කොළඹ ඉන්දියන් සාගර කලාපයේම ප්‍රධාන නගරයක් බවට පත්කරනවා

 ඡායාරූපය:

කොළඹ ඉන්දියන් සාගර කලාපයේම ප්‍රධාන නගරයක් බවට පත්කරනවා

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

ශ්‍රි ලංකාව ණය බරින් බේරාගැනීමට කොපමණ අපහසුතා පැමිණියත් ජනාධිපතිවරයා ප්‍රමුඛ යහපාලන ආණ්ඩුව විසින් එම භාරදූර කාර්යය නිමකරමින් සිටින බවත් රටේ ආර්ථිකය ශක්තිමත් කරමින්, විධිමත් සංවර්ධනයක් කර ඇති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මට්ටක්කුලිය, මෙත්සඳ සෙවණ නිවාස ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වෙමින් පසුගියදා(24) පැවසීය.

කොළඹ නගරයේ ජීවත්වන පැල්පත්වාසීන් හට ස්ථිර නිවාස ලබාදීමේ ව්‍යාපෘතිය සාර්ථක මට්ටමක ඇති බවත් කොළඹ නඟරයේ පැල්පත්වාසී ජනතාව 2020 වනවිට ස්ථීර නිවාස තුළ පදිංචිකර අවසන් කර ඔවුන්ගේ දරුවන්ගේ අධ්‍යාපන මට්ටම සංවර්ධනයට පියවර ගන්නා බවත් අග්‍රාමාත්‍යවරයා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා,

“අපේ අරමුණ වන්නේ කොළඹ නගරය ශ්‍රී ලංකාවේ පමණක් නොව ඉන්දියන් සාගර කලාපයේම ප්‍රධාන නගරයක් බවට පත්කිරීමයි. අතීතයේ කොළඹ නගරයට විශාල ප්‍රසිද්ධියක් තිබුණා. බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය පාලන යුගයේදී කොළඹ හොඳම නගරයක් බවට පත්ව තිබුණා.

අද වනවිට ආසියානු, අප්‍රිකානු රටවල් නිදහස ලබාගෙන තිබෙනවා. ශ්‍රී ලංකාව ඉන්දියාව ජනරජයන් බවට පත්වී තිබෙනවා. ඉතින් වර්තමානයේදී අප නිදහස ලබාගෙන ආර්ථික සංවර්ධනය ඇති කරමින් යන ඉදිරි ගමනේදී යළිත් කොළඹට මූලික ස්ථානයක් ලබාදීම අපේ අරමුණයි. මීට පෙර කොළඹට ප්‍රධාන ඒකාබද්ධ සංවර්ධන සැලැස්මක් තිබුණේ නැහැ. ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ යුගයෙන් පසුව කොළඹට එවැනි සංවර්ධන සැලැස්මක් තිබුණේ නැහැ.

යුද්ධය නිසා කොළඹට වැඩි ජනගහනයක් සංක්‍රමණය වුණා. ආරක්ෂාව පතා ජනතාව කොළඹට පැමිණියා. රටේ ආර්ථිකය ද කොළඹට මධ්‍යගත වුණා. කොළඹ ආශ්‍රිතව සෑම තැනකම නව වැඩසටහන් ආරම්භ වී තිබෙනවා. කොළඹ නගරයේ වාණිජ අංශයේ නිවාස දියුණු වෙමින් තිබෙනවා. රජය කෙරෙහි ඇති විශ්වාසය නිසා දේශීය මෙන්ම විදේශීය ආයෝජකයන් කොළඹ නගරයට පැමිණෙනවා. එම නිසා නගරයට විශාල ඉල්ලුමක් තිබෙනවා.

කොළඹ නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘති සදහා වැඩි ඉල්ලුමක් තිබෙනවා. ඒ සදහා අපට ක්‍රම දෙකක් තිබෙනවා. ඉන් එකක් වන්නේ, මධ්‍යම පාන්තිකයන් සඳහා නිවාස යෝජනා ක්‍රමයයි. ඒ සඳහා ණය ලබා දීමේ ක්‍රමයක් තිබෙනවා. අනෙක් ව්‍යාපෘතිය වන්නේ, අඩු ආදායම්ලාභීන් සදහා නිවාස ලබාදීමේ වැඩසටහනයි. මේ සෑම ප්‍රදේශයකම ඒ වැඩසටහන ක්‍රියාත්මකයි.

