උදාගම් 2,500 ඉලක්කය ජයගැනීමට නම් අපි දිනකට ගම්මාන 3 බැගින්ඇරඹිය යුතු වෙනවා

 ඡායාරූපය:

උදාගම් 2,500 ඉලක්කය ජයගැනීමට නම් අපි දිනකට ගම්මාන 3 බැගින්ඇරඹිය යුතු වෙනවා

ඇමති සජිත් ප්‍රේමදාස

“අද මගෙන් කවද්ද උදා ගම්මාන 2500 හදන්නේ කියා ප්‍රශ්න කරන්නේ උදේ 9 වන තුරු නිදාගෙන රෑ 7 වන තුරු රටේ ජනතාවට බොරු ප්‍රකාශ කර රෑ10 ට නින්දට යන පිරිසක්. මා අවදි වන්නේ උදේ 4ට, නිදාගන්නේ රාත්‍රි 12 බව ඔවුන්ට ප්‍රකාශ කරන්නට කැමතියි. මා කිසිවිටක රජයේ දේපළ සොරා කන රාජ්‍ය දේපළ අවභාවිත කරන දූෂිත දේශපාලනඥයෙක් නොවෙයි. මා ඉදිරි කාලය තුළ උදේ 4 ට නොව උදේ 2 ට හෝ අවදි වී රෑ 12ට නින්දට ගොස් පැය 2ක පමණ නින්දක් ලබාගෙන උපරිම ධෛර්යෙන් දින 575 තුළ උදා ගම්මාන 2500 වැඩ කටයුතු ආරම්භ කරනවා” යැයි නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පසුගියදා (19) මඩකලපුව දිස්ත්‍රික්කයේ කන්නගිපුරම් ප්‍රදේශයේ ඉදිවූ ‘මුල්ලෛ නගර්’ උදා ගම්මානය විවෘත කරමින් පැවසීය.

“උදා ගම්මාන 2,500ක් රට පුරා ඉදිකිරීමේ ඉලක්කය 2019 වසරේ දෙසැම්බර් මස 31 වන දින වන විට සම්පූර්ණ කළ යුතුයි. අද වන විට මඩකලපුව දිස්ත්‍රික්කයේ පමණක් උදා ගම්මාන 47ක් ඉදිවෙමින් පවතිනවා. නමුත් මා එම ප්‍රමාණය පිළිබඳව සෑහීමකට පත් වන්නේ නැහැ. මෙම වසර අවසන් වීමට පෙර තවත් ගම්මාන 100ක් වත් මඩකලපුව දිස්ත්‍රික්කයේ පටන්ගන්නා ලෙස දිස්ත්‍රික් කළමනාකාරවරයාට මා දන්වා තිබෙනවා. එමෙන්ම තවත් ගම්මාන 200ක් ලබන වසරේදී මා මෙහි ආරම්භ කරනවා.

“මඩකලපුව දිස්ත්‍රික්කයේ විශාල නිවාස ප්‍රශ්නයක් ඇති බවට මෙහි සිටින සියලුම මහජන නියෝජිතයින් ප්‍රකාශ කළා. ඒ සඳහා මෙතෙක් කිසිදු රජයක් නිසි විසඳුමක් ලබාදී නැහැ. අතිගරු ජනාධිපතිතුමන්ගේ සහ අග්‍රාමාත්‍යතුමන්ගේ ද්විත්ව ආශීර්වාදය මත කෙසේ හෝ මඩකලපුව දිස්ත්‍රික්කයේ සෑම පවුලකම නිවාස ප්‍රශ්න මේ සජිත් ප්‍රේමදාස විසඳන බව මා ප්‍රකාශ කරනවා. මෙම දිස්ත්‍රික්කයේ ජනතාව බොහෝ අවස්ථාවලදී විවිධ පුද්ගලයින්ට රැවටී තිබෙනවා. විවිධ අය මෙහි ජනතාව රවටා තිබෙනවා. එයට නැවතීමේ තිත තිබා දිවංගත මගේ පියගේ නාමයෙන් මෙම දිස්ත්‍රික්කයේ නිවාස ප්‍රශ්නය විසඳීමේ වගකීම ජීවිත පරිත්‍යාගයෙන් යුතුව බාර ගන්නා බව මා අවංකවම ප්‍රකාශ කරනවා. යහපාලන රජය යටතේ ඓතිහාසික නිවාස සංවර්ධනයක් හරහා මෙරට සැමට සෙවණ ලබාදීමට මා කැප වනවා.

