කේලම්වලින් මේ බැඳීම කඩන්න බැහැ : අගමැති

 ඡායාරූපය:

කේලම්වලින් මේ බැඳීම කඩන්න බැහැ : අගමැති

ජනාධිපතිවරයා රට වෙනුවෙන් භාරදූර තීන්දුවක් ගත් බවත් ජනාධිපතිවරයා හා එකට එක් වී වැඩකටයුතු කිරීම අපහසුවක් නොවන බවත් රට ඉදිරියට ගෙන යෑමට, සංවර්ධනය නැවත ඇරඹීමට, ලෝකයේ හැම රටක් සමඟම එකට වැඩ කිරීමට කැප වන බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

පවතින රජයේ බහුතර බලය සපත කිරීමට සහ පවතින රජයට සහාය පැතීමට පාර්ලිමේන්තු වටරවුම අසලට එක් වුණු "රටම රකින ජන මහිමය" ජනරැළියේදී අදහස් පළ කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසිය.

එහිදී අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ පැවසීය.

"මේ මොහොතේ මම ඉතාම ගෞරවයෙන් සිහිපත් කරනවා ජනාධිපතිතුවා ගත් තීන්දුව. මේ තීන්දුව ගන්න ජනාධිපතිවරයා අවුරුදු තුනයි මාස ගාණක් කල් ගත්තා. මේක නිර්භීත තීන්දුවක්.

අපි ටික කාලයක් වෙන් වුණා. බොහෝ දේවල් කියා ගත්තා. ඔය අතරේ මැතිවරණෙකට ගියා. ජනතාව තීන්දුවක් ගත්තා. ඒ තීන්දුවට අනුව අපි ජයග්‍රහණය කළා. මේ අතරේ ජනාධිපතිතුමා වගකිව යුතු තීන්දුවක් ගත්තා. මේක භාරදූර වැඩක්. මම එතුමා වුණා නම් මේක කරන්නේ නෑ. කොහොමහරි බැඳගත්ත බෙරේ ගහනවා. ඒත් එතුමා රට වෙනුවෙන් මේ තීන්දුව ගත්තා.

අපිට එකට වැඩ කරන්න අපහසු නෑ. අපි දන්නේ අද ඊයේ ඉඳලා නෙවේ. හැත්තෑ ගණන්වල ඉඳලා අපි දන්නවා. මම ඒ කාලේ මන්ත්‍රී හැටියට පොළොන්නරුවට ගියා. එදා දැන හැඳින ගැනීම හැමදාම තිබ්බා. ඒ නිසා තාවකාලිකව වෙන් වෙලා එක්වීම අරුමයක් නෙවේ.

මතක තියාගන්න ඕන රනිල් සහ කල්ලිය මේ රට විකුණද්දී අනාගත දරුවන් වෙනුවෙන් අපි මේ රට බේරා ගත්තා.

මම බැලුවා මුදල් අමාත්‍යාංශෙට ගිහින්. බදු බර අඩු කරන්න බැරිද? තෙල් අඩු කරන්න බැරිද? කියලා. අපි අඩු කළාද? නැද්ද? ඒකයි වෙනස. අපි ඒක කළේ එක දවසෙන්. එයාලා නොකළේ ඇයි? ඒ අයට ජනතාව ගැන හැඟිමක් නෑ. ජනතාව පීඩා වින්දට එයාලට කමක් නෑ.

රට ඉදිරියට ගෙන යන්න, සංවර්ධනය අරඔන්න, ලෝකයේ හැම රටක් එක්කම එකට වැඩ කරන්න අපි කැප වෙනවා. බැඳිලා ඉන්නවා.

ජනතාව එක්ක අපි කැපවීමෙන් හිටියා. අද පොදුජන පෙරමුණේ නායකයෝ මේ වෙනුවෙන් කැප වුණා. අපේ බලාපොරොත්තුව ජනතාවගේ අනාගතය සපල කිරීමයි.

මීට වඩා මම කතා කරන්නේ නෑ. ඉස්සර මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ලේකම් කාලේත් මම වැඩිය වේදිකාවේ කතා කරන්නේ නෑ. එතුමට කතා කරන්න ඉඩ දෙනවා. අදත් ජනාධිපතිවරයා ඉන්නවා. එතුමා ඉතිරි ටික කියයි. මම කියනවා මේ එකතුව කේලම්වලින් කඩන්න බෑ. ඒවට අහු වෙන්නේ නෑ. ඒ වගේම මම සියලු සුළු පක්ෂවලින් ඉල්ලනවා, උතුරේ, කන්ද උඩරට කොහේ හෝ වේවා අපි එක්ක එකතු වෙලා ජනතාව දිනවන්න එන්න.

ඔබත් සමඟ අත්වැල් බැඳගෙන රට ඉදිරියට ගෙනියනවා කියමින් මම නිහඬ වෙනවා."

මාතෘකා