නීතිය එදා සහ අද | ඇස පාදන රැස


නීතිය එදා සහ අද

 ඡායාරූපය:

නීතිය එදා සහ අද

2015 ජනවාරි 08 වැනි දින යහපාලන වෙනස සිදු කිරීමේදී ජනතාව ඉල්ලා සිටියේ ඉර, හඳ, තාරකා නොවේ. හොර තක්කඩි රංචුවක ග්‍රහණයට නතුව තිබූ ශ්‍රී ලංකාව, නොඑසේ නම් අප ආදරණීය මාතෘභූමිය වඩාත් ශිෂ්ඨ සම්පන්න රටක් බවට පත් කිරීම ඔවුන්ගේ ඒකායන අපේක්ෂාව විය.

හොරකම, ඥාති සංග්‍රහය නීතිගතව තිබූ ඒ භීම සමයේ කිසිදු නොපනත්කමකට, හොරකමකට, වංචාවකට දඬුවමක් හිමි නොවූ තරම්ය. හැමවිටම සිදු වූයේ ඒවා සාධාරණීකරණය කිරීම පමණි. නොඑසේ නම් එබඳු අනර්ථයන් සිදු කළ පුද්ගලයන්ට ‘ඩබල් ප්‍රමෝෂන්’ ලබාදීමය. එබඳු ඉතිහාසයක් තිබූ රටක ජනාධිපතිවරයාගේ කාර්යමණ්ඩල ප්‍රධානියාව අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් බාධාවකින් තොරව අත්අඩංගුවට ගැනීම යනු සිතාගත නොහැකි ප්‍රවෘත්තියකි. ඒ රාජපක්ෂ සමයේ මෙවැන්නකට කිසිසේත්ම ඉඩ නොතිබූ බැවිනි. මේ සිදුවීමෙන් එකක් පැහැදිලිය. ඒ යහපාලනය තුළ තරාතිරම නොබලා, ඉහළ වගකිවයුත්තන්ට ඇති සම්බන්ධතා නොතකමින් නීතිය බාධාවකින් තොරව ක්‍රියාත්මක වෙමින් පවතින බවය.

දූෂණ චෝදනා එල්ල වූ පමණින් ඇමතිවරුන් තම වගකීම්වලින් ඉවත්වූ යුගයක්, ඔවුන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ යුගයක් මීට වසර තුනකට පෙර මේ රටේ පැවතුණේ නැත. මේ වෙනස් වෙමින් පවතිනුයේ එම අඳුරු ඉතිහාසයයි. අත්අඩංගුවට පත් වූ මෙම පුද්ගලයා ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩලයට සම්බන්ධ වී තවම මාසයක් හෝ ගතවී නොමැත. අනෙක් අතට මේ සිදුවීම සම්බන්ධයෙන් කිසිදු බලපෑමක් නොකර සාධාරණ පරීක්ෂණයකට ජනාධිපතිවරයා ඉඩ ලබාදීම ප්‍රශංසනීයය. කුඩු සෙවීමට දේශපාලනඥයන්ගේ නිවාස විශේෂ කාර්ය බලකා සෙබළුන් පීරද්දී කුඩු කෑ දේශපාලනඥයන් වෙනුවෙන් රටේ රාජ්‍ය නායකයා විවෘතව පෙනී සිටි පසුබිමක ජනාධිපතිවරයා නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ට මෙම ලබා දී ඇති නිදහස ශිෂ්ට රටක් පිළිබඳ සිහින දකින දූෂණයට එරෙහි යහපාලන ප්‍රේමීන්ගේ අමන්දානන්දයට හේතු වනු නිසැකය. සැබවින්ම රටක් දියුණු වනුයේ දූෂිතයන් රැකීමෙන් නොව, ඔවුන්ට එරෙහිව ක්‍රියාත්මක වීමෙන් පමණි. 

මාතෘකා