“මඩකලපුව දිස්ත්‍රික්කයේ නිවාස ගැටලු පිළිබඳව නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය සතුව පැහැදිලි සංඛ්‍යා ලේඛනයක් මා නිවාස ඇමති වනතුරුම තිබුණේ නැහැ. මඩකලපුව දිස්ත්‍රික්කයේ තාවකාලික නිවාස 12,482ක්, පොල්අතු නිවාස 5,962ක්, තහඩු සෙවිලි කළ නිවාස 7,403ක්, කපරාරු නොකළ නිවාස 22,995ක්, අඩක් නිම කළ නිවාස 14370ක් තිබෙනවා. එමෙන්ම ඉඩමක් සහ නිවසක් නොමැති පවුල් 7,793ක් සිටිනවා. ඉඩමක් ඇති නමුත් නිවසක් සාදා ගැනීමට නොහැකි පවුල් 12,032ක් සිටිනවා. තාවකාලිකව පදිංචි පවුල් 2,880ක් සිටිනවා. මේ ආකාරයට මඩකලපුව දිස්ත්‍රික්කයේ විවිධ වූ නිවාස ප්‍රශ්න ඇති සමස්ත පවුල් ගණන 87,445ක් වෙනවා.

“මෙම දිස්ත්‍රික්කයේ ජනතාව තමන්ගේ නිවාස සාදාගැනීම සඳහා ණය ලබාගැනීමට විවිධ ගිනි පොලී ණයකරුවන් සහ ක්ෂුද්‍ර මූල්‍ය ආයතන පසුපස යන බව මට ආරංචි වුණා. ඔබ එසේ කිසිවකු පසුපස යන්නට, කිසිවකු ළඟ දණ ගසන්නට අවශ්‍ය නැහැ. කිසිදු ගිනි පොලී ණයක් ලබාගැනීමට අවශ්‍ය වන්නේත් නැහැ. අප ඔබේ මනාපයෙන් පත්වූ මහජන සේවකයින් ලෙස ඔබේ දෙපතුල ළඟට පැමිණ ඔබ සියලු දෙනාගේ නිවාස ප්‍රශ්න විසඳා දෙන්නට සුදානම්. එය මඩකලපු දිස්ත්‍රික් ජනතාවට මා ඉතාම වගකීමෙන් යුතුව ප්‍රකාශ කරනවා.

“අපේ ඉලක්කය ලබන වසර වන විට රට තුළ උදා ගම්මාන 2,500ක් ඉදිකිරීමයි. මේ සඳහා ඉතිරි වී ඇත්තේ තව දින 575ක් පමණයි. එම ඉලක්කය ජයගන්නට නම් දැනට ආරම්භ කර ඇති ගම්මානවලට අමතරව තව උදා ගම්මාන 1,747ක් ආරම්භ කළ යුතුයි. ඒ අනුව දිනකට ගම්මාන 3 බැගින් ආරම්භ කළ යුතු වනවා.

“නැති බැරි ජනතාවට උපකාර කිරීම අපගේ වගකීමයි. ඉඩම් නොමැති අයට ඉඩම් ලබාදීම සහ නිවාස නොමැති අයට නිවාස ලබාදීම දේශපාලඥයින් වන අපගේ යුතුකමක්. රැකියා නැති තරුණ පිරිසට රැකියා ලබාදීමත් අපගේ යුතුකමක්. කිසිදු භේදයකින් තොරව රටේ සිටින සියලු ජනතාව අප රැකගත යුතුයි. මේවා නොකරන සුළුතර දේශපාලනඥයින් පිරිසක් රටේ ඉන්නවා. ජාති, ආගම්, වර්ග භේදය අවුස්සන්නේ ඔවුනුයි. ජාතිවාදය සහ ආගම්වාදය රටකට මහා පිළිකාවක්. ඔබ මේවාට රැවටෙන්නට එපා. ඔබ අප කෙරෙහි තැබූ විශ්වාසය ඉදිරියටත් තබන්න. ඔබේ බලාපොරොත්තු කිසිවිටක අප සුන් කරන්නේ නැහැ. ඔබේ හදවතේ රැඳුණු සිහින මාලිගාව සැබෑ කරවන්නට අප දිවිහිමියෙන් ඇප කැප වී කටයුතු කරන බව මා සතුටින් ප්‍රකාශ කරනවා”යැයි අමාත්‍යවරයා පැවසීය.

[අසේල ලියනගේ]

මාතෘකා