කිසිදා සද්ද නොකළ පාර්ලිමේන්තු ඝන්ඨාරයේ රහස් කතාව

 ඡායාරූපය:

කිසිදා සද්ද නොකළ පාර්ලිමේන්තු ඝන්ඨාරයේ රහස් කතාව

ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු මන්දිරයේ අලංකාරත්වයට මෙන්ම එහි ගාම්භීරත්වයට එකතු වී ඇති තවත් එක් උපාංගයකි පාර්ලිමේන්තුවේ ඝංඨාව ඒක වචනයෙන් කථා කළ ද, පාර්ලිමේන්තු ආලින්දයේ ඝාංඨාර දෙකක් තිබේ. මෙම ඝංඨා දෙක පාර්ලිමේන්තුවේ බාහිර ආලින්දය අලංකාර කිරීමට ප්‍රධාන දොරටුව දෙපැත්තේ සමාන්තරව එල්ලා ඇත්තේ ගොඩනැගිලි සැලැස්මට හානියක් නොවන පරිදිය.

ගොඩනැගිල්ල සැලසුම් කළ ජෙෆ්රි මැනිං බාවා මහතා මෙම ඝංඨා දෙක සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකර ඇත. කෙසේ වුවද නාමිකව මෙම ඝංඨා යුගලය නිහඬව, හඬ නගන්නේ ජපානයේ මිත්සුයි සමාගම පාර්ලිමේන්තුව ගොඩනැංවීම සාර්ථකව අවසන් කර ලක් රජයට භාරදුන් වගයි.

නව පාර්ලිමේන්තුවේ වැඩ අවසන් කර විවෘත කිරීම වෙනුවෙන් මිත්සුයි සමාගම පරිත්‍යාග කළ මෙම ඝංඨා සම්බන්ධව කථාකිරීමේ දී, පාර්ලිමේන්තු මන්දිරය ජනතාවට පැවරීම සම්බන්ධව වූ ශෛලමය සිහිවටන පිළිබඳවද සිහිපත් කිරීම සුදුසු යැයි සිතමි. මෙම දැවැන්ත ගොඩනැගිල්ල විවෘත කිරීමට (ජනතාවට පැවරීමට) සැකසූ ශෛලමය සිහිවටන පුවරු සාමාන්‍ය වශයෙන් පාර්ලිමේන්තුවට පැමිණෙන අයෙකුට කැපී පෙනෙන ලෙස දැක ගැනීමට නිර්මාණය වී නැත.

අපක්‍ෂපාතීව කතා කළහොත්, මීට වඩා කුඩා වූ, ගොඩනැගිල්ලක් මෙරටේ උත්සවාකාරයෙන් විවෘත කළා නම්, විවෘත කිරීමේ පුවරුව ගොඩනැගිල්ලට වඩා කැපී පෙනෙන ලෙස දිස්වන බව කව්රුත් පිළිගන්නා සත්‍යයකි. එසේම පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ සැලසුම් ශිල්පීන්ගේ හා කොන්ත්‍රාත්කරුවන්ගේ නාමයන් ඇතුළත් සිහිවටන පුවරුද චාම් අයුරින්ම කැටයම් කර ඇත. මෙම සෑම ශෛල පුවරුවක්ම කැටයම් කිරීමට පාර්ලිමේන්තුවේ ඉදිරි ආලින්දයේ පොළොවට ඔබ්බවා ඇති රෝස කළුගල් පුවරු ප්‍රයෝජනයට ගෙන ඇත.

