෙතැන කථා කළ යුත්තේ ව්‍යවස්ථාව ගැනයි. මැතිවරණය ගැන බලාපොරොත්තු වන අය ඒ අයට වාසි වන අන්දමේ කථා කියනවා. ඡන්දෙකට යන්න ඒ අය බලාපොරොත්තු වන බව කියනවා. එසේ ප්‍රකාශ කරන්නේ වෙනත් කියන්නට දෙයක් නැති නිසයි.

“අපට අවශ්‍යව තියෙන්නේ විශේෂයෙන්ම ජනතාවගේ පරමාධිපත්‍යයත්, ව්‍යවස්ථාවත් ආරක්ෂා කිරීමයි. ඒ අයිතීන් හොරකම් කරන්නට බැහැ. විශේෂයෙන්ම විධායක බලය අහෝසි කරනවා යැයි පැවසූ ජනාධිපතිවරයකුට පාර්ලිමේන්තුව පාගා දමන්නට දෙන්න බැහැ. මේ ප්‍රශ්නය එක්සත් ජාතික පක්ෂයේ අයටවත්, ජනාධිපතිවරයාට ඡන්දය ප්‍රකාශ කළ අයටත් සීමා වෙලා නැහැ. ඔහුට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ අයත් මේ ක්‍රියාව වැරදි බව ප්‍රකාශ කරනවා.

දෙවැනි දින අපේ මන්ත්‍රීවරු කථානායකතුමා ආරක්ෂා කිරීමට ඉදිරිපත් වුණා. එදින සිදුවූ සියල්ල හැන්සාඩ් වාර්තාගත වී තිබෙනවා. තුන්වන දින සිදුවීම් දෙස බලන්න.

“කථානායකතුමා පළමුව කතා කළ අවස්ථාවේදී කිසිවකු කතා නොකළේ නම් එතුමාට සභාවට කල් දැමීමට අවකාශ තිබුණා. නමුත් සුමන්දිරන් මන්ත්‍රිතුමා ස්ථාවර නියෝග අත්හිටුවීමට යෝජනා කළා. එයින් පසු සිදු වූ දේවල් නිසා ජනතාවට පාර්ලිමේන්තුව එපා වුණා. සෙංකෝලය අල්ලා ගන්න හැදුවා. සෙංකෝලය රඳවා තිබූ මේසය බිමට ඇද දැම්මා. පොත්වලින් ගැහුවා. බයිබලයෙන් දමා ගැසුවා. වසර 85ක් පුරා අපට ආඩම්බර වෙන්න තිබුණු පාර්ලිමේන්තුව මේ තත්ත්වයට පත්වුණා. මහින්ද රාජපක්ෂ මේ සිදුවූ සියල්ල බලාගෙන සිටියා. අඩු ගානේ ඔහුට නොපැමිණෙන්ට තිබුණා. පැමිණියා නම් එම තත්ත්වය නවත්වන්නට උත්සාහ කරන්නට තිබුණා. ඒ කිසිවක් ඔහු කළේ නෑ. මෙය ඒ අය සැලසුම් කළ වැඩපිළිවෙළක් බව හොඳින්ම අවබෝධ කරගත හැකියි.

“ඉන්පසුව ජනාධිපතිතුමා පක්ෂ නායකයන් සියල්ල කැඳවනු ලැබුවා. එහිදී ස්ථාවර නියෝග අත්හිටුවීමෙන් තොරව මෙය සිදුකරන්නට බැරි දැයි ප්‍රශ්න කළා. හදිසි වැඩකටයුත්තක් තිබේ නම් ඕනෑම අවස්ථාවක ස්ථාවර නියෝග අත්හිටුවීමට පුළුවන්. 18 වැනි සංශෝධනය ඉදිරිපත් කළෙත් ස්ථාවර නියෝග අත්හිටුවීමෙන් පසුවයි. මීට පෙර පැවති සියලු රජයන් එසේ සිදු කොට තිබෙනවා. හදිසි තත්ත්වයක් පවතිනවා නම් ලංකාවේත්, එක්සත් රාජධානියේත් එසේ කළ අවස්ථා ඕනෑ තරම් තියෙනවා.

“එක්සත් ජාතික පෙරමුණත්, ද්‍රවිඩ සංවිධානයත් දැනට මෙම යෝජනාව සම්මත කර ඇති බව ප්‍රකාශ කළා. කල් ලබා දී ස්ථාවර නියෝග අත්හිටුවන්නේ නැතිව වෙනත් යෝජනාවක් සම්මත කර ගන්නට බැරිදැයි එහිදී ජනාධිපතිවරයා ප්‍රශ්න කළා. ඒ අනුව කථානායකතුමත්, පක්ෂ නායකයනුත් සාකච්ඡා කිරීමෙන් අනතුරුව අපි වෙනත් යෝජනාවක් ඉදිරිපත් කළා. විශ්වාසභංගය තහවුරු වී ඇති බවත් මේ තත්ත්වය අනුව කැබිනට් මණ්ඩලය අහෝසි වී ඇති බවටත් කථානායකතුමා ප්‍රකාශ කර ඇති හෙයින් එම තත්ත්වය යටතේ අගමැතිවරයාට මුදල් වෙන් කිරීමට හැකියාවක් නොමැති බවට යෝජනාවක් රවි කරුණානායක මන්ත්‍රිවරයා ඉදිරිපත් කළා.

“එතුමාගේ ඒ අදහස දැන් ඉදිරියට පැමිණ තිබෙනවා. මෙය ඉදිරිපත් කළේ ජනාධිපතිවරයා විසින් යෝජනාව ඉදිරිපත් කළාට පසුවයි. මේ අය එදාට ඡන්දයක් පවත්වන්නට ඉඩ දෙනවාදැයි බලමු. තමන්ට බහුතරයක් නැති නිසයි කඩාකප්පල් කරන්නේ. දැන් අභියෝගය පවතින්නේ එතනයි.”

මාතෘකා