අපි සිරිකොත ගමට ගෙනියනවා

 ඡායාරූපය:

අපි සිරිකොත ගමට ගෙනියනවා

'අපි එජාපයේ අලුත් නායක පරපුරක් ඇති කරමින් සිටිනවා, සියලුම ගම්වල සිරිකොත ඒකකයක් ඇතිකිරීම අපේ අපේක්ෂාවක්. ඒ  2020 වනවිට එජාප ආණ්ඩුවක් ඇති කරන්නයි. එවිට අවුරුදු 20 යනතුරු එජාප ආණ්ඩු පාලනයක් රටේ ගෙනගිය හැකියි. 'යනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 'මැයි' දිනය නිමිති කොට ගෙන සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැති එක්සත් ජාතික පක්ෂ සමුළුවේදී ඒ මහතා මේ බව පැවසීය. ගෘහස්ථ ක්‍රීඩාංගණය අතුරු සිදුරු නැතිව පිරී ගිය පාක්ෂිකයින් ඇමැතූ අග්‍රාමාත්‍යවරයා මෙසේද කීය.
‘මෙවර මැයි රැලියට බලාපොරොත්තු නොවුණු තරම් ජනතාවක් සහභාගිව සිටිනවා. ඒ පිරිසෙන් කොටසකට සුගතදාස ක්‍රීඩාංගණයෙන් පිටත සිටින්නත් සිදුවෙලා. මම ඒ සම්බන්ධයෙන් සමාව අයැද සිටිනවා. ඔවුන් පක්ෂය පිළිබද තැබූ විශ්වාසයට මම ස්තුති කරනවා.
මැයි දිනය කම්කරුවා සමරන දවස. මා කුඩා කාලයේදීත් මේ වතාවේ වගේ මැයි දිනය වෙසක් පොහොයට ආසන්නව යෙදුණා. ඒ නිසා මැයි දිනය වෙනත් දිනයක සැමරුවා. ඒ ඩඩ්ලි සේනානායක යුගයේ. එවරත් මැයි 1 වැනිදාට පෙළපාලි සහ රැලි පැවැත්වීම කිසිවකුට තහනම් කළේ නැහැ.
අද අපි කරන්නේ කම්කරුවාට ප්‍රණාමය පුද කිරීම. අලුතින් සිතන්නට පෙළඹෙන විදියට ඒ ප්‍රණාමය පුද කිරීමටයි මෙවර අප කටයුතු කළේ. අපි 1947 ඉඳන්ම ඒ වග ඔප්පු කරලා තියෙනවා. එජාප ආණ්ඩු කාලවලදී කම්කරු ජනතාව දෙතුන් ගණයකින් වැඩිවුණා. ආර්ථිකය විවෘත කිරීම්, අපනයන කර්මාන්ත ඇරඹීම්, බදු සහන දීම් ලබා දුන්නා. වෙළෙඳ, සංචාරක අංශ දියුණු කළා. ඉන් දළ දේශීය නිෂ්පාදිතයට වැඩි දායකත්වයක් ලබා දුන්නා.
