මැයි එකොළහ කළුවර රෑ හද පාරන සරසවි මතකය

 ඡායාරූපය:

මැයි එකොළහ කළුවර රෑ හද පාරන සරසවි මතකය

විභාග සමත් කළ හැකි උගතුන් වූ පමණින්ම කිසිවකු බුද්ධිමතෙකු නොවන බව අප කවුරුත් අසා පුරුදු කියමනකි. ඉහත කියමන සනාථ කරවන උදාහරණ සපයන්නෝ විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් පමණක් නොවේ. එහි ඇදුරෝ ද, තම සැබෑ බුද්ධි මට්ටම ප්‍රදර්ශනයේ ලා අති දක්‍ෂයෝය.

මේ නිසාම විශ්වවිද්‍යාලීය සමාජය, රටේ පොදු සමාජයේ නිවරැදි පැතිකඩක් නිරූපණය කෙරේ යැයි ඉඳුරාම කිවහැකිවේ. බුද්ධිමත්හු මෙන්ම මන්ද බුද්ධිකලා ද, ඥානවන්තයෝ මෙන්ම මහදැනමුත්තෝද, බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තෝ මෙන්ම සියල්ල දත්තෝද, ඒ සමඟම සිංහයෝ මෙන්ම සිංහ වෙස්ගත් සිඟාලයෝ ද රටේ ප්‍රතිශතයන්ට නොඅඩුව විශ්වවිද්‍යාලවල ද වෙසෙති. ඉදින්, රටේ කෙරෙන නොපණත්කම් ඒ අයුරින්ම විශ්වවිද්‍යාලය තුළද සිදුවීම අරුමයක් නොවේ.

අවට පරිසරය, තුරු ලතා, ගොඩනැගිලි යනාදිය ගැන සලකන කල පේරාදෙණිය විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල අතර අසමසම වේ. එයට තවත් හේතුවක් වන්නේ, පේරාදෙණිය නේවාසික විශ්වවිද්‍යාලයක් වීමයි. උතුර, දකුණ, වම, දකුණ යනාදී රටේ සෑම දිශාවකින්ම පැමිණි ශිෂ්‍යයෝ, වචනයේ සැබෑ අරුතෙන්ම එක හැලියේ බත් කමින් තුන් හතර වසරක් මෙහි ජීවත්වෙති.

පරිසරයේ සොඳුරු බව කෙසේ වූව ද, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ජීවිතය නම් දුෂ්කර වූ ද, කටුක වූ ද එකක් බව නන්දා මාලිනිය ගැයූ සුනිල් ආරියරත්න ගේ “හන්තාන අඩවියේ - ප්‍රේමයේ සුවඳ නොවේ” පදමාලාවෙන් මොනවට කියැවේ.

මගේ පේරාදෙණිය සිව් වසරක ජීවිතයෙන් මා ලැබූ වටිනාම අත්දැකුම වන්නේ උතුරෙන්, නැගෙනහිරෙන් පැමිණි දෙමළ සිසුන් ඇසුරු කිරීමට ලැබීමයි. අපේ ඉංජිනේරු පීඨ කණ්ඩායමේ දළ වශයෙන්, සිංහල සිසුන් 125 ක් පමණ ද, දෙමළ සිසුන් 100 ක් පමණද, මුස්ලිම් සිසුන් 25 ක් පමණ ද වූහ. ඒ දෙමළ, මුස්ලිම් සිසුවෝ ද මා කලින් සඳහන් කළ ලොකු ඇට හාලේ බත්, ගෝවා කොළ මැල්ලුම සමග කෑහ. එසේ හෙයින්, අප වචනයේ අර්ථ පරිසමාප්තාර්ථයෙන්ම එක හැලියේ බත් කෑ අය වෙමු.

