ව්‍යවස්ථාවට අනුව රටට ගැලපෙන අගමැති තේරුවා - ජනපති

 ඡායාරූපය:

ව්‍යවස්ථාවට අනුව රටට ගැලපෙන අගමැති තේරුවා - ජනපති

අගමැති මාරුව ශරීර දෙකක් සහ මිනිස්සු දෙන්නෙක් පමණක් නොවන බවත් රටට අහිතවත්, දේශයට අහිතවත් අපට නොගැළපෙන අපේ සිතුම් පැතුම් හඳුනා නොගත් දේශීයත්වය අගය නොකරන විදේශීය න්‍යාය පත්‍රවලට වැඩ කළ දර්ශනය තමා අගමැති පුටුවෙන් ඉවත් කළ බවත් ව්‍යවස්ථාවට අනුව රටට ගැලපෙන අගමැති තේරු බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

පවතින රජයේ බහුතර බලය සපත කිරීමට සහ පවතින රජයට සහාය පැතීමට පාර්ලිමේන්තු වටරවුම අසලට එක් වුණු "රටම රකින ජන මහිමය" ජනරැළිය අමතා ජනාධිපතිවරයා මේ බව පැවසීය.

එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා මෙසේ පැවසීය.

"මම ඉතාමත් සතුටු වෙනවා වසර 04 කට පසුව, නැවත මහින්ද රාජපක්ෂ ගරු අගමැතිතුමත් සමඟ එකම වේදිකාවකට එන්න ලැබීම පිළිබඳව. මිත්‍රවරුනි, නොවැම්බර් මාසය ලංකාවේ පුදුම මාසයක්, 2014 නොවැම්බර් 21 වනදා තමයි මම එදා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුවෙන් ඉවත් වුණේ. අවුරුදු 04කට පස්සේ මේ 2018 නොවැම්බර් මාසයේ තමයි අපි තමුන්නාසේලා නැවත එක වේදිකාවකට ඇවිල්ලා ඉන්නේ.

මේ රටේ අග්‍රාමාත්‍ය ධූරයේ හිටපු රනිල් වික්‍රමසිංහ මහත්තයා එයින් ඉවත් කරලා ව්‍යවස්ථානුකූලව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැති ධූරයට පත් කළේ ඇයි, මෙහි අරමුණු කුමක්ද, මෙයින් බලාපොරොත්තු වන්නේ කුමක්ද, මෙයින් සිදු වූයේ කුමක්ද, මෙයින් සිදු විය යුත්තේ කුමක්ද, මේ පුටුවට මාරු කළේ ශරීර දෙකක් නොවේ. මේ පුටුවට මාරු කළේ මිනිස්සු දෙන්නෙක් නෙවේ. මේ මාරු වුණේ මේ රටට අහිතවත්, දේශයට අහිතවත් අපට නොගැළපෙන අපේ සිතුම් පැතුම් හදුනා නොගත් දේශීයත්වය අගය නොකරන විදේශීය න්‍යාය පත්‍රවලට වැඩ කරන් දර්ශනයයි අපි අගමැති පුටුවෙන් ඉවත් කළේ.

එහෙමනම් මේ පුටුවට පත් කළේ කවුද, මේ පුටුවට පත් කළේ අපට, රටට ගැළපෙන දේශයට ගැළපෙන දේශීය සංස්කෘතිය හඳුනන, දේශීයත්වය අගය කරන, විදේශීය දේශපාලන න්‍යාය පත්‍ර ප්‍රතික්ෂේප කරන ඔබේ අපේ සැබෑ මිනිසෙක් වූ මහින්ද රාජපක්ෂ මහතායි. ඒ නිසයි මම කිව්වේ මෙය පුද්ගලයන් දෙදෙනෙක් වෙනස් කිරීමට වඩා පුළුල් පරමාර්ථයක්, පුළුල් දැක්මක්, පුළුල් වෙනසක්. දේශපාලන වශයෙන් රටට විය යුතු වෙනසක්, කළයුතු දෙයක්, අගමැති පුටුවට නොගැළපෙන දර්ශනයක් ඉවත් කර ගැළපෙන දර්ශනයක් හිඳුවීමක්.