එජාපය භාරකාර අරමුදල් ඇතිකළා. ඇඟලුම් කර්මාන්ත ශාලා 200 ඇරඹුවා. නව හෝටල් ඇරඹුවා, මේ හරහා අඩු ආදායම් ලාභී කම්කරුවන්ට මැද පන්තියට පිවිසීමේ දොරටු ඇතිකළා. ඔවුන්ගේ දරුවන්ට වෛද්‍ය, නීති පීඨවලට පිවිසීමේ දොරටු විවර කෙරුණා. ඒත් 1994 ඉඳන් ශ්‍රීලනිපය ඇතිකළ එක කර්මාන්ත පුරයක් වෙනවාද? එසේ නොවුණත් රාජපක්ෂ රෙජිමය රටේ ඒකාධිපති පාලනයක් නම් ඇතිකළා. ජනතාව ඒ පීඩාවෙන් ගලවා ගත්තේ අපියි. පොදු අපේක්ෂකයෙක් යොදවා අපි ඒ කටයුත්ත කළා. අද සුදු වෑන් බිය නැහැ. මාධ්‍ය නිදහස තිබෙනවා. ඒත් එදා අද වගේ ආණ්ඩුව විවේචනය කළා නම් ඒ අයට කනත්තෙන් තමයි නවතින්න වෙන්නේ.
අද මාධ්‍ය නිදහස උපයෝගි කොටගෙන අපට හැමදාම බණිනවා. එයින් වෙන හොඳකුත් තියෙනවා. ඒ වස් දොස් යන එකයි. ඒ වගේම තමයි, අද අපේ ආණ්ඩුවට ජාත්‍යන්තරයෙන් හොඳ පිළිගැනීමක් තිබෙනවා. ඔවුන් ලංකාවට විශේෂ තැනක් දෙනවා. අද ජිනීවාවලදී අපට එරෙහිව කෑමොර දෙන්නේ සරත් වීරසේකරත් ලන්ඩනයේ සිටින කොටි හිතවාදින් පිරිසකුත් පමණයි.
මේ වනවිට යහපාලනය ක්‍රියාත්මකයි. නීතිය අකුරටම ක්‍රියාත්මකයි. රාජ්‍ය ණය ප්‍රමාණය අද අපට රටේ ආදායමින් ගෙවන්න පුළුවන්. GSP සහන යටතේ ඇඟලුම්, ධීවර ක්ෂේත්‍රවල විශාල දියුණුවක් ලබා සිටිනවා. වැඩිම අපනයන සිදුකළ වර්ෂය විදියට පසුගිය වසර නම් වී තිබෙනවා. ඒ ගංවතුර, නියඟ, කුණු කඳු කඩා වැටීම් මධ්‍යයේ ලැබූ දියුණුවක්.
2018 – 2019 වර්ෂවල ඉතිහාසයේ  වැඩිම ණය පොළිය ගෙවීමට ලංකාවට සිදුවී තිබෙනවා. ඒත් අපි දැනටමත් හම්බන්තොට වරාය වෙනුවෙන් ගෙවීමට තිබෙන ණය ගෙවා හමාරයි. මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් ටෙන්ඩර් කැඳවා සිදු කරනවා. මේ කටයුතු ලොකු ගොඩනැගිලි හදනවා වගේ ලොකුවට පෙනෙන්නේ නැහැ.
මේ වනවිට සමෘද්ධි අමාත්‍යංශය එජාපයට ලැබී තිබෙනවා. ඒ අනුව අපි සමෘද්ධි සහනාධාරය නොලබන අයට  එය ලබාදීමට කටයුතු කළ යුතු වෙනවා. සමෘද්ධි බැංකුව අධීක්ෂණයට කිසිවකු නැති කම තවත් ගැටලුවක්. ළගදීම එය මුදල් අමාත්‍යංශය සහ දිසා ලේකම්වරු යටතේ පාලනයට කටයුතු කරනවා. රටට අනාගතයක් තිබෙන්නේ එජාප ආණ්ඩුවක් යටතේ පමණයි. අපි ඉදිරි මාස 18 තුළ එජාප රජයක් වෙනුවෙන් කැපවෙමු. ඒ ගමනට කැපවෙමු. එකට වැඩ කරමු