උතුරු-නැගෙනහිරෙන් පැමිණෙන සිසුවෝ අති මහත් බහුතරයක් සිංහල බස ලිවීම, කියවීම හෝ කතා කිරීම හෝ හසරක් නොම දැන පේරාදෙණියට පැමිණෙති. සමස්ත සිංහල සිසු පිරිසම එලෙසම දෙමළ බස ලිවීම, කියවීම හෝ කතා කිරීම හෝ හසරක් නොමදැන එහි පැමිණෙති. අපේ සන්ධාන භාෂාව වන්නේ, පීඨයේ උපදේශක භාෂාව ද වන ඉංගිරිසියයි. පේරාදෙණියේ වාසය කිරීමට ලිවීම කෙසේ වෙතත්, සිංහල තරමක් කතා කරන්නටත්, බස් රථ පුවරුවක් වත් කියවා ගන්නට හැකි තරමට සිංහල කියවීමේ දැනුමකුත් අවශ්‍යවේ. නවක සිසුන් සැම දෙන සඳහා ඉංගිරිසි පිළිබඳව කඩිනම් පාඨමාලා පැවැත්වෙන අතර ක්‍රමවත් වැඩ පිළිවෙළක් නොතිබුණ ද නවක දෙමළ සිසුන්ට ජ්‍යෙෂ්ඨ දෙමළ සිසුන් විසින් කඩිනම් සිංහල කතාබහ පාඨමාලා සංවිධානය කෙරේ. මේ අතර තුර සිංහල දෙමළ සිසුන් දෙපිරිස අතර කතාබහ, මුල දී කණ්ඩායම් පැවරුම් විද්‍යාගාර ක්‍රියාකාරකම් වැනි අත්‍යාවශ්‍ය අධ්‍යාපනික කරුණු අරභයා ද, පසුව ඊට අමතරව විහිළු තහළු සහ අනෙකුත් සමාජමය කරුණු අරඹයා ද, බැරි බැරි ගාතේ ඉංග්‍රීසියෙන් පටන්ගෙන පසුව ඉංග්‍රීසියෙන් සහ හැකි පරිදි සිංහලෙන් ද සිදුවීම ඇරඹේ.

අපේ පීඨයේ වැඩි ශිෂ්‍ය දේශපාලනයක් නොතිබුණි. ඒ කෙසේ වෙතත්, දෙමළ සිසුන් මේ අරභයා අනුගමනය කළේ නිශ්ක්‍රීය පිළිවෙතකි. එයට හේතුව සරලය. අපේ තාත්තලා ගේ කාලයේ යම් ප්‍රගතිශීලි අදහසක් දැරුවෙක් වෙත් නම් ඔහු සමසමාජ කාරයෙක් සේ හංවඩු ගැහුණා සේම, අපේ කාලයේ යම් සමාජ ප්‍රතිගාමී ක්‍රියාවන්ට විරෝධතාවයක් දැක්වූයෙක් වූයේ නම් ඔහු ජේවීපී කාරයෙක් වූවා සේම, එවැන්නෙක් දෙමළ වූයේ නම්, ඒ 1983 ජූලියට පෙර සමයේ පවා ඔහු එල්ටීටීඊ කාරයෙක් බවට සැකයට භාජනය වන්නට ඉඩ තිබුණු බව දෙමළ සිසුන් හොඳින් දැන සිටින්නට ඇත.

අප ඒ සුන්දර පේරාදෙණිය පරිසරයේ, අන්තර් ජනවාර්ගික සාමකාමී සහජීවනයේ යෙදෙමින් සිටි මේ සමයේ උතුරේ සටන, එහි මුලික හේතුව වූ ජනවාර්ගික ප්‍රශ්නය යටපත් කරමින්, බිම්බෝම්බ රැගත් දෙමළ ත්‍රස්තවාදයෙන් ද, පුස්තකාල ගිනිතැබීම්, අතුරුදන් වීම් යනාදිය පෙරටු කොට ගත් රාජ්‍ය ත්‍රස්තවාදයෙන් ද, ඉන්ධන ලබමින් හොඳින් ගිනිගන්නට පටන් ගෙන තිබුණි.

බුද්ධිමතුන් පරදා මන්දබුද්ධික ලා රජ වූහ. ඥානවන්තයන් වෙනුවට මහදැනමුත්තෝ උපදේශක ලා වූහ. සිංහයන් වෙනුවට සිංහ වෙස්ගත් සිඟාලයින් පෙරට ආහ. සමස්ත විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංහතියටම නින්දා කෙරිණ. පේරාදෙණිය විශ්වවිද්‍යාල ඉතිහාසයේ නොමැකෙන කැළලක් ඇතිවිය. සැළසුම් සහගතව කෙරුණා යැයි සැක සිතෙන තරමට සුක්‍ෂම ලෙස කුඩා පිරිසක් විසින් අරඹන ලදුව, ඔවුන් ගේ උසිගැන්වීමෙන්, සිංහල සිසුවෝ පිරිසක් විසින් දෙමළ සිසුන් කිහිපදෙනෙකුට පහර දුන්නෝය. නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගෙන පොලීසියට බාර දුන්නෝය. මැයි එකොළහ රැය කෑලි කැපිය හැකි ඝනදුරෙන් යුතු තිත්ත කළුවර රැයක් විය.

