මේ ආණ්ඩුව තීන්දු ගන්න බයයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ

 ඡායාරූපය:

මේ ආණ්ඩුව තීන්දු ගන්න බයයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ

දරුණු ත්‍රස්තවාදය පරාජය කළාක් මෙන් මේ දුෂිත රජයේ මුල්‍ය ත්‍රස්තවාදයට එරෙහිව නායකත්වය දීමටත්, එය පරාජය කිරීමටත් තමන් සූදානම් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා  ඊයේ (07) ගාල්ලේ පැවැති පොදුජන පෙරමුණේ මැයි රැළියේදී පැවසීය. 

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මෙසේද කීය.

‘පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ආණ්ඩුව ශ්‍රීලනිපය, ජවිපෙ සියලුදෙනා එක ගොඩකට දමලා තමයි පරාජයට පත් කළේ. ඒ තමයි ජනතාවගේ තීන්දුව. මේවා දැකපුවම ආණ්ඩුව කලබලයට පත්වෙනවා.  එහෙම වෙන එක අහන්න දෙයක් නෙවෙයි. ඉන්න ටික හරි රැකගන්න ඕන නම් අද කරපු ප්‍රකාශය කරන්න ඕනෙ.‍

නැත්නම් ඒ ටිකත් අපේ සිරිසේන මහත්තයාට නැතිවෙලා යනවා. මේ ආණ්ඩුව තීන්දු ගන්න බයයි. එහෙත් මේ අය බය නැතිව ගන්න තීන්දු තියෙනවා. අපිව හිරේ යවන්න දේශපාලනඥයින්ගෙන් පළිගන්න මේ ආණ්ඩුව බය නැහැ. කිසිදු අඩුවක් පාඩුවක් නැතිව ඒක කරනවා. වෙසක් පෝය බක් මාසයට ගේන්න බය නැහැ. මැයි දිනය හත්වැනිදා ගේන්න බය නැහැ. අද අපි තනිවෙලා කම්කරු දිනය සමරනවා. කම්කරු දිනය වෙනස් කරලා. මේ අය කළෙත් කම්කරු දිනය පාවාදීමක්.

විද්‍යාත්මක ක්‍රමයට තමයි කැබිනට් මණ්ඩලය පත්කරනවා කිව්වෙ. නමුත් අපරාදෙ කියන්න බැහැ, විද්‍යාත්මකව හදපු මේ කැබිනට් මණ්ඩලය. ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා අල්ලසක් ගන්නා විට හසුවුණා.  හිටපු ජනාධිපතිනියගේ ලේකම්වරයත් හිටියා. රනිල්-සිරිසේන ආණ්ඩුවේ  ආර්ථික ප්‍රතිපත්තියට ජනතාව බය වෙනවා. මත්තල ගුවන්තොටුපොළ වී ගබඩාවක් කළා. පොහොර සහනාධාරය කපලා දැම්මා. කවුද මේවාට වගකියන්න ඕනෙ. පාසල් දරුවන්ගේ  නිල ඇඳුම කොට කළා. වවුචරයක් දීලා ගොවීන්ගෙන් පළිගත්තා. 

ටොරින්ටන් ආණ්ඩුකාරයා තමයි හාමුදුරුවරු හිරේ දැම්මෙ. මේ ආණ්ඩුවත් කරන්නේ ඒක. රනිල්ගේ පක්ෂයේ දැන් ඉන්න ලේකම් පිංපෙට්ටියටත් සීල් තිබ්බා. සිරිසේනගේ-රනිල්ගේ මේ ආණ්ඩුව පන්සල් වලිනුත් බදුගහනවා. එදා අපි ලක්ෂගාණක් රක්ෂා දුන්නා. අද රක්ෂාවල් නැහැ. ජනතාව පීඩනයට පත්වෙනවා. මේ වගේ කයිවාරුකාරයොත් එක්ක තමයි ආණ්ඩු කරන්නේ අපිට බනිනවා. අනාගත  මැයි දිනවලදි පෙළපාලි යන්න වෙන්නේ කම්කරුවන්ට නෙවෙයි. රැකියා නැති තරුණයන්ට. එදා මුළු ලංකාවම වැඩබිමක් වුණා. මහ බැංකුවට කෙළපු අය සෘමෘද්ධි බැංකුවටත් වැඩේ දෙන්න හදන්නේ. හැමතැනම නියගය තියෙනවා. ගොවීන් ආහාර සහනාධාරය බලාපොරොත්තු වෙනවා. ගොවීන් අසරණ වෙලා දහස් ගාණක් දුප්පතුන් බිහිවෙනවා. මේ තත්ත්වය වෙනස් කරන්න නැවත පොහොර සහනාධාරය දෙන්න, බදු ක්‍රමය වෙනස් කරන්න. ඒ අයිතිය ලබාදීමට අපි කටයුතු කරනවා. ව්‍යාපාරිකයා බංකොළොත්. අද මධ්‍යම පන්තියක් නැහැ. මේ ආණ්ඩුවට කිසිම දෙයක් කරන්න බැහැ. තෙල් නැව එනකම් බලාගෙන ඉන්නවා. 

සිංගප්පූරුකාරයන්ට තියෙන අවසරය ලංකාවේ බෞද්ධයින්ට අද නැහැ. උතුරේ පන්සල් හදන්න දෙන්න බැහැ කියනවා. ආගම අදහන්නත් ආණ්ඩුවෙන් අවසර ගන්න වෙනවා. මේ ගැන අන්‍යආගමික අයගේද අවධානය යොමුවිය යුතුයි. දැන් තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය නෙවෙයි. යූඇන්පී ප්‍රජාතන්ත්‍රවාදී පොලිස් රාජ්‍යයක්. අධිකරණය බය කරනවා. බලපැම් කරනවා. ජේ.ආර්ගෙ කාලයේ විනිසුරුවන්ට ගල් ගැසුවා විතරයි. අද මේ අයගේ හෙන්චයියන් ලවා, නියෝජ්‍ය ඇමතිවරුන් ලවා  අගවිනිසුරුගේ ඉඳලා සියලුම අයට බන්නනවා. ආණ්ඩුව නිහඬයි. අධිකරණය නිහඬයි.  ආණ්ඩුව තීන්දු ගන්නේ නැහැ. අධිකරණය අසරණ වෙලා.

මේ ආණ්ඩුවේ චෞර රැජිනියෝ වගේම චෞර රජාලත් ඉන්නවා. ජනාධිපතිවරයා අගමැතිවරයාගේ හොරකම් අල්ලන බව කිව්වා. මැතිවරණ කාලයේදි අගමැතිතුමාගේ  රෙදි ගැලෙව්වා. අගමැතිතුමා ළඟ ඉන්නේ හොර නඩයක් කියලා කිව්වා.‍ අඵවිහාරේ මහත්තයා කියනවා යුඇන්පීය අතුගෑවිලා යනවා කියලා. යුඇන්පීයත් පරාදයි, රටත් පරාදයි, ශ්‍රී ලංකා එකත් පරාදයි. 

අපි බදු අඩු කරනවා, ඊනියා ගිවිසුම් ගැසීම නතර කරනවා, විදේශීය බලවේග ඉදිරියේ දණින් වැටෙන්නේ නැහැ. අනවශ්‍ය බදු ඉවත් කරනවා. රාජ්‍ය මූල්‍ය ත්‍රස්තවාදයෙන් රට මුදා ගන්නවා.’