ජනපති හා අගමැති රටට ආදරය කරන හොඳම නායකයන් දෙදෙනායි : සංචාරක හා වනජීවී අමාත්‍ය වසන්ත සේනානායක

 ඡායාරූපය:

ජනපති හා අගමැති රටට ආදරය කරන හොඳම නායකයන් දෙදෙනායි : සංචාරක හා වනජීවී අමාත්‍ය වසන්ත සේනානායක

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වත්මන් අගමැතිතුමා වන මහින්ද රාජපක්ෂ මහතා සමඟ එක්වීම කාලයක සිට රටේ ජනතාවගේ ප්‍රමුඛතම ප්‍රාර්ථනය බවද රටට ආදරය කරන ශක්තිමත්ම නායකයන් දෙදෙනාගේ මෙම එක්වීම වැටුණු රට ගොඩ ගැනීමට ඇවැසි එකම ශක්තිය යැයිද සංචාරක හා වනජීවී අමාත්‍ය වසන්ත සේනානායක මහතා පැවසුවේය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (01) දළදා මාලිගාවට පැමිණ මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවකදීය.

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට රටට වැඩ කිරීමට බොහෝ අවස්ථා ලැබුණද ඉන් කිසිදු අවස්ථාවක් නිසි ලෙස ගෙන රටට වැඩක් නොකළ බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

"රටකට හරි ආණ්ඩුවක් තියෙන්න ඕනෑ. පසුගිය යහපාලන ආණ්ඩුව ගතවුණු වකවානුවේ රටට කිසිදු යහපත් දෙයක් කළේ නෑ. එක තැන පල්වුණා. ඉදිරි පරපුරට රටක් තියෙන්න නම් හොඳ ආණ්ඩුවක් තියෙන්න ඕනෑ. ආර්ථිකය දිනෙන් දින කඩා වැටුණා. මම තවමත් යූඑන්පී සාමාජිකයෙක්. ඒක වෙනස් වෙලත් නෑ, වෙන්නෙත් නෑ. අවුරුදු තුනක් පුරා රනිල් වික්‍රමසිංහ මහතාට හොඳම අවස්ථා දීලත් රටට වැඩක් කරන්න බැරි වුණා.

මං විශ්වාස කරනවා ජනාධිපතිතුමත් අගමැතිතුමාත් හොඳ සුසංයෝගයකින් රටට වැඩක් කරයි කියලා. මේක රටේ ජනතාව කාලයක ඉඳන් බලාගෙන හිටපු දෙයක්, ප්‍රාර්ථනා කරපු දෙයක්. මේ ආණ්ඩුත් ජනතාවාදී ආණ්ඩුවක් වෙන්නේ නැත්නම් මම තීන්දුවක් ගන්නවා. ඒත් මං හිතන්නේ නෑ මේක එහෙම වෙයි කියලා. මොකද මේ එකතු වෙලා තියෙන්නේ රටට වැඩිපුරම ආදරේ නායකයන් දෙන්නා.

"පසුගියදා කොළඹට ආපු අය කියපු දේවල්වලින් පැහැදිලි වෙන්නේ පාක්ෂිකයන් රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් රකින්න ඉදිරිපත් වෙන්නේ නැහැ කියලා. සජිත් ප්‍රේමදාස මහතා එ.ජා.ප.යට හොද නායකත්වයක් දිය හැකි අයකු වුවත් ඔහුට ඒක ලැබුණේ නැහැ. වික්‍රමසිංහ මහතාට වැඩිය සජිත් ප්‍රේමදාස මහතාත් කරු ජයසූරිය මහතාත් හොඳ නායකයෝ කියන එක විවාදයක් නැහැ. ඒත් එජාපයට ඒ තත්ත්වය උදා වෙන පාටක් පේන්නවත් නැහැ.

"මට දින සියයේ ආණ්ඩුවේ අමාත්‍යංශයක් ලැබුණා. ඒ අමාත්‍යංශයේ වැඩ කොටසක් කරගෙන ගියත් පස්සේ මට ඒ වැඩ කොටස් ඉටුකරන්න බැරි වුණා. අමාත්‍යංශය ලැබුණෙත් නැහැ. අපි කරන වැඩවලට ලැබුණු ජන ප්‍රසාදය දැකලා, අපේ ගමන වැළැක්වුවා. නමුත් මේ අමාත්‍යංශය හරහා ඉදිරියේදී විශාල වැඩ කොටසක් කිරීමට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් අමාත්‍යංශය හරහා ජනතාවට අවශ්‍ය සේවාව උපරිමයෙන් සලසනවා. වන සතුන්ගේ ආරක්ෂාව වගේම ඔවුන් වෙනුවෙනුත් අවශ්‍ය කටයුතු කරනවා.

මට හොඳ දක්ෂ නියෝජ්‍ය ඇමතිවරයකු ලැබීම ගැන සතුටු වෙනවා. වන ජීවි දෙපාර්තමේන්තුවට අදාළ සියලු නිලධාරීන්ගේ හා සේවකයන්ගේ ප්‍රශ්න විසඳනවා. ඒ වගේම අලි මිනිස් ගැටුම අවම කිරීමටත් තව දශක දෙකකකින් පමණ එයට තිත තැබීමටත් සැළසුම් සකස් කරගෙන යනවා."

මාතෘකා