මෙහි දී කැපී පෙනෙන සිදුවීමක් වූයේ, මේ තිරශ්චීන සිදුවීම් මාලාව ගැන, සාක්‍ෂි මත පදනම්ව, ලියවී ඇති ලිපිවලට අනුව, විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ට නිසි මඟ පෙන්වීමට සිටි ආචාර්ය මහාචාර්යවරුන් ඇතැමෙක්, එසේ උපදෙස් දීම කෙසේ වෙතත්, මේ අමානුෂික ක්‍රියාවලට වක්‍රාකාරයෙන් හෝ සහය දීමයි.

මේ දිනවල දෙවන වසරේ ඉගෙනුම ලබමින් සිටි සිසුන් වන අපට විශ්වවිද්‍යාලය තුළ නේවාසික පහසුකම නොලැබුණු නිසා අප නැවතී සිටියේ ඊරියගම නිවෙසකය. පසු දා, එනම් මැයි 12 දා, උදේ වරුවේ සුපුරුදු පරිදි විශ්වවිද්‍යාලය කරා පැමිණි අපට පෙර දින රාත්‍රී සිදුවීම මාලාව සහ උද්ගත වී ඇති තත්වය සැකෙවින් දැනගැනීමට ලැබුණි. ඉංජිනේරු පීඨයේ දෙමළ සිසුන් විශාල ප්‍රමාණයක් නිවෙස් බලා පිටත්ව ගොස් හෝ පිටත්ව යමින් සිටියහ.

ඉංජිනේරු පීඨ ශිෂ්‍ය සංගමයේ දූරදර්ශී නායකත්වය යටතේ වහා රැස් වූ ශිෂ්‍යයෝ, විශ්වවිද්‍යාලයේ ආරක්‍ෂාකාරී තත්වයක් උදාවී, තම සහෝදර දෙමළ සිසුන් ආපසු පැමිණෙන තුරු සියලු අධ්‍යයන කටයුතුවලින් ඉවත්ව සිටීමට තීරණය කළහ. අපට සති තුනක පමණ අනියම් නිවාඩුවක් ලැබුණි.

එය එසේ වූවද, විශ්වවිද්‍යාලයේ ඇතැම් ආචාර්යවරුන්, විශේෂයෙන්ම මැයි 11 දින, ඊට පෙර හා පසු දින කිහිපය තුළ ක්‍රියාකර ඇත්තේ මීට හාත්පසින්ම වෙනස් ආකාරයකට බව මේ සිද්ධින් ඇසින් දුටු සාක්‍ෂිවලට අනුව පැහැදිලි වේ. දෙමළ සිසුන්ට පහරදීම එක්තරා අහඹු සිදුවීමක් නොව යම් මට්ටමක දී සැළසුම් කර මනා ලෙස මුදාහරින ලද්දක් බව ද ඔවුන් ඒ පහරදීම් සැළසුම් හෝ පහරදීම් පිළිබඳව හෝ කලින් දැනුවත්ව සිට ඇති බවට ද සැක ඇතිවේ. මුල් දිනයේ පහර දීමෙන් නොනැවතී, මැයි 12 සහ 13 දෙදින රාත්‍රී කාලවල දී ද විශ්වවිද්‍යාලයෙන් බැහැර නොවී සිටි දෙමළ උපදේශකවරුන් කිහිප දෙනෙකුට පහර දීමට ද, මුල් දිනයේ පහරදීම් මෙහෙය වූ මැර සිසු නායකයින්ට ඉඩ ලැබුණේ ද මේ වගකිව යුතු ආචාර්යවරුන් ගේ ක්‍රියාකාරකම් හෝ ක්‍රියාවිරහිත භාවය නිසාය.

මගේ මේ සටහනේ ඇතුළත් සිද්ධීන් පිළිබඳ විස්තර සඳහා පාදක වන්නේ මානව හිමිකම් පිළිබඳ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ (යාපනය) සංගමය විසින් ප්‍රකාශයට පත්කර ඇති විවිධ වාර්තාය.

