ලෝක වෙ‍ෙළඳපොළේ තෙල් මිල අඩු වන විට ජනතාවට ඒ සහනය ලබා දෙනවා

 ඡායාරූපය:

ලෝක වෙ‍ෙළඳපොළේ තෙල් මිල අඩු වන විට ජනතාවට ඒ සහනය ලබා දෙනවා

- අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන බැරලයක මිල 2016 වසරේ සිට මෙම වසර වන විට ඩොලර් 41 කින් ඉහළ ගොස් ඇති බැවින් මෙරට ඉන්ධන මිල වැඩිකිරීමට සිදුවූ බවත් ලෝක වෙළෙපොළ ඉන්ධන මිල අඩු වූ වහා ඒ සහනය මෙරට ජනතාවට ලබාදීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා (12) හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයේදී පැවසීය. ඔහු මෙසේද කීය.

අද දිනයේ ගාලු දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හතරක නව ගොඩනැගිලි විවෘත කිරීමට මට අවස්ථාව ලැබුණා. හබරාදුව, අක්මීමන, ගෝනාපිනුවල, හික්කඩුව, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල එම නව ගොඩනැගිලිවලට අමතරව ගෝනාපිනුවල නව ජල යෝජනා ක්‍රමයත් විවෘත කළා. මෙම ගොඩනැගිලිවල උපකරණත් සමඟ වටිනාකම රුපියල් මිලියන 250 ක් පමණ වනවා. මේ ප්‍රදේශයේ පරිපාලනය නිසියාකාරව පවත්වාගෙන යාමට පහසුකම්වලින් සමන්විත ගොඩනැගිලි අවශ්‍ය වූ නිසා අප ඔබට ඒවා ලබාදීමට කටයුතු කළා.

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල අපට පාලනය කළ නොහැකියි. එම නිසා ඉන්ධන මිල ඉහළ යන අවදියේදී ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළ තුළ ඉන්ධන මිල ඉහළ දැමුවත් ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල අඩු වන කාලයේදී එම සහනය ජනතාවට ලබාදිය යුතු බව මමත්, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාත් විශේෂයෙන් සාකච්ජා කර තිබෙනවා.

2014 වසරේ බොර තෙල් බැරලයක මිල ඩොලර් 55 ක් දක්වා අඩු වී තිබුණා. නමුත් ඒ කාලයේ ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල අඩු වුණේ නැහැ. නමුත් අපි බලයට පත්වීමෙන් පසුව පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 117 දක්වා අඩු කළා. 2015 වර්ෂය අවසන් වන විට බොර තෙල් බැරලයක මිල ඩොලර් 35 දක්වා අඩු වී තිබුණා. එම නිසා ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල පහත හෙළීමට තෙල් සංස්ථාවට හැකි වුණා.

2017 වසර වන විට ඉන්ධන මිල ඉහළ යාමට පටන් ගත්තා. 2017 වර්ෂය මැද භාගයේදී බොර තෙල් බැරලයක මිල ඩොලර් 67 දක්වා වර්ධනය වූ අතර, ඊයේ දිනය වන විට එය ඩොලර් 77 ක් දක්වා වර්ධනය වී තිබෙනවා. ඒ ආකාරයට බලන විට ඩොලර් 35 සිට ඩොලර් 77 දක්වා වන අතිවිශාල මුදලක් එක් බොර තෙල් බැරලයක් වෙනුවෙන් ගෙවීමට අපට සිදුවුණා. ඒ අනුව මේ වන විට ඩොලර් 41 කින් පමණ බොර තෙල් බැරලයක මිල ඉහළ ගොස් තිබෙනවා. එය 2015 වර්ෂයේ පැවැති මිල මෙන් දෙගුණයක්. එම නිසා සීමා සහිතව ඉන්ධන මිල වැඩි කිරීමට අපට සිදුවුණා.

අපට ඉන්ධන මිල වැඩි කිරීමට වුණේ මෙවැනි තත්ත්වයක් මතයි. ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයත්, ශ්‍රී ලන්කන් ගුවන් සේවයත් තෙල් සංස්ථාවට නොගෙවූ රුපියල් බිලියන 70 ක පමණ බිල් පත් තිබෙනවා. කෙටිකාලයක් තුළ මෙම මුදල් ගෙවීමට හැකි වේවිද යන්න විශාල ගැටලුවක්. ලෝකයේ ඉන්ධන මිල ඉහළ යෑමෙන් ඇති වෙන පාඩුවත්, මෙම බිල් පත් නොගෙවීම හේතුවෙන් ලබා ඇති විශාල පාඩුවත් පියවීම සඳහා අප මෙම පියවර අනුගමනය කළා.

2013, 2014 කාලය ලබාගත් ණය මුදල්වල පොලී ගෙවීමටත්, රටේ ආදායම ප්‍රමාණවත් වුණේ නැහැ. අප 2015 දී ආණ්ඩුව භාරගන්නා විට ආර්ථිකය කළමනාකරණය කරමින් 2016 – 2017 වන විට පොලී මුදල් හෝ ගෙවීමට හැකියාවක් ඇති වුණා. එමෙන්ම අනෙක් මුදල් සංවර්ධන වැඩකටයුතු සඳහා යෙදවීමටත් හැකි වුණා. නමුත් ආර්ථිකයේ ස්ථාවර භාවයක් ඇතිකර ගන්නා විටම මීතොටමුල්ල කුණු කන්ද නායයාම, ගංවතුර තර්ජන, නියඟය ආදී ස්වාභාවික විපත්වලට මුහුණදීමට අපට සිදුවුණා.

ඉදිරියේදී ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල අඩු වන විට ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල අඩු කිරීමට අප කටයුතු කරනවා. දැනට ඩොලර් 77 ක්ව පවතින බොර තෙල් බැරලයක මිල 80 දක්වා වැඩි කිරීමට සවුදි අරාබිය උත්සාහ කරනවා. නමුත් අනෙක් රටවල් ඊට සහයෝගය දක්වන්නේ නැහැ. තවත් වසරක් පමණ ගත වන විට මෙම මිල තත්ත්වය අඩු වෙනු ඇතැයි අප විශ්වාස කරනවා.

දේද්දූව අක්කර 1800 ක සංචාරක කර්මාන්තයක්, කළුතර අක්කර 400 ක වෙළෙඳ කලාපයක්, හම්බන්තොට වෙළෙඳ කලාපය, මේ වසර අවසන් වන විට කටුනායක, මත්තල ගුවන් තොටුපොළ දෙක අතර තිබෙන හොඳම දිස්ත්‍රික්කය බවට ගාලු දිස්ත්‍රික්කය පත්වනවා. එවිට සංචාරක ව්‍යාපාරය දියුණු කළ හැකියි. නව සංචාරක කලාප ඇති කරන අතරතුර, දැනට සංචාරක කලාප ලෙස පවතින හික්කඩුව, උණවටුන වැනි ප්‍රදේශවලත් ගැටලු විසඳමින් තව තවත් සංවර්ධනය කිරීමට අප බලපොරොත්තු වෙනවා.

මාතෘකා