පාර්ලිමේන්තුවේ බිත්තිවලට ඔබ්බවා ඇති මෙම ගල් පුවරු කැපී නොපෙනෙන්නේ බිත්තිවලට ගල්වා ඇති පාට, රෝස කළුගලට සමාන කමක් දක්වන නිසාය.පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු සිදු කිරීමට එවක රජය විසින් භාරකර ඇත්තේ ජපානයේ ප්‍රසිද්ධ ඉදිකිරීම් සමාගමක් වූ ‘මිත්සුයි’ සමාගමටය. මිත්සුයි සමාගමේ පැවතුණා වූ නිර්මාණාත්මක සවිමත් ඉදිකිරීම් සම්බන්ධව තිබූ කීර්තිමත් නාමය පිළිබඳව හොඳින් දැන සිටි ජෙෆ්රි මැනිං බාවා මහතාගේ ඉදිකිරීම් සමාගමේ, විශේෂඥ ඉංජිනේරුවරයෙකු වූ ආචාර්ය කේ. පුලෝගසිංහම් මහතාගේ මග පෙන්වීම මත මෙම ඉදිකිරීමට ‘මිත්සුයි’ සමාගම එක් කරගෙන ඇති බව ඒ සම්බන්ධව සොයා බැලීමේදී දැනගත හැකි විය.

පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී හා නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවල මහතාගේ අධ්‍යක්‍ෂත්වය යටතේ පාර්ලිමේන්තුව විසින් භාෂාත්‍රයෙන් මුද්‍රණයකළ “ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව” ග්‍රන්ථයේ 52 වැනි පිටුවේ පාර්ලිමේන්තු සැලසුම් ශිල්පීන් පිළිබඳව අප නොසිතන කථාවක් තිස්ස අබේසේකර ශූරීන් විසින් ගෙන හැර දක්වන්නේ, ඩේවිඩ් රොබ්සන් ලියු උත්කෘෂ්ට ග්‍රන්ථයක ‍ඡේදයක් සිහල පදයෙන් උපුටා දක්වමිනි. එය මෙසේය. “පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ප්‍රධාන ප්‍රවේශයෙහි බිත්තියට කාවද්දා තිබෙන චාම් ගල් පුවරුවක, ගෘහ නිර්මාණ ශිල්පීන් වූයේ එඩ්වඩ්,රිඩ් සහ බෙග් යනුවෙන් සඳහන් කොට, පසු වදනක් යැයි පෙනෙන තරමට ඊට යටින්, ජෙෆ්රි බාවා, පුලෝගසුන්දරම් සහ වසන්තා යකොබ්සන් යන නම් දක්වා තිබේ. ඒ වනාහි බර්ගර් හා මුස්ලිම් මිශ්‍රිත, යාපනයේ දෙමළ සහ සිංහල බෞද්ධ තිදෙනෙකුගේ නම්ය. මේ සමරු පුවරුව අපට මතක්කර දෙන්නේ බාවාගේ කාර්යාලයෙහි ශ්‍රී ලංකාවේ විවිධ වූ ජන වර්ග සියල්ල නියෝජනය වී තිබුණ බවයි.

ඒ අතරට දේශපාලඥයන්ගේ අරමුණ කෙබඳු වුව ද පාර්ලිමේන්තුව සඳහා වූ සැලැස්ම පරිකල්පනය වූයේ මුළු මහත් ජනතාවගේ ම අපේක්‍ෂාවන්හි ප්‍රකාශයක් ලෙසට බව ද කියැවේ. ”ඉහත පාඨයේ කියැවෙන අයුරින් පාර්ලිමේන්තුවේ සැලසුම් ශිල්පීන්ගේ නම් සටහන් කර ඇති රෝස ගල්පුවරුව ඉතාම චාම් ආකාරයෙන් පැහැදිලිව නොපෙනෙන ලෙස, ඉතිහාසයට එක්කරන සටහනක් ලෙස පමණක් ලෙස දක්වා ඇත්තේ ඔවුන්ගේ නිරහංකාර බව නිසාය. මෙම ශෛලමය පුවරු කැපී පෙනෙන ලෙස දර්ශනය නොවීමට සැලැස්වූයේ එවක රාජ්‍ය පාලකයින්ගේ ඉල්ලීම මත කටයුතු කළ නිසාද? නො එසේනම් ගොඩනැගිලි සැලසුම් ශිල්පීන්ගේ යෝජනාවක් නිසාද යන ප්‍රශ්ණයන්ට පිළිතුරු ලබා ගැනීමට කෙනෙක් හමු නොමැත.