මැයි 11 රෑ පහරදීම් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිල්ඩා ඔබේසේකර ශාලාවේ ද, ජේම්ස් පීරිස් ශාලාවේ ද, මාර්ස් ශාලාවේ ද එකම කාල පරාසයක දී ඇරඹිණ. හිල්ඩා ශාලාවේ දී මුලින්ම පහර දීමට ලක්වූවේ බාලසූරියන් නම් ඉංජිනේරු පීඨ පළමු වසරේ සිසුවෙකි. යකඩ පයිප්ප කැබලි සහ පුටු කකුල් වලින් සන්නද්ධ වූ සිංහල මැර සිසු පිරිසක් එදින රාත්‍රියේ ඔහු සොයා පැමිණියහ. පසුව ඔහුට පවසන ලද පරිදි ඔහුට විරුද්ධව තිබූ චෝදනාව වූයේ දෙමළ භාෂාවෙන් මුද්‍රිත විවිධ පොත් පත්‍රිකා ඔහුට තැපෑලෙන් පැමිණීමයි. එනිසාම ඔහු එල්.ටී.ටී.ඊ. සැකකරුවෙක් විය. විශේෂයෙන්ම හිල්ඩා ඔබේසේකර ශාලාවේ එවකට ශාලාධිපති ධූරය දැරූ ආචාර්යවරයාට නම්, ඒ එක් සඟරාවක මුල් පිටුව සැරසූ චිත්‍රයම බාලසූරියන් ගේ ත්‍රස්තවාදීකම ගැන තීරණාත්මක සාධකයක් විය. මෙම චිත්‍රය වනාහී අන් කිසිවක් නොව එවකට සාමය සහ මානව අයිතිවාසිකම් පිළිබඳ ප්‍රචාරක කටයුතු වලදී ජාත්‍යයන්තර ක්‍ෂමා සංවිධානය පවා භාවිතා කළ, කූඩුවක සිර කළ පරවියෙකු ගේ චිත්‍රයයි. කූඩුව තුළ හෝ පරවියාට ඉගිලෙන්නට නොහැකිවන ලෙස උගේ පාද යදමකින් විශාල යකඩ බෝලයකට සවිකර තිබේ. බාලසූරියන් මේ මුල් පිටුව සහිත සඟරාවේ සම සංස්කාරකයෙකු විය. මෙයට අමතරව ඒ වන විට කවියකු ලෙස ද තරමක ප්‍රසිද්ධියක් ලබා සිටි බාලසූරියන්, මේ ලිපි ලේඛන නිසාම කොටියෙකු බවට පත්විය. ඒ අපේ තාත්තලා ගේ කාලයේ ඕනැම නිදහස් සමාජ සංශෝධන මතධාරියෙකු සමසමාජ කාරයෙකු ද, අපේ කාලයේ එවැන්නෙකු ජේ.වී.පී කාරයෙකු වූවා සේමය. මෙහි උත්ප්‍රාසජනක සත්‍යය නම්, එවකට එල්.ටී.ටී.ඊ. යනාදී සන්නද්ධ සංවිධාන අනුගමනය කළ ක්‍රියාපටිපාටියට ප්‍රතිවිරුද්ධ වාමාංශික අදහස් දැරූ බාලසූරියන්, පසුව ජූලි කලබල වලින් පසු සිය ඉගෙනීම් කටයුතු තාවකාලිකව නැවතුණු කාලයේ දී පවා එකතු වූයේ වාමංශික දේශපාලනමය සංවිධානයකට වීමයි.

පහර කා සිටි බාලසූරියන්, පොලිසියේ ද, කූප්‍රකට හතරවන තට්ටුවේ ද සංග්‍රහ දින දෙකක් විඳ චෝදනා විරහිතව නිවෙසට ගියේය.

මෙම පහරදීම් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය වාතාවරණය සැකසීම සඳහා මැර සිසුවන් විසින් මුලින්ම උපයෝගී කොට ගත්තේ අපූරු නිමිත්තකි. මැයි 11 දින සවස් වරුවේ විශ්වවිද්‍යාලයට ඇතුළුවන ප්‍රධාන මාර්ගය අසල පිහිටුවා තිබූ පුවරුවේ සිංහල අකුරු උඩින් සිමෙන්ති වැනි උකු දියරයක් ගා තිබුණි. මෙය දෙමළ සිසුන් විසින් කරන ලද්දක් බවත්, ඔවුන්ට හොඳ පාඩමක් ඉගැන්විය යුතු බවත් මැර සිසු නායකයින් විසින් ප්‍රචාරය කරන ලදී. සරදමකට මෙන්, මෙය 1956 ශ්‍රී අකුරේ තාර ගෑ බවට සිදු කළ ප්‍රචාර සහ ඉන් අනතුරුව මුදා හළ ප්‍රචණ්ඩත්වය සිහිගන්වයි.

