සෞඛ්‍ය සේවා සඳහා වැට් බදු අත්හිටුවීමට පියවර ගන්නවා

 ඡායාරූපය:

සෞඛ්‍ය සේවා සඳහා වැට් බදු අත්හිටුවීමට පියවර ගන්නවා

 ඇමති මංගල සමරවීර

පෞද්ගලික අංශයේ රෝහල්වලින් සේවා ලබා ගැනීමේදී රෝගීන්ගෙන් අය කරන කාමර ගාස්තුවට අදාළ වැට් බද්ද හැර සැත්කම් ගාස්තු ඇතුළු අන් සියලුම සෞඛ්‍ය සේවාවලට වැට් බදු ලබන මස 01 වැනිදා සිට අත්හිටුවීමට ඇමැති මණ්ඩලය තීරණය කළ බව මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා පසුගියදා (19) මුදල් අමාත්‍යංශයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය.

මහජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීමට වගකීමෙන් හා සංවේදී අයුරින් කටයුතු කරන රජය, ලබන ජූලි 01 වැනිදා සිට වෛද්‍යවරුන්ගේ උපදේශක සේවා ගාස්තුවලින්, චැනල් සේවා ගාස්තුවලින්, වෛද්‍ය වෘත්තික සේවාවලින් අය කරන සියයට 15ක වැට් බද්ද අත්හිටුවන බවද ඇමතිවරයා එහිදී පැවසීය. වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය:

“2016 වැට් බද්ද වෛද්‍ය උපදේශක ගාස්තුවලට හඳුන්වාදුන් වෙලාවේ වෛද්‍ය උපදේශක ගාස්තු, චැනල් ගාස්තු මෙන්ම වෛද්‍ය වෘත්තිකයන්ට ගෙවන ගාස්තු යන තෝරාගත් සෞඛ්‍ය සේවා ආදියට බදු පනවනු ලැබුවා. සංවේදී රජයක් හැටියට අපි සාමාන්‍ය පන්තියේ ජනතාවගේ ඉල්ලීම් කෙරෙහි අවධානය යොමු කළා. ඒ අනුව ජනාධිපතිතුමාගේ, අගමැතිතුමාගේ උපදෙස් මත සහ රාජිත සේනාරත්න මහතාගේ ඉල්ලීම මත අපගේ මුදල් අමාත්‍යංශය මේ වැට් බද්ද ඉවත් කරනවා. ඒත් පෞද්ගලික රෝහල්වල කාමර ගාස්තු සඳහා වැට් බද්ද ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙනවා.

“අපේ රටේ ජනතාවට සහනදායී විශිෂ්ට සේවාවක් ලබාදීමට යහපාලන ආණ්ඩුව ආරම්භයේ සිටම ක්‍රියා කළා. මේ ආණ්ඩුව පිහිටවපු දින සිට පසුගිය කාලයේ දළ දේශීයනිෂ්පාදිතයෙන් සියයට 1ට වැඩි ප්‍රමාණයක් සෞඛ්‍ය සේවාවට වැඩි කළා. මේ වසර ඇතුළත වාර්ෂිකව ජනතාවගේ නිදහස් සෞඛ්‍යය වෙනුවෙන් වෙන් කරන මුදල් සෞඛ්‍ය අංශ සංවර්ධනය සඳහා සහ වෛද්‍යවරුන්ගේ වැටුප් ගෙවීමට යොදාගන්නවා. 2014 වර්ෂයට වඩා තුන්ගුණයකටත් වඩා වැඩි මුදලක් මෙම වර්ෂයේ යොමු කරනවා. අපි 2020 වන විට 5% දක්වා නිදහස් සෞඛ්‍යය වෙනුවෙන් ප්‍රතිපාදන වැඩි කිරීමට බලාපොරොත්තු වෙනවා.

“අද මේ රටේ සාමාන්‍ය ජනතාවට කවදාවත් නොලැබුණ සහන ලබාදීලා තිබෙනවා. උදාහරණයක් ලෙස විශාල මුදලක් ගෙවා ගැබිනි මව්වරුන්ට ලබාගන්නට අවශ්‍ය බෙහෙතක් අද රෝගීන්ට රජයේ රෝහල්වල සම්පූර්ණයෙන්ම ලබාදී තිබෙනවා. විශේෂයෙන්ම අක්ෂි කාච ඒ රෝහල් හරහා නොමිලේ ලබාදෙනවා. ඒ වගේම රුපියල් 30000කට වූ අක්ෂි කාච රුපියල් 8000 දක්වා අඩු කිරීමට කටයුතු කරනවා. එදා පිළිකා රෝගීන්ට ලක්ෂ 15ක ප්‍රතිකාර සීමා කරල තිබුණා. ඒ නිසා ලක්ෂ පහළොව ඉවර වුණාම තමන්ගේ අතින් ප්‍රතිකාර කරන්නට නොහැකි වීම නිසා රෝගීන් දුෂ්කරතාවට පත් වුණා. නමුත් ජූලි 01 දා සිට සියලුම පිළිකා රෝගීන්ට ජීවිතාන්තය දක්වා මෙම ප්‍රතිකාර ලබාදෙන්නට රජය කටයුතු කරනවා.