ඩේවිඩ් රොබ්ට්සන් ලියු, ඉහත ඡේදයේ ගෙන හැර පාන වාක්‍ය කණ්ඩයක පැහැදිලි කරන ආකාරයට සමාන කමක් දක්වමින් පාර්ලිමේන්තුව කථානායකවරයාට භාරකරන පුවරුවටද ශ්‍රී ලංකා නියෝජනයේ සිංහල, දමිළ හා මුස්ලිම් ජනවර්ග දෛවෝපගත ලෙස එක්වීම පුදුම සහගතය. එම නම් ඇතුළත් කළ කුඩා වූ, රෝස ගල් පුවරු තුනෙහි ඉතාම චාම් ලෙස ත්‍රි භාෂාවෙන් සටහන්කර ප්‍රධාන පියගැට පෙළ වම්පස සවිකර ඇත්තේ, “අග්‍රාමාත්‍ය හා පළාත් පාලන, නිවාස හා ඉදිකිරීම් ඇමති ගරු ආර්. ප්‍රේමදාස මැතිතුමා විසින් මෙම පාර්ලිමේන්තු මන්දිරය පාර්ලිමේන්තුවේ කථානායක මහජන මන්ත්‍රී ගරු අල්හාජ් එම්. අබ්දුල් බාකීර් මාකර් මැතිතුමන්ට 1982 අප්‍රෙල් 29 වැනි ගුරු දින උත්සවාකාරයෙන් බාර දෙන ලදි. විරුද්ධ පාර්ශ්වයේ නායක ඒ අමිර්තලිංගම් මැතිතුමා සහ කෝට්ටේ මහජන මන්ත්‍රී රාජ්‍ය අමාත්‍ය ගරු ආනන්ද තිස්ස ද අල්විස් මැතිතුමා මෙම උත්සවයට සහභාගී වූහ. ” යනුවෙනි.

එසේම ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තුව මංගල නැකතට රැස්වූ බව කියාපාන දිනය හා විස්තරය කුඩා රෝස ගල් පුවරු තුනක භාෂාත්‍රයෙන් සටහන් කර පියගැට පෙළ දකුණු පැත්තේ පෙන්වන්නේ මේ ආකාරයකටය.“ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති ගරු ජේ.ආර්. ජයවර්ධන උතුමාණන් විසින් වර්ෂ එක්දහස් නවසිය අනූ දෙකක් වූ අප්‍රේල් මස විසිනව වැනි දින පාර්ලිමේන්තුව රැස්වන ලෙස කැඳවන ලදි. එදින රැස්වීම මෙම සභාගර්භයේ පැවැත් වූ ප්‍රථම රැස්වීම විය.” මේ සම්බ්න්ධයෙන් විශේෂයෙන් අධ්‍යයයනය කිරීමේදී මෙවන් චාම් පුවරු වෙනත් ගොඩනැගිලි විවෘත කිරීම්වල දැකිය නොහැකි තරම්ය.

ප්‍රධාන අලින්දයේ එල්ලා ඇති ඝංඨා යුගලයෙන් ඉතා කුඩා අකුරින් ඉංග්‍රීසි භාෂාවෙන් සටහන් කර ඇත්තේ මිත්සුයි සමාගම විසින් ඉතා කැපවීමෙන් මෙම ගොඩනැගිල්ල නිර්මානය කල බවය. එයද ගලේ කෙටුවා මෙන් දැක ගැනීමට ඇත. මෙම දර්ශනීය ඝංඨා යුගලය නිමවා ඇත්තේ තඹ ලෝහයෙන් බව පැවසේ. අද වන විට මේවායේ වයස වසර 36 කට ආසන්නය.

මෙම ඝංඨා යුගලයේ වර්ණය දැන් වෙනස් වීමට ලක්වන බව පෙනේ. මෙම ඝාංඨාර දෙක උසින් හා පළලින් එක සමානය. මේවායේ එකක උස අඩි පහක්(05ක්) වන අතර පහළ විෂ්කම්භය අඩි දෙක හමාරකි (2 ½ කි.). තරමක් විශාල දම්වැලකින් මෙම ඝාංඨාර එල්ලා ඇත. දම්වැල රඳවා ඇත්තේ බර ඉසිලීමට තරම් ශක්ති මත් වානේ රවුම් කඳකය.

