ආර්ථික ඝාතකයන් ආර්ථිකය දියුණු කරන්නේ කොහොමදැයි අද අපෙන් අහනවා : අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

 ඡායාරූපය:

ආර්ථික ඝාතකයන් ආර්ථිකය දියුණු කරන්නේ කොහොමදැයි අද අපෙන් අහනවා : අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

රට ආර්ථික වශයෙන් අපොහොසත්ව තිබූ යූගයක, වත්මන් යහපාලන ආණ්ඩුව බලයට පත්වීමත් සමඟ ණය ගෙවමින් රටේ අධ්‍යාපන හා සෞඛ්‍යය යන ප්‍රධාන විෂයන් වැඩිදියුණු කළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තර හෙද දින සැමරුම් උත්සවයට සහභාගී වෙමින් ඊයේ (17) අරලියගහ මන්දිරයේ පැවති උත්සවයේදී පැවසීය.

එදා බංකොලොත් රටක්ව පැවති ලංකාව අද විදේශ විනිමය සංචිතය ඩොලර් මිලියන 9,000 දක්වා යහපාලන රජය විසින් වර්ධනය කළ බවත් මේ වසර අවසන් වන විට ඩොලර් මිලියන 11,000 දක්වා වර්ධනය කරන බව හෙතෙම සඳහන් කළේය.

“සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශවලට මුදල් ලබාදෙනවා. පළාත් සභා හරහාත් පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශ වෙත තවත් මුදල් ලබාදෙනවා. උසස් අධ්‍යාපන අමාත්‍යාංශය හරහා වෛද්‍ය පීඨ වෙනුවෙන් මුදල් වෙන් කරනවා. අපේ රජය බලයට පත්වූ පසු නව වෛද්‍ය පීඨ 3ක් ආරම්භ කිරීමට කටයුතු කර තිබෙනවා. කුලියාපිටිය වයඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය, සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය, මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය එම වෛද්‍ය පීඨ තුනයි. ඊට සමගාමීව කුලියාපිටිය, රත්නපුර සහ පානදුර රෝහල් නවීකරණය කිරීමටත් අපි කටයුතු කරනවා. මේ සියල්ල අප සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් ඉටු කරන සේවාවන් බව මතක තබා ගත යුතුයි.

“උසස් අධ්‍යාපන අමාත්‍යාංශය හරහා අනෙක් අංශවල අධ්‍යාපනය වෙනුවෙන් මුදල් වෙන් කරනවා. හොඳම පාසල ළඟම පාසල වැනි වැඩසටහන් ආරම්භ කර තිබෙනවා. පළාත් සභා අධ්‍යාපන අමාත්‍යාංශවලට මුදල් ලබාදෙනවා. රටේ සෞඛ්‍ය හා අධ්‍යාපන ක්ෂේත්‍රවලට වැඩිම මුදලක් ලබා දී තිබෙන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ප්‍රමුඛ අපේ රජය බව මම ප්‍රකාශ කරන්න කැමතියි. ජේ. ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස, ඩී.බී. විජේතුංග ජනාධිපතිවරුන්ගේ ආණ්ඩු යටතේත් මම සේවය කර තිබෙනවා. ඒවගේම චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය සමඟත් මම කටයුතු කර තිබෙනවා. ඒ ආණ්ඩුවලත් සෞඛ්‍ය ක්ෂේත්‍රයට මුදල් ලබාදීම සිදුකළ ද මෙවැනි අමාරු තත්ත්වයක් යටතේ මුදල් ලබාදීමක් අපි දැක්කේ නැහැ.