එජාප නියොජ්‍ය නායක, අමාත්‍ය සජිත් ප්‍රේමදාස

 


“අද පොඩි මිනිහාගේ දිනය. අපි මේ එක්ව සිටින්නේ ඔවුන් වෙනුවෙන්, ඔවුන්ගේ හදවතට දැනෙන ශක්තිමත් ජනතා සේවයක් කිරීමේ අදිටනින්. ශ්‍රී ලංකාව උපයන ආදායමින් 54% ක්ම  බෙදී යන්නේ 20 % තරම් පිරිසක් අතර. දුප්පත්ම 20% අතර බෙදී යන්නේ රටේ ආදායමින් 4% තරම් සොච්චමක්. එහෙමනම් පුංචි මිනිහාගේ බඩට, හදවතට, පසුම්බියට දැණෙන දියුණුවක් ඇතිවෙන්න ඕන. පුංචි මිනිහාට ඒ දියුණුවේ රහ තේරෙන්න ඕන.
යහපාලන රජය විදියට අපි ලොකු වැඩ කොටසක් කරලා තිබෙනවා. ලක්ෂ 14 වන රජයේ සේවකයන්ගේ වැටුප් ඉහළ දැමුවා. ජීවන බර පහත හෙළා තිබෙනවා. ඉන්ධන මිල අන් කිසිදාක නොවුණු තරම් අඩු කළා. ළඟම පාසල හොඳම පාසල බවට පත්කළා. ඖෂධ මාෆියාවේ ඒකාධිකාරිය සුණු විසුනු කළා. රාජ්‍ය ත්‍රස්තවාදය පරාජය කළා.
ගොවීන්ට පොහොර නොමිලයේ ලබා දිය යුතු වෙනවා. ලක්ෂ 43 ක් වන සිසු දරු දැරියන්ට නොමිලයේ නිල ඇදුම් කට්ටල දෙකක්, සපත්තු කුට්ටමක් ලබා දෙන්න ඕන. දරු පරපුර අමතක කරලා රටකට ඉදිරි ගමනක් යන්න බැහැ. මේ නිසා ඉදිරි ජනාධිපතිවරණයේදී ඒවා එජාපයේ පොරොන්දු විය යුතු වෙනවා. ඒ විතරක් නෙවෙයි, අද වනවිට උපාධිධාරින් 60000 ක් මහ පාරේ. අප ඒ අයටත් රැකියා ලබා දිය යුතුමයි. ඉදිරි මාස 18 තුළ ඒ කටයුතු කළ යුතුමයි. ග්‍රාමීය ආර්ථිකය නැංවීමත් අත්‍යවශ්‍යයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දෙන ලක්ෂ 100 ලක්ෂ 3000 දක්වා වැඩි කළ යුතුයි.
ශ්‍රී ලංකාවේ ග්‍රාම සේවා වසම් 14022 ක් තිබෙනවා. ඒ හැම වසමකටම වෙනමම මුදල් ප්‍රතිපාදන වෙන්කරන්නට අප කටයුතු කිරීම වැදගත්. දේශපාලන පළිගැනීම් හේතුවෙන් සමෘද්ධි සහනාධාරය කප්පාදු කළ ලක්ෂ 8ක පිරිසට එම සහනාධාරය දිය යුතුයි. අපට ඉදිරි මාස 18 තුළදී ඉඩම් හිමිකම් නැති ජනතාවට කිසිම වියදමකින් තොරව එම හිමිකම් ලබා දිය හැකිව තිබෙනවා. මේ ඔස්සේ අපට 2020 ජනාධිපතිවරණ ජයග්‍රහණය කරා යෑම ඉතාම පහසුයි.


