රණවිරුවන් දේශපාලන අතකොළු කරන්න එපා

 ඡායාරූපය:

රණවිරුවන් දේශපාලන අතකොළු කරන්න එපා

- ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන

කිසියම් දේශපාලන පක්ෂයක් විසින් තම දේශපාලන අරමුණු මුදුන්පත් කර ගැනීම සඳහා රණවිරුවන් භාවිතා කරන්නේ නම් එය කිසිසේත් සදාචාරාත්මක නොවන අතර ඔවුන්ට ලබාදිය හැකි ඉහළම ගෞරවය ලබාදීමට වත්මන් රජය කටයුතු කළ බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගියදා (11) කුරුණෑගල රණවිරු ස්මාරකය විවෘත කිරීමේදී උත්සවයේදී පැවසීය.

“යුද්ධයෙන් වයඹ පළාතේ රණවිරුවන් 4000 කට වැඩි සංඛ්‍යාවක් මියගියා. රට වශයෙන් ගත් විට යුද, නාවික, ගුවන්, පොලිස්, සිවිල් ආරක්ෂක ආදී මේ සියලු ආරක්ෂක අංශවලින් මියගිය රණවිරුවන් 30,000 කට ආසන්නයි. ආබාධිත තත්ත්වයට පත්වුණු රණවිරුවන් 9,000 කට ආසන්නයි. යුද්ධයට මුහුණදීලා රට, ජාතිය, නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සටන් කළ මේ වනවිටත් රටට සේවය කරන රණවිරුවන් යුද්ධය පැවති කාලයේ අති විශාල කැපවීමක් කළා. 2009 දි මානුෂීය මෙහෙයුම ජයග්‍රහණය කරලා රටට නිදහස, සාමය දිනා දෙන්න මේ රණවිරුවන්ට පුළුවන්කම ලැබුණා. විශේෂයෙන්ම මේ මැයි මාසය රණවිරු මාසය වශයෙන් රජය ප්‍රකාශයට පත්කළේ ඒ සියලු රණවිරුවන්ට උපහාරයක් වශයෙනුයි. මේ රණවිරු මාසය තුළ දිවයින පුරාම ත්‍රිවිධ හමුදාව, පොලීසිය, සිවිල් ආරක්ෂක සේවාවන් වගේම රජයේ ආයතන, මහජන සංවිධාන, ආගමික සංවිධාන රණවිරුවන් සිහිපත් කරමින් ඔවුන්ට පින් පමුණුවමින් ඔවුන්ට අවශ්‍ය ගෞරවය ලබාදෙන්න කටයුතු කරනවා. අපි අදත් රජයේත් ජනතාවගේත් මුළු මහත් ජාතියේත් ගෞරවය ඒ රණවිරුවන්ට පුද කරනවා.

“පසුගිය රජය විසිනුත් මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින්ට, ආබාධිත රණවිරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට සහන, වරප්‍රසාද රාශියක් ලබා දුන්නා. මේ අවුරුදු තුනහමාරේ අපේ රජය මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින්ට සහන ලබාදෙමින් ආබාධිත රණවිරු දීමනා වැඩි කිරීම, අධ්‍යාපනය සඳහා ශිෂ්‍යත්ව ලබාදීම, දරුවන්ගේ දීමනා දීම මගින් මෙතෙක් තිබූ විෂමතාව ඉවත් කරමින් තවත් එවැනි සහන රැසක් ලබා දුන්නා. විශිෂ්ට සේවාවක් ලබා දුන්නා. එවැනි දීමනා කොතෙක් දුන්නත් වරප්‍රසාද දුන්නත් ඔවුන් රට වෙනුවෙන් කළ සේවය, පරිත්‍යාගය මුදලින් මිල කරන්න පුළුවන්කමක් නැහැ. එයට මුදල්මය වටිනාකමක් දෙන්න පුළුවන් කමක් නැහැ. මුදලින් මිල කළ නොහැකි විශිෂ්ට වූ ගෞරවනීය සේවයක් ඔවුන් ඉටු කළේ. ඒ නිසා මේ රටේ ජනතාව තුළ රණවිරුවන් පිළිබඳව විශාල ගෞරවයක් ආදරයක් භක්තියක් තිඛෙනවා.