“පසුගිය කාලයේ රෝහල්වලින් කිව්වා රුධිර පරීක්ෂාව පෞද්ගලික ස්ථානයකින් කරගෙන එන්න කියලා. ඒ තත්ත්වය අපි සම්පූර්ණයෙන්ම නතර කරලා රෝහල් තුළින්ම රුධිර පරීක්ෂා කරන්න කටයුතු කරලා තියෙනවා. මේ විදියට තමයි සල්ලි තියෙන රජයක් ලෙස රටේ ජනතාව ලබාදෙන බදු ජනතාවගේ සුබ සිද්ධිය සඳහා වියදම් කරන්නේ. බදු ගැන කතා කළාම තමුන්නාන්සේලා දන්නවා 18%ක් සෘජු බදු සහ 82%ක් වක්‍ර බදු වශයෙන් ජනතාව ගෙවනවා. එසේ තිබියදී අපි මේ ආකාරයට සහන රාශියක් සෞඛ්‍ය සේවයට හා අධ්‍යාපන සේවයට ලබාදෙනවා. අද ඉන්න දොස්තර මහත්වරු, ටියුෂන් ගුරුවරු වැනි බොහෝදෙනා නිදහස් අධ්‍යාපයෙන් බිහි වූ අය. ජනතාවගේ බදුවලින් තමයි ඔවුන් විඳපු නිදහස් අධ්‍යාපනය ලැබුණේ. මේ විදියට අපි ලබාගත්තු බදු නිවැරදිව පාවිච්චි කළ නිසා තමයි විධිමත් සෞඛ්‍ය සේවාවක් ලබාදීමට හැකි වුණේ. මුළු ලෝකයේම ප්‍රශංසාවට ලක්වූ වෛද්‍ය සේවාවක් බවට ලංකාවේ වෛද්‍ය සේවාව පත්වී තිබෙනවා. පසුගියදා පැවති ජත්‍යන්තර සෞඛ්‍ය සමුළුවලදී ලංකාව වගේ පුංචි රටක් ලෝකයේ දියුණු රටක පවා නැති සහන සෞඛ්‍ය සේවාවට ලබාදීම ගැන ප්‍රශංසා ලැබුවා.

“ඊට අමතරව යහපාලන රජය ආරම්භ කළ සුවසැරිය ගිලන්රථ සේවාව සාර්ථක වී තිබෙනවා. මේ වන විට දිවයින පුරා මෙම සේවාව ව්‍යාප්ත කිරීමට වැඩකටයුතු සංවිධානය කර තිබෙනවා. පළාත් සභා රෝහල්වලට, කාර්මික අංශය, රුධිර පාරවිලයන මධ්‍යස්ථාන 19ක් හා දැනට ඇති මධ්‍යස්ථාන 10ක්ම දියුණු කිරීමට අපි බලාපොරෝත්තු වෙනවා. මේ මඟින් රටේ ජනතාවට විශාල සෞඛ්‍ය සහනයක් අපි සපයලා දෙනවා. යම්කිසි බරක් වෙලා තිබුණු වෛද්‍යවරුන් චැනල් කිරීමේ ‍ෙස්වාව සහ ශල්‍යකර්ම සඳහා අය කරපු වැට් බද්ද ජූලි 01 දා සිට අත්හිටුවනවා. මීට අමතරව සංශෝධන කීපයක් මීට සති කීපයකට කලින් අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. මේ සංශෝධනය සහ මීට සති කීපයකට කලින් ඉදිරිපත් කෙරුණු සංශෝධන සියල්ල අපි පාර්ලිමේන්තු‍වට ඉදිරිපත් කරනවා.

“විශේෂයෙන්ම කලාකරුවන්, කර්තෘවරුන් සඳහා වූ කර්තෘ කාර්යයට 14%ක රඳවා ගැනීමේ බද්ද සීමා කරන්න බලාපොරොත්තු වෙනවා. මේක විශාල සහනයක්. ඕනෑම මුදල් තැන්පතු ආයතනයක් රඳවා ගැනීම් බද්දක් ලෙස 5%ක බද්දක් අය කරනවා. අවුරුදු 18ට අඩු දරුවන්ගේ ඉතිරි කිරීමේ තැන්පතු සඳහා රඳවා ගැනීමේ ගාස්තු ඉවත් කිරීමට තීරණය කළා. නමුත් මේ ගැන දේශපාලන වාසි තකා සමහර පුද්ගලයන් විවිධ අදහස් පළ කළා. අැත්ත විකෘති කරන්න හැදුවා. ජූලි 01 සිට මේ සියලු සහන ජනතාවට ලැබෙන බව කියන්න කැමතියි.

“මේ බදු ගෙවන ගෙවන පිරිස හැමදාම තැළෙනවා, බදු නොගෙවන අය කවදාවත් බදු ගෙවන්නේ නෑ. නමුත් අද අපි දිස්ත්‍රික් මට්ටමෙන් බදු ගෙවීම පිළිබඳ සම්මන්ත්‍රණ පවත්වනවා, දැනුවත් කිරීමේ පත්‍රිකා බෙදනවා. ඒ බදුවලින් මේ රටට ලොකු සේවාවක් වෙනවා. මම මුදල් ඇමතිවරයා විධියට අපේ රටේ විවිධ වෘත්තිකයින්ගෙන් ඉල්ලා සිටිනවා තමන් ගෙවිය යුතු අදායම් බදු ගෙවන්න කියලා. මොකද ඒ මුදල් මඟින් මෙවැනි සහන ජනතාවට ලබාදීමට හැකියි.”

 [නුවන් මහේෂ් ජයවික්‍රම] [අසේල ලියනගේ] ඡායා [රුක්මාල් ගමගේ]

මාතෘකා