අපි රට හදන්න අරගලයක් දියත් කරමු | ඇස පාදන රැස


අපි රට හදන්න අරගලයක් දියත් කරමු

 ඡායාරූපය:

අපි රට හදන්න අරගලයක් දියත් කරමු

සතර දිග්භාගයෙන් බීආර්සී පිටියට ආවේ මේ රටේ වැඩ කරන ජනතාවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්සත් ජාතික පක්ෂයක් එකට එක් වී අවුරුදු 70ක් මේ රට පාලනය කළා. අවුරුදු 70ක් කියන්නේ රටක ඉතිහාසය, මිනිස් ජීවිත කාලය බැලුවත් විශාල කාලයක්. පාලකයන් මේ අවුරුදු 70 කවර තැනකටද ගෙනත් තියෙන්නේ? මේ පාලකයෝ තව අවුරුදු 50ක් පාලනය කළොත් මොකද වෙන්නේ? කිසිම වෙනසක් වෙන්නේ නැහැ.  

අපි දන්න ඕනෑම රටක ඒ රටේ ආර්ථිකයේ තියෙන හයිය තමයි, ස්ථාවරභාවය තමයි රටේ ජනතාවගේ ප්‍රතිලාභ ලෙස ගලාගෙන එන්නේ. ආර්ථික වශයෙන් ඉදිරි ගමනක් නැති රටක් ලෙස මේ රට පත්වෙලා ඉවරයි. කිසිදු ක්ෂේත්‍රයක් ඉදිරියට ගේන්නත්, අවම මට්ටමේ තබා ගැනීමටත් මේ පාලකයින් අසමත් වෙලා. මෑත කාලයේ රුපියල කඩා වැටිලා. දැන් ඩොලරයක් ගන්න රුපියන් 160ක් දෙන්න වෙලා. අපි කැමති වුණත් අකමැති වුණාත් එ්ක එහෙමයි. දැන් ඩොලරයට සාපේක්ෂව රුපියල ඉතා වේගයෙන් කඩා වැටිලා. මේක පාලනය කරන්න කාටවත් බැරි වෙලා. බැටන් පොලු ගෙනත් ගබඩා කළත්, බැරියර් දැම්මත් රුපියල කඩා වැටීම පාලනය කරන්න බැහැ. ඒක පාලනය කරන්න පුළුවන් ආර්ථිකය විශාල පරිවර්තනයකට ලක් කළොත් විතරයි. දැන් පිටරටින් භාණ්ඩ ගේන්න ඩොලර් බිලියන 20ක් වැය වෙනවා. ඒත් ඩොලර් කෝටි 1000කයි භාණ්ඩ ආපනයනය කරන්නේ. මේ දේ වෙන්න මොකටද ආණ්ඩුවක්? පාලකයෝ? හැබැයි මේ පාලකයෝ මොකද්ද කළේ? දැන් මේ රට සියයට සියයක වෙළෙඳ රාජ්‍යයක් කරලා අවසන්. ඒ වගේම ලොකු ණය උගුලකට හිර කරලා. 2010 ඉඳන් 2017 දක්වා වසර හතක කාලය තුළ අපේ රටේ ධනය ඒ වසරේ ණය පොලී වාරිකය ගෙවන්නත් බැහැ. ආර්ථිකයේ නිෂ්පාදන දැවැන්ත ලෙස කඩා වැටිලා. 2017 වසරේ සහල් මෙට්‍රික් ටොන් 15 ලක්ෂ 20000යි නිෂ්පාදනය කළේ. ඒ වගේම මෙට්‍රික් ටොන් ලක්ෂ 7ක් විතර ආනයනය කළා. කෑම පවා දැන් රටින් ගේන තත්ත්වයට පත්වෙලා. අපේ ළුෑණුවලින් වැඩි කොටසක් පිටරටින් ගේන්නේ. ලංකාව පුරා දේශගුණික තත්ත්ව තුනක් මත ළූණු වගා කරනවා. අපේ සීනිවලින් සියයට 90ක් පිටරටින් ගෙනාවා. ඒත් කන්තලේ සීනි කම්හල වහලා. අක්කර 23000ක් පාළුවට ගිහින්. කර්මාන්ත ශාලාවේ මැෂින් පරණ යකඩවලට විකුණන් හදනවා.

කවුද මේ පාලකයෝ? ඔවුන්ට තියෙන කර්මාන්තවත් ආරක්ෂා කරගන්න බැහැ. දැන් අපේ රටේ අල ගොවියා පවා වැටිලා. ඒත් මෙට්‍රික්ටොන් එක්ලක්ෂ පනස්දාහක් අල රටින් ගෙනාවා. වගා කළේ මෙට්‍රික් ටොන් 70000යි. අඩුම තරමින් අපිට අපේ ආහාර වේල නිෂ්පාදනය කරන්න බැහැ. ඒත් කතාව නම් කාර් හදන්න. කාර් හදන්න කලින් අල ටික හදාගෙන ඉන්න. මේ රටේ වැඩ කරන ජනතාව තමන් මොන තරම් ශ්‍රමය වැපුරුවත්, දහඩිය වැපුරුවත් ප්‍රතිඵල ලබාගන්න බැරි වෙලා තිබෙනවා. ඒ වගේම ආර්ථීකය කඩා වැටිලා ඉවරයි. කලාපයේ වැඩිම දරිද්‍රතාව තියෙන රටක් මේක.  

අවුරුදු 5ට වඩා දරුවන්ගේ වයසට අනුව උස නැහැ. සියයට 17ක් උස නැහැ. සියයට 21ක් බර නැහැ. ළමයි 6ක් ගත්තොත් 1ක් උසට සරිලන බර නැහැ. අපේ දරුවන්ගේ 1/5ක් උසට අනුව බර හෝ උස නැහැ. මන්දපෝෂණය තියෙනවා. දැන් තේරෙනවානේ මේ රටේ තත්ත්වේ. ඊට අමතරව ගැබිනි මව්වරුන්ගේ මන්දපෝෂණයත් තියෙනවා. අපේ රටේ නිවාස ලක්ෂ 50න් වැඩි පිරිසකට වැසිකිළියක් නැහැ. සියයට 4කට විතර වැසිකිලි නැහැ. පවුල් ලක්ෂ 4කට මීටර් 100ක් ඇතුළේ බොන්න වතුර නැහැ. ගෙවල්වලින් 1/10ක් වර්ග අඩි 250කට වඩා අඩුයි. අතිශය විශාල ආදායම් බෙදී යාමේ විශමතාවක් තිබෙනවා. ආණ්ඩුවේ වාර්තාම කියනවා සියයට 42ක් විතර ආදායම ඩොලර් 2ට අඩුයි කියල. සමෘද්ධිය රුපියල් 250යි. සමහරුන්ට 600යි. පවුල් ලක්ෂ 14ක් සමෘද්ධි ගන්න ඉන්නවා මාසයක් බලාගෙන.  

අපි අහනවා මේ දැවැන්ත කඩාවැටීමට පිළිතුරු තියෙනවාද කියලා. අවුරුදු 70කින් පසු උරුම ප්‍රතිඵලය මේක නම් මේ පාලකයින්ට අලුත් දිසාවකට රට ගෙනයන්න බෑ. මේ ආර්ථිකය විප්ලවීය ලෙස වෙනස් කරන්න පුළුවන් ජනතා විමුක්ති පෙරමුණට විතරයි. වෙන කිසිම ආණ්ඩුවකට බැහැ. ඒ නිසා අපි අරගලයක් දියත් කරමු රට හදන්න.