අමාත්‍යංශ ලේකම්වරයෙක් ජනාධිපති අපේක්ෂකයෙක් වෙන්න බෑ

 ඡායාරූපය:

අමාත්‍යංශ ලේකම්වරයෙක් ජනාධිපති අපේක්ෂකයෙක් වෙන්න බෑ

- අමාත්‍ය දුමින්ද දිසානායක

කොළඹ නගරයේ කුණු ඇද්ද පළියට ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍යය නායකයා කර ගත නොහැකි යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, වාරිමාර්ග ජල සම්පත් ආපදා කළමණාකරන අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පසුගියදා (24) අනුරාධපුරයේ උත්සවයකට සහභාගීවෙමින් පැවසීය.

මේ රටේ ජනතාවට ලැබූ නිදහස පිළිබඳව වටිනාකම මදක් අඩුවෙලා තියෙනවා. පසුගිය කාලය ගැන විශේෂයෙන් මාධ්‍යවේදීන්ට එහෙම මතක ඇති, තමන් පෑනක්, කැමරාවක් අල්ලන්න කලින් අපි කලින් හිටපු ආණ්ඩු කාලේ දෙපාරක්, තුන්පාරක් හිතුවා. සමහර වෙලාවට එහෙම හිතන්නේ පතන්නේ නැති අයට ඒ වෙනුවෙන් දඬුවම් විදින්නත් සිද්ධ වුණා.

හැමෝටම නිදහස කියන එක ලැබුණේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ලෙස පත්වුණාට පස්සේ. දැන් එතුමාට බනිනවා, අපිට බණිනවා. ප්‍රසිද්ධියේ ආණ්ඩුව විවේචනය කරනවා. වෙනදා එහෙම නිදහසක් තිබුණේ නෑ. අපිට අවශ්‍යය කරන්නේ මේ රටේ නිදහස, ප්‍රජාත්‍රන්තවාදය මිසක්, අපිට හැංගිලා, මිරිකිලා බයෙන් සැකෙන් ජීවත් වෙන්න ඕන රටක් නෙමෙයි.ඒ නිසා මේ රටට හිට්ලර් කෙනෙක් ගැලපෙන්නේ නෑ.

අපි හිටපු ආණ්ඩුව තුළ යම් යම් වැරදි සිදු වුණ නිසා තමයි අපි ඒක වෙනස් කළේ. ඒ වෙනස කරපු එක ගැන අපි ඉතාම සතුටු වෙනවා. හැබැයි ලැබුණ නිදහස පිළිබඳව රටේ ජනතාව මීට වඩා වැඩියෙන් කල්පනා කරන්න ඕන. ලැබුණ ලොකුම දේ තමයි බයක්, සැකක් නැතිව නිදහසේ ජීවත් වෙන්න පුලුවන්කම. ඒකට මිලක් නෑ.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයා වීම සම්බන්ධයෙන් අපිට කිසිම බයක් නෑ.එතුමා ආරක්ෂක ලේකම්වරයා ලෙස යම් වැඩ කොටසක් කළා, එතුමාගේ සහෝදරයා ජනාධිපති වීම මත රැකවරණයක් ලැබුණා, ආරක්ෂාව ලැබුණා. වෙන කෙනෙකුට වඩා තමන්ගේ තනතුර බය නැතිව කරන්න හයිය ලැබුණා එකම පවුලේ නිසා. ඒ දේ කරපු පළියට රටේ ජනාධිපතිකමට සුදුසුයි කියනවා නම් ඒක බොහෝම වැරදි කථාවක්.

එතුමා කොළඹ පිරිසිදුව තියාගත්තා කියලා කියනවා. සිවිල් ආරක්ෂක බළකාය දාලා කාණු සුද්ධ කෙරුවා, කුණු ඇද්දා, තාප්ප කැඩුවා. හැබැයි අපේ ආණ්ඩු කාලේ අපි කිව්වා ත්‍රිවිධ හමුදාව ගන්නෙ නෑ අපි කුණු අදින්න කියලා. අපිත් කුණු අදින්න සිවිල් ආරක්ෂක බළකාය ගත්තා නම් අපිටත් ඒ වගේම පිරිසිදුවට තියාගන්න පුලුවන්. එක පැත්තකින් ඒ සේවයට අපි වටිනාකමක් දීලා තියෙනවා. හැබැයි ඒ සේවය කරන පිරිස යොදා නොගැනීම නිසා සමහර වෙලාවට කුණු ටිකක් තියෙන්න පුලුවන්, කුණු ඇද්ද පළියට රටේ රාජ්‍යය නායකයා කර ගන්න බෑ. රටේ රාජ්‍යය නායකයා කියන්නේ එතන දේශපාලනයක් තියෙන්න ඕන. නායකත්වය, මනුස්සකම, ලෝක දේශපාලනය, හැම විෂයක් පිළිබඳවම අදහසක් තියෙන්න ඕන. රටේ රාජ්‍යය නායකයෙක් පත්කර ගන්නවා කියන්නේ අමාත්‍යංශ ලේකම්වරයෙක්, සභාපතිවරයෙක් පත් කරන විදිහට පත් කරලා බෑ” යැයි අමාත්‍යවරයා පැවසීය.

අනුරාධපුර අතිරේක [අමිල ප්‍රභාත් වනසිංහ]

මාතෘකා