එසේම මෙම ඝංඨාවන් සවිකිරීම වාස්තු දෝෂ මග හැරවීමට එක් කළාද යන්න සිතිය හැකිය. පාර්ලිමේන්තු ගොඩනැගිල්ල නිමවී ඇත්තේ පියවි ඇසට නොපෙනෙන කොටස් තුනකටය. මෙයින් එක් කොටසක් අඟල් එකක පමණ තීරුවකින් වෙන්ව (කැපුම් පාරක් මෙන්) ගොඩනැගිල්ලේ ඉදිරි ආලින්ද කණුවේ බිත්තිය හා ඉහළ කොන්ක්‍රීට් ලෑල්ලේ (Slab) සිට ගොඩනැගිල්ලේ පිටුපස අවසන් බිත්තිය දක්වාම ගමන්කර ඇත. මෙම තීරුව විශේෂ ස්ථරයකින් පුරවා ඇති බවද දැකිය හැකිය. එය පියවි ඇසට නොපෙනෙන ලෙසට කලාත්මකව ඇතැම් තැනක බිත්ති වර්ණයෙන්, ඇතැම් තැනක සුදු යකඩ පටිවලින් ආවරණ කර පෙන්වා ඇත. ගොඩනැගිල්ල මේ අයුරින් සියුම් ලෙස බෙදූ කොටස් තුනෙන් මැද කොටස සභාගර්භය ඇතුළත් වන කොටසය.

මෙම මැද කොටසේ පළල දළ වශයෙන් අඩි 164 කි. මැද කොටසට දකුණු පස හා වම්පස කොටස්වල පළල ප්‍රමාණයන් මෙහිදී දැක්වීමට අදහස් නොකළද, මෙසේ කැපුම් තීරයෙන් වෙන්කර ඇති බිත්ති දෙක එක්වන ලෙස ඝංඨාව එල්ලා ඇති අල්ලුව (Bracket) දැකිය හැකිය. ඇතැම් විටක ජෙෆ්රි බාවා මහතා මෙම ඝංඨාව මෙම ස්ථානයේ රඳවා ඇත්තේ වෙන්වූ ගොඩනැගිලි තුනෙහි සමාන්තර භාවයේ වෙනසක් වේ නම්, එය විමර්ශනාත්මකව බැලීමේදී පැහැදිලිව පෙනෙන්නට සැලැස් වීමට ද?, නොඑසේ නම් ඇතැම් විට ගොඩනැගිල්ල විද්‍යාත්මකව හෝ වාස්තු විද්‍යාත්මකව හෝ කොටස් තුනකට සියුම් ලෙස වෙන් කරන බැවින් එකම බිත්තියක් ලෙස පිළිගැන් වීමට සැලැස්වීම සඳහා ඝංඨාව මේ අයුරින් සවිකළාද යන්නත් සිතේ.

පාර්ලිමේන්තුව නැරඹීමට පැමිණෙන බොහෝ පිරිස් මෙම ඝංඨාවන් ඉතා ඕනෑකමින් බලනු ලබන අතර ඔවුන් නානා විධ අදහස් ප්‍රකාශ කරනු ඇසී ඇත. ඇතැමෙකු පවසන්නේ මෙය ජනතාව නියෝජනය කරන පාර්ලිමේන්තුවේ හඬ බව ජනතාවට කියා පෑමට සවිකර ඇති බවය. ඝංඨාරය රාජ සභාවකට ආවේණික අංගයක් බව තවත් අය පවසා ඇත. “ සියලු දෙනා වහා රැස්වන්න” බව පැවසීමට සවිකර ඇති වස්තුවක් බව තවත් මා ඇසු මතයකි.