“නමුත් අපි බලය ලබා ගන්නා විට අපට ලැබුණේ විශාල ණය බරක් පමණයි. අධ්‍යාපනය, සෞඛ්‍යයට මුදල් වෙන්කිරීම නොව ණය ගෙවීමටවත් නොහැකි තත්ත්වයක් ඇතිව තිබුණා. ඊට පෙර පැවති රජයට මේ ණය ගෙවීමට නොහැකි වුණා. 2013 – 2014 කාලවල ණය පොලිය ගෙවීමටවත් රටේ ආදායම ප්‍රමාණවත් වුණේ නැහැ. ණය අර්දබුය විසඳීමට නොහැකි නිසා ඔවුන් ජනාධිපතිවරණයක් පැවැත්වූවා. අප ආණ්ඩු බලය ලබාගනිමින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආර්ථිකය ස්ථාවර කරමින් ණය ගෙවීම ආරම්භ කළා. අද රටේ ආදායමෙන් ණය පොලී ගෙවීමටත්, සංවර්ධනය සඳහා මුදල් වෙන් කිරීමටත් හැකි වී තිබෙනවා. රටේ ආදායම වැඩි වනවිට ලබාගන්නා ණය ප්‍රමාණය අඩුවෙනවා. ණය සඳහා පොලිය ගෙවීමටත් අපට හැකියාව ලැබෙනවා. මේ වන විට අප ඩොලර් මිලියන 2,500ක මුදලක් ණය ලෙස ගෙවා අවසන් කර තිබෙනවා. මෙම විශාල ණය මුදල ගෙවීමට නොහැකිව ආණ්ඩුව බිඳ වැටේවි යැයි බොහෝ දෙනා කල්පනා කළා.

“වර්තමානයේ ඇමෙරිකාවේ ආර්ථිකය ශක්තිමත් වන නිසා ඩොලරයේ අගය වැඩි වෙමින් අනෙක් මුදල්වල වටිනාකම අඩුවීමට පටන්ගෙන තිබෙනවා. විශේෂයෙන්ම දියුණු වෙමින් පවතින රටවල්වලට මෙය බලපානවා. ආර්ජන්ටිනාව, තුර්කිය වැනි රටවල මුදල්වල වටිනාකම බොහෝ සෙයින් පහළ ගොස් තිබෙනවා. එදා බංකොලොත් රටක්ව පැවති අපේ රටේ අද විදේශ විනිමය සංචිතයේ ඩොලර් මිලියන නවදහසක් පමණ තිබෙන බව පැවසිය යුතුයි. මේ වසර අවසන් වන විට එය ඩොලර් මිලියන එකොළොස්දහසක් දක්වා වර්ධනය වෙනවා. මේ ආකාරයට ආර්ථිකය කළමණාකරනය කරමින් අප සෞඛ්‍යයට සහ අධ්‍යාපනයට මුදල් වෙන් කරනවා.

“එදා ආර්ථිකය බිඳ වැටුණු විට ආණ්ඩු බලය අත්හැර පළාගිය අය අද ආර්ථිකය දියුණු කරන්නේ කෙසේදැයි අපෙන් විමසීම පුදුමයක්. ඔවුන් 2015 මැතිවරණයකට ඉදිරිපත් වුණේ ආර්ථිකය බිඳ වැටුණු බව දැනගත් නිසයි. ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඔවුන් යටතේ කාලයක් පාලනය වුණා. නමුත් ඔවුන් එය බිඳ වැට්ටුවා. රටේ ණය බර දෙගුණයක් බවට පත් කළා. අධ්‍යාපනයට සෞඛ්‍යයට යොදවන මුදල් ප්‍රමාණය අඩු කළා. අවසානයේ රටත්, ආර්ථිකයත් පාලනය කිරීමට නොහැකිව ආණ්ඩු බලය අත්හැර ඔවුන් පලා ගියා. නමුත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා යටතේ අපි නැවතත් රටේ ආර්ථිකය ගොඩනැගුවා. එමනිසා තමන්ට හැකියාව තිබූ අවස්ථාවේ රටේ ආර්ථිකය ගොඩනැගීමට කටයුතු නොකලා නම් දැන් විවේචනය කිරීමෙන් පළක් නැති බව මම ඔවුන්ට පවසනවා” යැයි අගමැතිවරයා පැවසීය.

[අසේල ලියනගේ]

මාතෘකා