20 වැනි සංශෝධනයේ අවශ්‍යතාව නැවතත් තහවුරු වෙනවා : ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති

 ඡායාරූපය:

20 වැනි සංශෝධනයේ අවශ්‍යතාව නැවතත් තහවුරු වෙනවා : ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති

මේ දිනවල රට තුළ මතුව තිබෙන දේශපාලන අර්බුදය තුළ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ගෙන ආ කළ 20 වෙනි සංශෝධනයේ අවශ්‍යතාව නැවතත් තහවුරු වන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.

සුනිල් හඳුන්නෙත්ති මහතා ඒ බව පැවසුවේ ජනතා විමුක්ති පෙරමුණ විසින් ඊයේ(4දා) පවත්වනු ලැබූ මාධ්‍ය හමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සුනිල් හඳුන්නෙත්ති මහතා මෙසේද පැවසීය.

"ඇතිවී තිබෙන මෙම අර්බුදය තුළ මැදහත්ව සිතන ජනතාවට දේශපාලන දැනුම, අවබෝධය ලබාගැනීමට අවස්ථාව උදාවෙලා තිබෙනවා. රටේ විශාල ආර්ථික අර්බුදයක් තිබුණා. මිල සූත්‍රයක් හදලා, මාසෙන් මාසෙට තෙල් මිල ඉහළ දැම්මා. රුපියල බාල්දු වුණා. භාණ්ඩාගාරය ණය ගෙවාගන්න බැරිව අර්බුදයක හිරවෙලා කියලා ආණ්ඩුවම කිව්වා.

එසේ තිබියදී පත්වුණා කියන ආණ්ඩුව බල සූදුව පවත්වාගෙන යන්න ජනතාවට කැරට් අල දෙන්න පටන් ගත්තා. තෙල් මිල, බඩු මිල, බැංකු පොලී අනුපාත අඩු කරන්න ගත්තා. මීට කලින් ආණ්ඩුවට අඩු කරන්න බැරි දේවල් එක පාරම අඩු කරන්නේ කොහොමද? මේ බල සූදුවට ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ගවලට එරෙහිව පැන නැඟෙන ජනතා විරෝධය යටපත් කරන්න තමයි කැරට් අල දෙන්න පටන්ගත්තේ.

මේවා හරියට ඡන්ද කාලෙට ජනතාවට දෙන කැරට් අල වගේමයි. මධ්‍යස්ථව සිතන රටේ ජනතාවට හිතන්න ඕනෑකරන වටපිටාවක් දැන් ගොඩනැඟී තිබෙනවා. මේ සහන තාවකාලිකයි. මන්ත්‍රීවරු සල්ලිවලට ගන්න ක්‍රියාමාර්ගවලට එරෙහිව නැඟෙන විරෝධය යට ගහන්න දෙන ලොසිංජර පමණයි. අපි ජනමාධ්‍යවලට කියනවා, මේවා පළකළ යුත්තේ සහන කියලා නොව ජනතාව රවටන්න දෙන ලොසිංජර කියලයි.

"මන්ත්‍රීවරු විකිණීමේ සූදුව පිළිබඳව පුදුම වෙන්න දේකුත් නැහැ. මේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට ආවේ දොරවල් කඩාගෙන නෙවෙයි, ජනතාවගේ ඡන්දෙන්. ඡන්ද කාලෙට රැකියාවට, බඩු මල්ලට, සාරියට ජනතාව විකුණුනා. ඒ ඡන්දෙන් පත්වුණු මන්ත්‍රීවරු ඊළඟ මැතිවරණයට සල්ලි හොයාගන්න මන්ත්‍රීකම, ඇමැතිකම විකුණනවා. අද මහින්දගේ පැත්තට විකිණෙන අය හෙට රනිල්ගේ පැත්තට විකිණෙන්න පුළුවන්.

එවැනි පුද්ගලයන්ට මන්ත්‍රීතුමා, ඇමතිතුමා කියන්න ජනතාවට පුළුවන්ද? අපි ජනතාවගෙන්, මාධ්‍යවලින් ඉල්ලනවා, නරඹන්නන් නොවී එවැනි පුද්ගලයන්ට පණිවුඩයක් දෙන්න සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්න කියලා.

"ජවිපෙ 20 වැනි සංශෝධනය ගේනවා කියනකොට, වගන්ති දැක්කෙත් නැතිව 20න් රට බෙදනවා, රට අරාජික වෙනවා, රට කොටියට දෙනවා කියලා කියපු හාමුදුරුවරු පිරිසක් හිටියා. ටී.එන්.ඒ. මන්ත්‍රීවරයෙක් රාජපක්‍ෂලාගේ පැත්තට ආවා. 20ට විරුද්ධ වූ හාමුදුරුවන් වහන්සේලාගෙන් අපි දැනගන්න කැමතියි ඒ ගැන මොකක්ද කියන්නේ? ටී.එන්.ඒ. මන්ත්‍රීවරු මහින්දගේ පැත්තට ගත්තාම රට බෙදෙන්නේ නැද්ද? ඒ ගැන පැහැදිලි කිරීමක් හාමුදුරුවන් වහන්සේලාට කරන්න පුළුවන්ද? මේ සිදුවීම්වලින්

20 වැනි සංශෝධනය තව තවත් තහවුරු වෙමින් තිබෙනවා. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බව ඔප්පු කරනවා. 20හි වලංගුතාව තමයි රනිල්-මෛත්‍රී-මහින්ද දැන් ඔප්පු කරමින් තිබෙන්නේ. අපේ රටේ ජනතාවට මඟ පෙන්වන්න ප්‍රගතිශීලී සිවිල් සංවිධානවලට පුළුවන්. මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ග ප්‍රතික්‍ෂේප කරන්න. ඒ වගේම අපේ රටේ මාධ්‍යවලට සුවිශේෂී කාර්යභාරයක් තිබෙනවා.

සමාජ මාධ්‍යවල, ප්‍රවෘත්ති වෙබ් අඩවිවල තමන්ගේ මතය ප්‍රකාශ කරලා ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ගවලට එරෙහි වෙන්න කියලා අපි ඔවුන්ට විවෘත ආරාධනයක් කරනවා. අපි සියලු දෙනා එකතු වෙලා ජනතාවගේ ඡන්දයට අපහාස කරන ජනතා පරමාධිපත්‍ය හෑල්ලු කරන මෙම දේශපාලන කුමන්ත්‍රණ පරාජය කරමු. එය අපේ වගකීමක්."

ජ.වි.පෙ. ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතාද එම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වීය.

මාතෘකා