එ.ජා.ප මහ ලේකම්, අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්


 “ මට අද මැයි දින සැමරුම දෙයාකාරයකින් වැදගත්. එකක් අපි පක්ෂයක් විදියට අපේ අගමැතිතුමාට විරුද්ධව ඉදිරිපත් වුණු විශ්වාසභංග යෝජනාව දැවැන්ත පරාජයකට පත්කර සිටීම. අනෙක පක්ෂයේ පහළම තැන ඉඳන්,  ගමෙන් ඇවිත් අද පක්ෂයේ මහලේකම් විදියට පත්ව සිටීම.
මම මීට අවුරුදු විසි ගණනකට කලින් සරසවි සිසුවකුව සිටියදීයි, යොවුන් පෙරමුනණ් කුලියාපිටිය ආසනයේ සභාපති විදියට එක්සත් ජාතික පක්ෂයට එක් වෙන්නේ. ඉනික්බිතිව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ආදී විවිධ තනතුරු දරමින් මම මැයි දින සැමරුම්වලට එක්වුණා.
ඇත්තෙන්ම එජාපය කාගේවත් තනි අයිතියක් ඇති පක්ෂයක් නෙවෙයි. කැපවීම මත ඕනෑම කෙනකුට ඉදිරියට එන්න පුළුවන්. අද ඒ වගේ දක්ෂ නිලධාරි මණ්ඩලයක් පත්ව සිටිනවා. මේ පිරිස එක්වෙලා එජාපය ගමට ගෙන යන්න ඕන. ගම්මානවල සිරිකොතවල් දහස් ගණනක් ඇතිකරන්න ඕන. ඒ මග ගත්විට 2020 එජාප රජයක් පිහිටුවීම අපහසු නැහැ.
එ.ජා.ප ජාතික සංවිධායක, අමාත්‍ය නවීන් දිසානායක
කම්කරු අයිතීන් වෙනුවෙන් නිරන්තයෙන් කැපවුණ පක්ෂයක් ලෙස එක්සත් ජාතික පක්ෂය හඳුන්වන්න පුළුවන්. ඔබට මතක ඇති සේවක අර්ථ සාධක අරමුදල, සේවක භාරකාර අරමුදල ඇතිකරමින් සේවක අයිතීන් සුරැකුවේ කුමන පක්ෂයද කියලා. ඒ වගේම නීතියේ ආධිපත්‍ය නැති කර නීතිය සැමට සමාන ලෙස ක්‍රියාත්මක කළේ කුමන පක්ෂයද කියලා. ඒ නිසා අපි නැවතත් එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් කරන්න ඕන. ආඩම්බරෙන් කියන්න ඕන රහස් ඡන්දයක් හරහා නායකයෙක් බිහි කරපු එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂය කියලා. වෙන කිසිම පක්ෂයකට එහෙම කරන්න බැරි වුණා. ඒ පක්ෂ අතර අභන්තර ගැටුම් විතරයි තිබෙන්නේ. ඒත් එක්සත් ජාතික පක්ෂය රහස් ඡන්ද පවත්වමින් නායකයින් බිහි කරනවා.


අමාත්‍ය හරීන් ප්‍රනාන්දු 


පක්ෂයේ ප්‍රශ්න නැතුව නෙවෙයි. පොඩි පොඩි අඩුපාඩුකම් තියෙනවා. ඒ නමුත් අපේ පක්ෂය තුළ අති දක්ෂයන් සිටිනවා. ඔවුන් කිසි විදියකින් කලකිරෙන්න වුවමනාවක් නැහැ. කාටහරි වගකීම් ගන්න වුවමනා නම් ඒවා කවුරුවත් බාරදෙන තුරු බලා සිටින්න එපා. තමන්ම ඉදිරිපත් වී වැඩ කරන්න. එවිට නායකත්වය ඔබ ළගට ඒවි. එයයි, එක්සත් ජාතික පක්ෂයේ ගතිය. අපි පක්ෂය හදමු. එවිට  අනිවාර්යයෙන්ම අලුත් නායකයන් බිහිවෙයි. ඇත්තටම විශාල වෙනසක් හෙට අනිද්දාම සිදුවෙන පෙර නිමිති දැනටමත් පෙනෙන්නට තිබෙනවා.
ජාතික ආණ්ඩුකරණයේදී එජාපයට සමහර පෙරේතයන්, කුම්භාණ්ඩයන් සමඟ කටයුතු කරන්නට සිදුවුණා. ළඟදී ඉන් 16 ක් හැලුණා. ඒත් තවත් සිටිනවා. කූඩැල්ලන් වගේ ලේ උරා බිබී ඉදලා ඒ පිරිසත් හැළිලා යයි. එවිට ඇත්තටම ජනතාවට සේවය කරන එජාපය මතුවෙයි. අපි එතෙක් දිවි හිමියෙන් පක්ෂය රකිනවා. 


අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න


 “2015 වසරේදී දුෂිත රජය පෙරළා දමමින් යහපාලන රජය අපි ස්ථාපිත කළා. මේ වනවිට රජය ලබාදුන් පොරොන්දු රැසක් ඉටු කර තිබෙනවා. නමුත් ජනතාව බලාපොරොත්තු වන්නේ දුෂිතයින්ට සහ මිනීමරුවන්ට නීතිය ඉදිරියේ දඬුවම් ලබාදීම පිළිබඳවයි. යහපාලන රජය විසින් සිදු කර ඇති එක් වරදක් බවට සැළකෙන්නේ මහ බැංකු මුල්‍ය වංචාවයි. පසුගිය රජය සමයේ සිදු වූ විශාල විශාල මුල්‍ය වංචා වලට සාපේක්ෂව එය එකක් පමණයි. පසුගිය රජය සමයේ ටොන් ගණන් මුල්‍ය වංචා, සොරකම් සිදු වුනා. මෙම බැඳුම්කර ගනුදෙනුව පිළිබඳව මැතිවරණ වල දී අපේම අය කථා කරන්න පටන් ගත්තා. එම නිසයි පළාත් පාලන මැතිවරණයේ දී පරාජයට පත් වුණේ. තවත් 16 දෙනෙක් එම වංචා ගැන අදහස් පළ කළා. ඔවුන් 16 දෙනාම දැන් රජයෙන් ඉවත්ව සිටිනවා. ඔවුන් රැඳී ඉන්න තමයි බලාපොරොත්තු වුණේ. නමුත් දැඩි විරෝධය හමුවේ ඔවුන්ට යන්න සිදු වුණා.”
“වත්මන් රජය විසින් රාජ්‍ය සේවකයින්ගේ වැටුප රුපියල් 10,000 කින් වැඩි කළා. සමෘද්ධි දීමනාව වැඩි කළා. එහෙම දීමනා ලබාගත් අයත් මැතිවරණයේ දී පොහොට්ටුයට ඡන්දය දුන්නා. ඇතැම් එක්සත් ජාතික පාක්ෂිකයින්ට සමෘද්ධි දීමනාව නොලැබී තිබුණා. මොකද එම විෂය බාරව සිටියේ එස්.බී දිසානායක ඇමැතිතුමා. දැන් අපිට සමෘද්ධි අමාත්‍යවරයෙක් ඉන්නවා. 


අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා


දුප්පතාට සේවය කරන්න අවශ්‍ය වුණ පළාත් පාලන මැතිවරණය අපි පරාජයට පත් වුණා. ඒකට හේතුව තමයි මිනිස්සු එදා වේල ගැන හිතුවා මිසක් අතීතයේ වුණ දේවල් ගැන හිතුවේ නැති එක. අතීතය ගැන හිතුව නම් මේ ඡන්දය දිනන්නේ එක්සත් ජාතික පක්ෂයයි. ඒත් ඒ බලය අරගෙන පොහොට්ටුවේ බලය ලැබූ අපේක්ෂයේ පසුගිය වසර 03 පෙර වගේම දැන් හොරකම් මැරකම් ජඩකම් පටන් අරගෙන. ඒ නිසා අපි ජනතාවගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා ඉදිරි මැතිවරණයේදී ඒ වැරැද්ද කරන්න එපා. දුර බලන්න කියලා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ ඒකාධිපති පාලනයට නැවතත් බලයට එන්න දෙන්න තියන්න එපා කියලා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
මේ යහපාලන රජය හැමදාම වැරදිකරුවන්ට දඩුවම් දුන්නා. ඔබට මතක ඇති පසුගිය දවස්වල ජනාධිපතිගේ ළඟින් හිටපු නිළධාරියෙක් ඇතුළු තවත් ප්‍රබල නිළධාරියෙක් අල්ලස් කොමිසමෙන් අත්තඅඩංගුවට ගත්තා. මීට කලින් ලලිත් වීරතුංග ගත්තා. මේ හැමෝම ජනාධිපතිතුවරුන්ගේ ළඟින් හිටපු මිනිස්සු. ඒ නිසා මේ වගේ තවත් දූෂිතයින්ට දඩුවම් කරන්න 2020දී අපිට බලය ලබා දෙන්න කියලා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. 2020 දී ලංකාවේ ජනාධිපති වෙන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා.
 

 

[නුවන් ජයවික්‍රම] [දිනුක මලින්ද හේරත්] ඡායා [රුක්මල් ගමගේ]