මා මුලින් සඳහන් කළ පරිදි මැයි 11 රාත්‍රියේ දී, නේවාසිකාගාර තුනක දී දෙමළ සිසුන්ට පහර දෙන ලදී. විශ්වවිද්‍යාල බලධරයන් ගේ උදාසීනත්වය මෙම සිදුවීම් වලට වක්‍රාකාර අනුබලයක් දුන් අතර එය වඩාත් පැහැදිලි වන්නේ නිවෙස් කරා නොගොස් විශ්වවිද්‍යාල නේවාසිකාගාරවල තනිකඩ ආචාර්යවරුන් සඳහා ඇති කාමරවල නැවතී සිටි ආචාර්ය මණ්ඩලයේ තිදෙනෙකුට 12 දා රාත්‍රියේ පහර දීමත්, ඉන් පසුදා විශ්වවිද්‍යාලයෙන් බාහිරව පිහිටා තිබෙන රෝහලේ දී ද මෙවැනි පහර දීම් සිදුවීමත් හේතුවෙනි. විද්‍යා පීඨයේ අවසන් වසර සිසුන් වූ, ප්‍රධාන මැර නායකයින් දෙදෙනා ගේ ශිෂ්‍ය භාවය තාවකාලිකව අත්හිටුවීම පවා සිදුවූයේ මේ ප්‍රධාන පහරදීමෙන් සති තුනකටත් වඩා ගතවී, ඒ වන විට නැවත අධ්‍යයන කටයුතු සඳහා විශ්වවිද්‍යාලයට පැමිණ සිටි දෙමළ සිසුන් පිරිසකට මුහුණු ආවරණය කරගත් පිරිසක් විසින් පහර දීමෙන් ද පසුවය.

මෙහිදී අප පුදුමයට පත් කළ කාරණයක් වූයේ එවකට පේරාදෙණිය මහා ශිෂ්‍ය සංගමයේ බලයේ සිටි ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ සමාජවාදී ශිෂ්‍ය සංගමය මේ පහරදීම් පිළිබඳව දැක්වූ නිෂ්ක්‍රිය ආකල්පයයි.

දෙමළ සිසුන් ආපසු විශ්වවිද්‍යාල භූමියට එනතුරු පන්ති වර්ජනයක නිරතවූයේ ඉංජිනේරු පීඨයේ සිසුන් පමණි. සිංහල, දෙමළ සහ සියලු සිසුන්ට පොදු දේශන සහිත පාඨමාලා පැවැත්වුණු වෛද්‍ය, කෘෂි විද්‍යා, පශු වෛද්‍ය වැනි පීඨවල ද එවැනි පියවරක් ගැනීමට කිසිදු යෝජනාවක් හෝ මහා ශිෂ්‍ය සංගමයෙන් ඉදිරිපත්වූයේ නැත. ඔවුන් මුනිවත රුක්කාහ.

ජනතා විමුක්ති පෙරමුණේ ඒ නිහඬතාවය කුමක් නිසා දැයි අපට හෙළිවූයේ ජාතිවාදී සටන් පාඨ සහිතව ඔවුන් 1984 දී යටිබිම්ගතව සිටිමින් මුදාහළ ප්‍රචාරක ව්‍යාපාරයයි.

මේ පහරදීම් ගැන සොයන්නට සුපුරුදු පරිදි කමිටුවක් පත්කරන ලදී. කෙනත් ලැනරෝල් ගේ සභාපතිත්වයෙන් සහ කල්නායිඩු හා ඒකනායක ගේ සාමාජිකත්වයෙන් සැදුම් ලත් කමිටු වාර්තාව කියවූ පිරිස ගේ ප්‍රසංසාවට ලක්වුණ ද විශ්වවිද්‍යාල බලධාරීන් විසින් කිසි දිනක ප්‍රසිද්ධියේ එළිදක්වන නොලදී. මෙම වාර්තාව උපුටා දක්වන මානව හිමිකම් පිළිබඳ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ගේ වාර්තාව පවසන්නේ පේරාදෙණියේ මේ සිදුවීම් මාලාව හුදෙකලා අහඹු සිදුවීමක් නොවන බවය.

