පත්කිරීම් ව්‍යවස්ථානුකූල නැත්නම් ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න : වරාය සහ නාවික කටයුතු ඇමැති මහින්ද සමරසිංහ

 ඡායාරූපය:

පත්කිරීම් ව්‍යවස්ථානුකූල නැත්නම් ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න : වරාය සහ නාවික කටයුතු ඇමැති මහින්ද සමරසිංහ

අගමැතිවරයා වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා පත් කර නව ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගනු ලැබූ තීන්දුව නීත්‍යනුකූල හා ව්‍යවස්ථානුකූල නොවේ නම් ජාත්‍යන්තරය හමුවේ රට අප්‍රසාදයට පත් නොකර මූලික මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු කිරීමට රනිල් වික්‍රමසිංහ මහතාට හැකියාවක් ඇතැයි වරාය හා නාවික කටයුතු ඇමැති මහින්ද සමරසිංහ අවධාරණය කළේය.

මේ වන තෙක් තීන්දුවට එරෙහිව කිසිවකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගොස් නැති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක, වරාය හා නාවික කටයුතු ඇමැති මහින්ද සමරසිංහ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී පසුගියදා (02) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමින් ප්‍රකාශ කළේය. ව්‍යවස්ථාව පිළිබඳ අර්ථකතනයක් දිය හැක්කේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් බවත් ඒ සඳහා බලය ඇත්තේ ජනාධිපතිවරයාට බවත් පැවැසූ ඇමැතිවරයා එය අභියෝගයට ලක් කිරීමට අවශ්‍ය නම් හොඳම ක්‍රමය ශ්‍රේෂ්ඨාධිකරණයට යෑම බව ද ඇමැතිවරයා මෙහිදී සඳහන් කළේය.

එහි දී ඒ සම්බන්ධව වැඩි දුරටත් අදහස් දැක් වූ මහින්ද සමරසිංහ ඇමැතිවරයා මෙසේද පැවසීය.

"එක්සත් ජාතික පක්ෂය ශ්‍රේෂ්ඨාධිකරණයට නොයා විදේශ තානාපතිවරු ගෙන්න ගන්නවා. ඉංග්‍රීසි ව්‍යවස්ථාව පෙන්වලා වැරැදි කියනවා. ඒ කාර්යයට විතරයි මේ කටයුතු සීමා වෙලා තිබෙන්නේ. එමෙන්ම බහුතරය කාටද තිබෙන්නේ කියලා අපි පෙන්වන්න අවශ්‍ය නැහැ. ජනාධිපතිවරයාගේ මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති මන්ත්‍රීවරයා අගමැතිවරයා ලෙස පත් කිරීමට ව්‍යවස්ථාවෙන් බලය තිබෙනවා.

ජනාධිපතිවරයා එය කළා. ඒ නිසා අපි ආයෙත් විශ්වාසය තිබෙනවා කියලා පෙන්වන්න ඕනේ නැහැ. කාට හරි එය අභියෝගයට ලක් කරන්න අවශ්‍ය නම් විශ්වාසභංගයක් ගේන්න පුළුවන්. එය පිළියෙල කරලා මහ ලේකම්වරයාට ඉදිරිපත් කර ඒ කටයුතු නිම වුණාම විවාදයට ලක් කර ඡන්දයකට යන්න වෙනවා.

ඒ අනුව පත් කළ අගමැතිවරයාට විශ්වාසය නැහැ කියලා පෙන්වා දෙන්න පුළුවන්කම තිබෙනවා. කරන්න පුළුවන් ක්‍රම ඕනතරම් තිබියදී රට අස්ථාවර කරමින්, තානාපතිවරුන් හමුවෙලා, විදේශ නියෝජිතවරු හමුවෙලා ඒ අයගේ පැත්තෙන් පමණක් කරුණු කියලා අවුල් සහගත තත්ත්වයක් රටේ ඇති කරන්න අවශ්‍ය වන්නේ නැහැ'

මාතෘකා