පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට යෝජනාවක් ගේන්නැයි ජවිපෙට අභියෝග කරනවා: එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර

 ඡායාරූපය:

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට යෝජනාවක් ගේන්නැයි ජවිපෙට අභියෝග කරනවා: එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර

නව අගමැතිවරයෙක් පත්කොට ආණ්ඩුවක් පිහිටුවීම ව්‍යවස්ථා විරෝධී නම් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා යෝජනාවක් ගෙනඑන්නැයි ජනතා විමුක්ති පෙරමුණට අභියෝග කරන බව ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා ප‍්‍රකාශ කළේය.

ජයන්ත සමරවීර මහතා ඒ බව පැවසුවේ ඊයේ (04) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේද පැවසීය.

"ජනතා විමුක්ති පෙරමුණ ඒ විදිහට පාර්ලිමේන්තුව විසුරුවා හරින්නට යෝජනා කරනවා නම් අපේ පක්ෂයත් දෑතම ඔසවා එය අනුමත කරනවා. ඒ ආකාරයට පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයක් තැබුවහොත් පත් කරන්නේ කවුදැයි මහජනතාව තීරණය කරයි. ඒ ජනවරම ලබන්නට කැමති නම් පාර්ලිමේන්තුව විසුරුවා හරිමු කියලා අපිත් යෝජනා කරනවා.

"ජනාධිපතිතුමන් විසින් නව අගමැති ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත්කිරීම හා පාර්ලිමේන්තුව කල් තැබීම ගැන මේ දිනවල රටේ ඝෝෂාවක් පවතිනවා. එම ඝෝෂාවේ පෙර ගමන්කරුවන් ජනතා විමුක්ති පෙරමුණයි. "රනිල් රකිමු" කියලා ජනතා විමුක්ති පෙරමුණ කියනවා. පසුගියදා කැඳවා තිබූ පක්ෂ නායක රැස්වීමට ගිය ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්වරයා අගමැති පත් කිරීම ව්‍යවස්ථා විරෝධී සහ සදාචාර විරෝධී බව ප්‍රකාශ කර තිබුණා. එසේ නම් 2001 දෙසැම්බර් පස් වැනිදා පාර්ලිමේන්තු මැතිවරණයේදී එජාපය ආසන 109ක් දිනද්දි පොදුජන පෙරමුණ ආසන 77ක් දිනා තිබූ අවස්ථාවක එක්සත් ජාතික පක්ෂය අනෙක් කුඩා පක්ෂවල උපකාරයෙන් ආණ්ඩුවක් හදාගත්තා. එදා රනිල් අගමැති වූ එම ආණ්ඩුවේ මන්ත්‍රීවරු 132ක් සිටි බවත් සිහිකරන්න කැමතියි. ඒ ආණ්ඩුව ප්‍රභාකරන් සමඟ රට පාවාදීමේ ගිවිසුමකට අස්සන් කළා. එදා එක පැත්තකින් ඒ ගිවිසුම හරහා ස්වයංපාලන ආණ්ඩුවක් ඇතිවෙමින් තිබුණා වගේම වෙනම පොලිසි පවා හැදුණා.

"ඒ රජය එදා රටේ දේපොළ විකිණීමට කටයුතු කරමින් සිටි අවස්ථාවේදී ඊට විරුද්ධව රටේ මහා උද්ඝෝෂණයක් දියත් කළේ සෝමවංශ අමරසිංහ මහතාගේ නායකත්වයෙන් යුත් ජනතා විමුක්ති පෙරමුණයි. එදා ජනතා විමුක්ති පෙරමුණ රට විකුණන ආණ්ඩුවේ ගමන නවත්වන්නැයි කළ ඉල්ලීම අනුව එවකට ජනාධිපතිනිය විධායක බලතල භාවිත කරලා 2004 පෙබරවාරි හයවැනිදා මන්ත්‍රීවරු 132කගේ සහාය ලැබෙමින් තිබූ රජය විසුරුවා හැර නැවත මහ මැතිවරණයක් කැඳවනු ලැබුවා. එදා ඒ විදිහට බලතල පවරා ගන්නකොට එය ප්‍රජාතන්ත්‍රවාදී දැයි මම අද ජනතා විමුක්ති පෙරමුණින් ප්‍රශ්න කරනවා.

"එදා විධායක බලතල භාවිත කරලා ඒ විදිහට පවරා ගන්නා විට ප්‍රජාතන්ත්‍රවාදී නම්, ව්‍යවස්ථානුකූල නම් අද තත්ත්වය ව්‍යවස්ථානුකූල නොවන්නේ ඇයි කියලත් ජනතා විමුක්ති පෙරමුණින් ප්‍රශ්න කරන්න සිදුවෙනවා. අද තිබෙන්නේ අනුර දිසානායකගේ ජනතා විමුක්ති පෙරමුණයි. අද ඔහු පක්ෂය ඔළුවෙන් හිටුවලා තියෙන්නේ."

මාතෘකා