ලැනරෝල් වාර්තාවෙන් නම්කල මැරයන් සහ මැර සිසුවන් 18 ක් දෙනාට ලබා දුන් දඬුවමක් නම් මගේ මතකයේ නැත. මේ පිරිසෙන් 17 දෙනෙක් ම වෛද්‍ය, දන්ත වෛද්‍ය, පශු වෛද්‍ය සහ විද්‍යා සිසුන් වීම ද විශේෂයකි. විශ්වවිද්‍යාල උගතුන් ගේ බුද්ධිමත් කම ගැන තවත් අවශ්‍ය කවර නම් සාධක ද? එක් මැර නායකයෙක් පසු කලෙක අයින්ස්ටයින් ගේ සාපේක්‍ෂතාවාදය ගැන විශ්වවිද්‍යාල දේශකයෙක් විය. උගත්කම හා බුද්ධිමත්කම අතර ඇති හීන සහසම්බන්ධතාවය ගැන ඔහු හොඳම උදාහරණයැයි මම සිතමි.

මේ සිද්ධීන් හා සම්බන්ධයෙන් එතෙක් කිව යුතු ධනාත්මක කරුණු දෙකක් ඇත.

මින් පළමුවැන්න නම්, නිවෙස් බලා ගිය තම දෙමළ සගයින් ගේ ආරක්‍ෂාව තහවුරු වී ඔවුන් යළි විශ්වවිද්‍යාලයට පැමිණෙන තෙක්ම, ඉංජිනේරු පීඨ ශිෂ්‍ය සංගමයේ පැසසුම් සහගත දුරදර්ශී නායකත්වය යටතේ, ඉංජිනේරු සිසුන් දේශන සහ අනෙකුත් අධ්‍යාපන කටයුතු වලට සහභාගී වීමෙන් වැළකී සිටි බවයි. උගතුන් අතර බුද්ධිමතුන් ද, මහදැනමුත්තන් අතර ඥානවන්තයින් ද සිටිනා බව මට පසක් විය.

දෙවැන්න නම්, එදා දෙමළ සිසුන්ට අඩන්තේට්ටම් කිරීමට ගිය මැරයන් ගැයූවා යැයි පැවසුණු “කඩුවක් ඇවැසි තැන කඩුවක් ගෙන නැගෙනූ” යනාදී ජාතිවාදීන්ට උඩ ගෙඩි සැපයෙන ගීත නිර්මාණයෙන් සුනිල් ආරියරත්නයෝ ද, නන්දා මාලිනිය ද ඉන් පසු සහමුලින්ම වැළකුණු බවයි. ඔහු ඉන් පසු ලියූවේ, ඇය ඉන්පසු ගැයූවේ, “උරය පලා සැතකින් බලන් රුහිරූ, එක රතු පැහැයෙන් ගලා හැලෙන අයුරූ” වැනි ගීතය.

කම්මල යැයි ආදරයෙන් හැඳින්වුණු මා උගත් පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ තෝතැන්න වූයේ අපේ කලා කවයේ බිත්ති සඟරාවයි. මැයි 11 කළුවර රැයෙන් ටික දිනකට පසුව එහි පළ වූ කවකින් කියවුණේ එවර විශ්වවිද්‍යාලයේ වෙසක් සැරසිලි වලින් ඉස්මතු වන නව අරුතක් ගැනයි. වෙනත් රටක වෙනත් ජාතිකයෙකු වූ බුදුන් ගේ ලේ වෙනත් පාටක් දැයි එමඟින් අසා තිබුණේ ජාතිවාදයේ නිෂ්ඵල බව කියා පෑමටය. මෙම නිසඳැස් කවිය හෙන්රි වර්ණකුලසූරිය ගේ නිර්මාණයක් විය. අපේ පීඨයේම අඩු වශයෙන් එක් අයෙක් මෙයින් කිපුණි. ඔහු ඊළඟ කලාපයට පිළිතුරක් එවීය. එය පිළිතුරකටත් වඩා වස් කවියක් බව සමහරෙකු ගේ අදහස විය. ශිෂ්‍ය සටන්, උපවාස සහ ප්‍රාණ ඇපකරුවන් මැද විශ්වවිද්‍යාලය වැසී ගියෙන් කවි සටන එයින් නැවතුණි.

ඉන් පසුව එළැඹියේ කූප්‍රකට කළු ජූලියයි!

ජාතිවාදයේ බිරුසන් හඬ මැද
සමාජවාදය සැඟවී ගිය සඳ
සහෝදරත්වයෙ සළුපට ගිලිහිණ
අමානුෂිකත්වයෙ නිරුවත හෙළිවින

[රසික සූරියආරච්චි ]

මාතෘකා