ජනපති මට දිගටම ඉන්න කිව්වා : නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල

 ඡායාරූපය:

ජනපති මට දිගටම ඉන්න කිව්වා : නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල

නියෝජ්‍ය කතානායක ධුරයෙන් ඉවත් වීමට ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළද, ජනාධිපතිවරයා එය ප්‍රතික්ෂේප කළ බව නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා ඊයේ (13) ‘රැස’ට පැවසීය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවේදී පක්ෂව ඡන්දය ලබා දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් 16 දෙනා තනතුරුවලින් ඉවත් වූ නිසා තමන්ද නියෝජ්‍ය කතානායක ධුරයෙන් ඉවත් වීමට තීරණය කළ බවත්, ඒ පිළිබඳව ජනාධිපතිවරයා හමුවී අදහස් පළ කිරීමෙන් පසු දිගටම එම ධුරයේ කටයුතු කරන්නැයි තමන්ට උපදෙස් දුන් බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

‘මං ජනාධිපතිතුමාගෙන් ඉල්ලුවා මේ තනතුරින් මාව නිදහස් කරන්න කියලා. නමුත් එතුමා දිගින් දිගටම කිව්වේ මට මේ තනතුරේම ඉන්න කියලා. නමුත් මම කැමති නැහැ දැන් මේ තනතුරේ ඉන්න. අපේ මන්ත්‍රීවරු 16 දෙනා විශ්වාසභංගයේදී පක්ෂව ඡන්දය දුන්නා. ඒ නිසා ඔවුන්ගේ අමාත්‍යධුර පවා අහිමි වුණා. ඒ නිසා මම මේ තනතුරේ ඉන්න එක හොඳ නැහැ. ඒත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහෝදර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කියන්නේ මට ඉවත් වෙන්න එපා කියලා’ යනුවෙන් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය. නියෝජ්‍ය කතානායක ධුරයෙන් තිලංග සුමතිපාල මන්ත්‍රීවරයා ඉවත් වන බවත්, ඒ වෙනුවට මුජිබර් රහුමාන් පත්කිරීමට නියමිත බවත් පසුගිය සතියේ මාධ්‍ය වාර්තා කර තිබිණි.

[දිනුක මලින්ද හේරත්]