කොළඹ නගරයේ සියලුම පැල්පත්වාසීන් සඳහා තට්ටු නිවාස ලබාදීම අපේ අරමුණ වී තිබෙනවා. ලෝකයේ බොහෝ රටවල, නගරවල පැල්පත්වාසීන් සදහා තට්ටු නිවාස ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මකයි.

විශේෂයෙන් පසුගිය සමයේ නාගරික සංවර්ධන අධිකාරිය ණය ලබාගෙන ගොඩනැගිලි ඉදිකර ඉන් පසුව එම ඉඩම් විකුණා ඊළඟ ගොඩනැගිලි ඉදිකළා. නමුත් එම වැඩසටහන සාර්ථක වුණේ නැහැ. 2015 වසරේ අප රට බාරගත් පසුව අප රුපියල් බිලියන 17 ක් ගෙවා රට ණය උගුලෙන් බේරාගත්තා. ඉන් පසුව අප මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම ආරම්භ කළා.

සැමදෙනාටම එවැනි ශක්තියක් නැහැ. නැවත වතාවක් ණය බරින් පිරුණු අතීත යුගයක ගමන් කිරීමට අවශ්‍ය වන්නේ නැහැ. සීමාවක් නොමැතිව ණය ලබාගෙන ණය ගෙවීමට බැරි යුගයකට යාමට අවශ්‍ය වන්නේ නැහැ. අපට අවශ්‍ය වන්නේ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමටයි. එයින් කොළඹ නගරය තවත් ශක්තිමත් වෙනවා. මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධූරයට පත්වන වකවානුවේ අපට තඹ සතයක්වත් තිබුණේ නැහැ. නාගරික සංවර්ධන අධිකාරියත් ණය වී තිබුණා. මහා භාණාඩාගාරයෙත් මුදල් තිබුණේ නැහැ. රට උකස් කර තිබුණා. අප බේරාගත්තේ එම රටයි.

කොපමණ අමාරුකම් තිබුණත් අප ණය බරින් රට බේරාගෙන ලංකාවට අනාගතයක් ලබා දී තිබෙනවා. තවත් අමාරු ප්‍රශ්නවලට විසඳුම් ලබාදිය යුතුව තිබෙනවා. නමුත් ඉදිරියට යා හැකි වාතාවරණය මේ වන විට නිර්මාණය වී තිබෙනවා. අපට අනාගතය ගැන විශ්වාසයක් තිබෙනවා. කොළඹ නගරය දියුණුවට පත්වෙමින් තිබෙනවා. ඒ වැඩකටයුතු වෙනුවෙන් පාඨලී චම්පික ඇමතිතුමාට විශාල වගකීමක් පැවරෙන බව කිව යුතුයි. නගරයේ තට්ටු නිවාස ආරම්භ කිරීම, නගරය සැලසුම් කිරීම මෙන්ම කොළඹ නගරයේ යටිතල පහසුකම් ගොඩනැංවිය යුතුව තිබෙනවා.

බ්‍රිතාන්‍ය යුගය දක්වා පැරණි යටිතල පහසුකම් නවීකරණය කළ යුතුයි. කැලණි ගඟ ගැලීමෙන් ජනතාව ආරක්ෂා කරගැනීම සඳහා වැඩසටහනක් සකස් විය යුතුයි. ඊළඟ වසර කීපයේදී මේ ප්‍රශ්න ගැන අවධානය යොමු වී තිබෙනවා. මෙහිදී පාඨලි චම්පික ඇමතිතුමා කැපවී කටයුතු කිරීම පිළිබද අප ස්තුතිවන්ත වෙනවා. අද තට්ටු නිවාස බාර ගන්නා සියලු දෙනාගේම වගකීම වන්නේ මේ සම්පත ආරක්ෂා කරගැනීමයි”

මාතෘකා