“මේ රණවිරුවන් ආබාධිත රණවිරුවන් මිය ගිය පවුල්වල සාමාජිකයින් කිසිවිටකත් දේශපාලන ව්‍යාපාර සඳහා පාවිච්චි නොකළ යුතුයි. කිසියම් කෙනෙක් රණවිරුවා තමාගේ දේශපාලනය සඳහා පාවිච්චි කරනවා නම් තමාගේ දේශපාලන පක්ෂ ශක්තිමත් කරගන්න බලයට එන්න පාවිච්චි කරනවා නම් එය ඉතාමත් සදාචාරාත්මක නොවන දෙයක්. මනුෂ්‍යත්වය හඳුනා ගන්නා අය නොකළ යුතු දෙයක්. රණවිරුවන් පිළිබඳව සමහර අය අපේ රජයට චෝදනා කරනවා. රණවිරු දඩයම කියලා කියනවා. කවුද රණවිරු දඩයම කළේ. ලොකුම රණවිරු දඩයම තමයි යුද්ධය කරපු යුද්ධය ජයග්‍රහණය කරවපු යුද හමුදාපතිවරයා තරු පටි ගලවලා ජම්පරේ අන්දවලා හිරේ දාපු එක. එවැනි දඩයමක් අපේ කාලේ අපි කොහෙත්ම කරලා නැහැ.

“තමුන්නාන්සේලා දන්නවා යුද්ධයේ අවසාන සති දෙකේ මමයි ආරක්ෂක ඇමතිවරයා. හිටපු ජනාධිපතිතුමා ලංකාවේ හිටියේ නැහැ. හිටපු අගමැතිතුමා ලංකාවේ හිටියේ නැහැ. සමහර ප්‍රධානීන් ඒ වෙලාවේ ලංකාවේ හිටියේ නැහැ. ඒ නිසා මම මේක හොඳට දන්නවා. එල්.ටී.ටී.ඊ සංවිධානය අවස්ථා පහක දි මට ප්‍රහාර එල්ල කළා. ඔබතුමන්ලා දන්නවා ඇති. පස් සැරයක් එල්.ටී.ටී.ඊ ප්‍රහාරවලට ලක් වුණු කෙනෙක් මම. මාව මරන්න ආපු එක ත්‍රස්තවාදියෙක් අධිකරණයෙන් වැරදි කාරයා වෙලා හිරේ දාලා ඉන්න අතරේ මම ඔහු නිදහස් කළා. මම ඒ මනුෂ්‍යත්වය පෙන්නුවා. මාව මරන්න ආපු මිනිහටත් මම නිදහස දුන්නා. මම ඒ විදියේ ක්‍රියා කරලා තිඛෙනවා. ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට රණවිරුවන්ට දිය හැකි ඉහළම ගෞරවය ආණ්ඩුවක් විදියට වගේම ජාත්‍යන්තරය තුළ මම ලබාදීලා තිබෙනවා.

“රණවිරුවන් වැඩි පිරිසක් සිටින පළාත තමයි වයඹ පළාත. ඒ පිළිබඳව අපි ගෞරව කරනවා. ප්‍රණාමය පුද කරනවා. විශේෂයෙන්ම ධර්මසිරි දසනායක මහ ඇමතිතුමා කිව්වා මෙතන කලින් තිබුණු ස්මාරකයට කුමක්ද වුණේ කියලා. මහ පාර ලොකු කරන්න ඒක ගලවන්න වුණා. ඒකටත් ඇතැම් අය විරෝධය පළ කළා. ඇතැම් පිරිසක් ඒකත් දේශපාලන වාසියට ගන්න ගියා. බෝඩ් උස්සගෙන ආණ්ඩුවට විරෝධය පළ කළා. නමුත් අද අපි තිබුණටත් වඩා ලස්සන ගෞරවනීය ස්මාරකයක් හදලා තිබෙනවා.

මාතෘකා