මෙවන් නානාවිධ අදහස් පාර්ලිමේන්තුව පිළිබඳව දේශනයන් පැවැත්වීමේදී අපගෙන් ප්‍රශ්ණ කරනු ලබයි.එළාර රජතුමාගේ රාජසභාවේ මිදුලේ (ආලින්දයේ) මෙවන් ඝංඨාරයක් එල්ලා තිබූ බව ඉතිහාසයේ සඳහන් වන බවත්, මෙය එල්ලා තිබුණේ රටවැසියකුට යම් ගැටළුවක්, දුකක් ඇතිවුනි නම් රජසබය සමීපයට පැමිණ ඒ බව නොපමාව රජතුමාට දන්වා සිටීම වෙනුවෙන් නාද කිරීමට බවත් එක් ඇමතිවරයෙක් පැවසීය.

යමෙකු මෙය නාද කළහොත් රජතුමා මේ සම්බන්ධව දැනුවත් කිරීමට අමාත්‍යවරයකු පත්කර තිබූ බවද, ඔහු දැන්වු පසුව ඇතැම් විට පැමිණි අය රජතුමා ඉදිරියට කැඳවීමට කටයුතු කරනු ලබන අතර නැතහොත් අමාත්‍යවරයා පැමිණි පුද්ගලයාගෙන් කාරණාව අසා රජුට දන්වා ගැටලුවට පිළිතුරක් ලබා දීමද සිදුකර ඇති බවද කියැවේ.

දිනක් කඳුළු පෙරමින් ඝංඨාරයේ ලණුව කටින් අදිමින් නොනවත්වා ඝංඨාරය නාද කරනු ලැබූ එළගව මවක් අමාත්‍යවරයා දුටු බැවින් රජතුමාට වහා ඒ බව සැළකර ඇත. මෙය දුටු රජතුමා විශ්මයට පත්වී නොපමාව එළගව මවගේ ශෝකයට හේතුව නොපමාව සොයා වාර්තා කිරීමට රාජසේවක හමුදාව පිටත් කර යවා ඇත. මොවුන් කෙටි දුරක් යද්දී, පුංචි ගව පැටියෙක් පාරේ ලේ පෙරාගෙන මැරී සිටිනවා ඇක වහාම රජතුමාට සැළකර ඇත.

මෙය සිදුවුයේ කෙසේද යන්න රජතුමා පැමිණ කළ පරීක්ෂාවේදී, ඒ අසළ සිටි වෙළෙන්දෙකු බැගෑපත්ව පවසා ඇත්තේ “ඔබ වහන්සේගේ පුත්කුමරාගේ රාජකීය රථය පැටවා යටකර ගෙන ගියා” යනුවෙනි. කේන්තිය ඉහවහා ගිය රජතුමා නොපමාව රජ කුමරා රාජසභාවට කැඳවා, සිද්ධිය විභාගකර එළගව පැටියා මිය ගිය ආකාරයටම රජකුමරා මරා දැමීමට නියෝග කර ඇත.

මෙම සිද්ධිය ඉතාම සංවේදී ලෙස පැහැදිලි කළ ඇමතිතුමා රාජ සභාවේ ඝාංඨාර සවිකිරීමේ එක් හේතුවක් වශයෙන් පැහැදිලි කළේ, ඕනෑම පුරවැසියකුට ඕනෑම වේලාවක පාර්ලිමේන්තුවට පැමිණිය හැකිය යන්න හුවා දක්වන සංකේතයක් වන්නේ මෙම ඝංඨාර බවය. ඝංඨා සම්බන්ධව කොයි ආකාරයෙන් සැළ වුවද, පාර්ලිමේන්තුවේ ඉදිරි ආලින්දයේ එල්ලා ඇති ඝංඨාර මහා හඬක් නිකුත් කිරීමට හැකි වුවත් ඒවා නිහඬය. තත්ත්වය එසේ වුවද පාර්ලිමේන්තු සභාවේ හඬ නම් ඊට වැඩි යැයි සිතේ.

[පී. ලක්ෂ්මන් කුමාර]

මාතෘකා