ඔබ මගෙන් අහන ප්‍රශ්නයක් තිබෙනවා මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරයට පත් කිරීම පිළිබඳව. කුමක් ද ඒ ප්‍රශ්නය 2015 ජනවාරි 08 වනදා හැට දෙලක්ෂ පනස්දහසකට ආසන්න සංඛ්‍යාවකින් මාව ජනාධිපති ධූරයට පත් කරන්න නායකත්වය ගත් මේ රටේ එක්සත් ජාතික පාක්ෂිකයන් මගෙන් අහන ප්‍රශ්නයක් තිබෙනවා. ඒ ප්‍රශ්නය මීට දින 04කට කලින් මා මිත්‍ර ගරු කථානායක කරු ජයසූරිය මැතිතුමාත් මගෙන් ඇහුවා. කරූ ජයසුරිය මහත්තයට මීට දවස් 04කට කළින් එන්න කියලා අපි දෙන්නා කතා කළා. මම එතුමාට පැයක් කතා කරලා කිව්වා මේ වෙනස කරන්න හේතුව. මගේ කතාව අහගෙන ඉදලා පැයකට පස්සේ කරූ ජයසූරිය මහත්තයා මගෙන් අහපු ප්‍රශ්නය, ආණ්ඩුවට එකතු වෙන්න ඊයේ පෙරේදා හවසට හවසට මාව හමු වුණු එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුනුත් මගෙන් ඇහුවා.

ඒ ප්‍රශ්නය මේ රටේ එක්සත් ජාතික පාක්ෂිකයනුත් මගෙන් අහනවා. කුමක්ද ඒ ප්‍රශ්නය. එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ ප්‍රබල සහයෝගයෙන් බලයට පත් වූ ඔබට, මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීම විනා වෙනත් විකල්පයක් තිබ්බේ නැද්ද කියලා ඒ හැම කෙනෙක්ම මගෙන් අහනවා. මම පැහැදිළිව කියන්නට ඕන, කථානායකවරයා මගෙන් ඒ ප්‍රශ්නය ඇහුවම මම එතුමට කිව්වා කථානායකතුමනි, ඔබට මතක නැද්ද මීට මාස 08 කට පෙර ඒ විකල්පය මම ඔබට ඉදිරිපත් කළා. මිත්‍රවරුනි, ඔබ ඡන්දය දීලා ජයග‍්‍රහණය කළ පළාත් පාලන මැතිවරණයෙන් පස්සේ, රනිල් වික්‍රමසිංහ මහත්තයාට ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවෙන් පස්සේ කරූ ජයසූරිය මගේ හිතවත් කථානායකතුමාට මම කිව්වා, මට රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති හා වැඩපිළිවෙළ ගැළපෙන්නේ නැහැ, ඔහුත් එක්ක මට වැඩ කරන්න බැහැ. ඒ නිසා කරූ ජයසූරිය මැතිතුමනි, ඔබ අගමැති පුටුව භාරගන්න කියලා මම කරූ ජයසූරිය මහත්තයට කිව්වා.

මීට මාස 08 කට පෙර මම ඇවිටිලි කළා කරු ජයසුරිය මහත්තයට. අවසානයේ කරු ජයසූරිය මහත්තයා තුන්වෙනි දවසේ මට කිව්වා ජනාධිපතිතුමාගේ ඉල්ලීමට මම එකඟ වෙන්නම්, හෙට හම්බවෙන්න පුළුවන්ද, මම කිව්වා එන්න හම්බවෙන්න. පහුවදා හවස 5.00 ට වෙලාව දුන්නා, මාව හම්බ වෙන්න තනියම එනවා කියපු කරු ජයසූරිය මහත්තයා මගේ නිල නිවසට ආවා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තයා එක්ක. ඇවිල්ලා තොල්පොටවල් වෙව්ල වෙව්ල මට කිව්වා, අනේ මේ අගමැතිතුමාට මට විරුද්ධ වෙන්න බෑනේ කියලා.

මම මගේ ඒ ව්‍යායාමය එතනින් අතහැරියේ නැහැ. අදින් මාස 02 කට පෙර ඒ උත්සහයේ ඊළග පියවර මම තිබ්බා. එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහත්තයට මම ගෙදරට එන්න කියලා කිව්වා ඔබේ නායකයා මට ගැළපෙන්නේ නැහැ. මේ දර්ශනය රටට ගැළපෙන්නේ නැහැ. ඔහුත් එක්ක මට වැඩකරන්න බැහැ කියලා. මම සජිත්ට කිව්වා , මම කරු ජයසූරියට කිව්වා ඔවුන් පස්ස ගැහුවා. මම කිව්වා සජිත්, රනිල් අයින් කරමු ඔබ අගමැතිකම භාරගන්න කියලා මම ඉල්ලීමක් කළා. අනේ කරු ජයසූරිය මහත්තයා වගේම සජිත් ප්‍රේමදාස මහත්තයත් කිව්වා නායකතුමා එක්ක නම් මට බැහැ හැප්පෙන්න කියලා. ඒක නිසා මම කල්පනා කළා රටට ගැළපෙන නායකයෙක් හොයන්න. ඒ නිසා මම තීන්දු කළා රටට ගැළපෙන නායකයෙක් පිළිබඳ තීරණයක් ගන්න.මේ රටේ දේශීයත්වය අගය කරන, සංස්කෘතිය හඳුනන, රටට ආදරය කරන, ප්‍රජාතන්ත්‍රවාදී ගමනක් මාත් එක්ක යන්න, මට ගැළපෙන මිනිහෙක් මම හෙව්වා. කරු ජයසූරිය බෑ කිව්ව අගමැතිකම, සජිත් ප්‍රේමදාස බෑ කියපු අගමැතිකම, රනිල් වික්‍රමසිංහ එක්ක හැප්පෙන්න බැහැ කියලා සජිත් කියපු, කරූ කියපු අගමැතිකම රනිල් එක්ක හැප්පෙන්න නෙවයි, රනිල් පෙරළගෙන යන්න පුළුවන් මහින්ද රාජපක්ෂව මම අගමැති කෙරුවා කියලා කියන්න ඕන.

විදේශ න්‍යාය පත්‍රවලට අපිට වැඩ කරන්න බැහැ. පහුගිය අවුරුදු තුන හමාරකට වැඩි කාලයක් මේ රටේ අහිංසක දුප්පත්, දුගී ජනතාව පීඩාවට පත් කළා රනිල් වික්‍රමසිංහගේ ආර්ථික, දේශපාලන දර්ශනය. සුපිරි පන්තිය සැප විදින තත්ත්වයට පත් කෙරුවා. ස්වදේශීය ජනයාගේ ස්වදේශීය සිතුමි පැතුම් ඔහු ප්‍රතික්ෂේප කෙරුවා. ස්වදේශීකත්වයට වටිනාකමක් නොදී, විදේශීය චින්තනයෙන් නව ලිබරල්වාදී දේශපාලන දර්ශනයක් ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා. සිංහල, දෙමළ, මැලේ, මුස්ලිම්, බර්ගර් ජනතාවගේ සිතුම් පැතුම් සමගිය ඔහුට අමතක වුණා.

උතුරේ අහිංසක ජනතාවට නිවාස 50,000 ක් ඉදිකිරීමේ ව්‍යාපෘතියට අයිතිකාරයෝ කියාගන්න අවුරුදු තුන හමාරක් ඇමතිවරු රණ්ඩු වුණා. එක ගෙයක් හැදුවේ නැහැ. වෙනත් ව්‍යාපෘති ක්‍රියාත්මක වුණා. මේ නිවාස 50,000 ව්‍යාපෘතියට අතිවිශාල මුදලක් ලැබිලා තිබුණේ, මේ මුදල අයිතිකරගන්න රනිල් වික්‍රමසිංහ මහත්තයා අමාත්‍ය මණ්ඩල සංදේශ ඉදිරිපත් කළා. රවී කරුණානායක මහත්තයා මුදල් ඇමති විදියට අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කළා. ස්වාමිනාදන් හිටපු අමාත්‍යවරයා මේ පිළිබඳ අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කළා. ඒ ගැටුම තුළ අවුරුදු තුන හමාරක් එක ගෙයක්වත් හදන්න බැරි වුණා. ඒ නිසා මම ඉතාම පැහැදිළිව කියනවා අපි කරගෙන යන්නේ පිරිසිදු වැඩපිළිවෙළක්.

පොදු දේපළ රකින්න, ජාතික සම්පත් රකින්න, දේශපාලන ප්‍රතිවාදින්ට ආදරයෙන් කතා කරන්න. ඔවුන්ට කරුණු පැහැදිළි කරන්න. ඒ සියලු දෙයින් අපි වඩා යහපත් රටක් හදමු. මහින්ද රාජපක්ෂ ගරු අගමැතිතුමා, නව ඇමති මණ්ඩලය තමුන්නාන්සේලා අපි සියලූදෙනා එක්වෙලා මේ රටේ ගෞරවණිය මහා සංඝරත්නය, අනෙකුත් ගෞරවණීය සියලූ පූජකතුමන්ලා ඒ සෑම කෙනෙකුගේම අවවාද අනුශාසාන පෙරදැරි කරගෙන අපේ සංස්කෘතියට, අපේ දේශයට, උපේ උරුමයන්ට ගැළපෙන ඒ අපේකම් සියල්ලට වටිනාකමක් දෙමින් ඔබෙත්, මගෙත් ආදරණීය මාතෘ භූමිය ගොඩනගමු. ශක්තිමත් කරමු ඉදිරියට යමු.

මාතෘකා