සියයට 82ක් බදු ගෙවන්නේ දුප්පත් ජනතාවයි

 ඡායාරූපය:

සියයට 82ක් බදු ගෙවන්නේ දුප්පත් ජනතාවයි

 අමාත්‍ය මංගල සමරවීර

ශ්‍රී ලංකාවේ බදු ගෙවන ජනතාවගෙන් සියයට අසූ දෙකක පිරිසක් තවමත් දුප්පත් ජනතාව බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

අමාත්‍ය මංගල සමරවීර මහතා මේ බව කියා සිටියේ 2017 ගංවතුර තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් මාතර දිස්ත්‍රික්කයේ ජනතාව වෙත වන්දි ප්‍රදානය කිරීම සඳහා සෙනසුරාදා (16) මාතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති උත්සවයකට එක් වෙමිනි.

අමාත්‍යවරයා එහිදී මෙසේද පැවැසීය.

“යහපාලන ආණ්ඩුව බලයට පැමිණියේ ජනතාවට පොරොන්දු රැසක් ලබා දෙමින්. එහි ප්‍රධාන පොරොන්දුවක් වූයේ රාජ්‍ය සේවය වැටුප රුපියල් 10,000කින් ඉහළ දැමීමයි. පළමු දින 100 ඇතුළත එම පොරොන්දුව ඉටු කිරීමට ආණ්ඩුවට හැකි වුණා. මීට අමතරව මහින්ද රාජපක්ෂ ආණ්ඩුව අධ්‍යාපනය වෙනුවෙන් වැය කළ දළ දේශීය නිෂ්පාදිතයෙන් 1%ක මුදල 2018 වන විට 3% දක්වා ඉහළ නැංවීමට වත්මන් ආණ්ඩුවට හැකි වුණා. එය 2020 දී 6% දක්වා වර්ධනය කිරීම අපේ අපේක්ෂාවයි. මීට අමතරව සෞඛ්‍යය වෙනුවෙන් දැනට වෙන් කෙරෙන 3.5% ප්‍රතිශතය 2020 වන විට 5% දක්වා ඉහළ නැවීමද ආණ්ඩුවේ අපේක්ෂාවයි. දැනට පෞද්ගලික රෝහල්වලින් අය කෙරෙන වැට් බද්ද ලබන සතියේ සිට අහෝසි කිරීමටත් අපි කටයුතු කරනවා. සමෘද්ධි දීමනාව තුන් ගුණයකින් වැඩි කිරීමට වත්මන් පාලනයට හැකි වුණා.

“මේ සියල්ල කරනු ලබන්නේ පැවැති ආණ්ඩුව මගින් දායාද කළ අධික ණය බර කළමනාකරණය කරගනිමිනුයි. මෙම වසර තුළ පමණක් ශ්‍රී ලංකාව ගෙවිය යුතු සමස්ත විදේශ ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 1.9ක්. ඉන් 83%ක්ම 2015ට පෙර ලබා ගත් ණය වීම විශේෂත්වයයි. ඉදිරි වසර දෙක තුළ ශ්‍රී ලංකාට ගෙවීමට ඇති විදේශ ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 4.6ක් වන අතර ඊට 2012, 2013 සහ 2014 වසරවලදී පැවැති ආණ්ඩුව ගිනි පොලියට ලබාගත් ණයද ඇතුළත්. මේ සියල්ල කිරීමට ජනතාවගෙන් බදු අය කරන්න සිදු වේවි. නමුත් ගැටලුව වන්නේ එම බදු ප්‍රමාණයෙන් වැඩි කොටසක් හෙවත් 82%ක පමණ කොටසක් තවමත් ගෙවන්නේ සාමාන්‍ය ජනතාව වීමයි. පොහොසතුන් තවමත් ඍජු බදු ගෙවන්නේ බදු ආදායමෙන් 18%ක් පමණයි. ඊට හොඳම උදාහරණය නම් කෝටි දෙකකට අධික ජනතාවක් වෙසෙන ශ්‍රී ලංකාවේ තවමත් බදු ගොනු ඇත්තේ ලක්ෂ හතරක පමණ ප්‍රමාණයක් වීමයි. මෙම ප්‍රතිශතය 2020 වන විට 60% - 40% ප්‍රමාණය දක්වා රැගෙන ඒම ආණ්ඩුවේ අපේක්ෂාවයි.

“මේ සියල්ල අතරතුත් ජනතාවගේ සුබසාධන කටයුතු ආණ්ඩුව පැහැර හැරලා නැහැ. මේ ඔබ අතට අද පත්වන්නේ ආණ්ඩුවේ එම උත්සාහයේ ප්‍රතිඵලයි. එදා මෙවැනි සහන පවා ලැබුවේ ආණ්ඩුවේ හෙන්චයියලාගේ නියෝජිතයනුයි. අද එවන්නක් නැහැ. සහන ලබාදීමේදී අපි කිසිදු අවස්ථාවක පක්ෂ පාට බැලුවේ නැහැ. පසුගිය පළාත් පාලන මැතිවරණයේ මාතර දිස්ත්‍රික් ප්‍රතිඵලය දෙස බලන විට මෙහි සිටින පිරිසගෙන්ද 75%ක්ම ඇත්තේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ඡන්දය දුන් අය විය යුතුයි. එහෙත් අපට වැදගත් වන්නේ සහන සැලසීම මිස ඔබේ දේශපාලනය නොවේ.

“ජනතාවට සහන සැලසීමේ තවත් දැවැන්ත පියවරක් මේ මස ආරම්භ කෙරෙනවා. ඒ ගම්පෙරළිය වැඩසටහනයි. සෑම ගමක්ම සංවර්ධනය කෙරෙන මෙම වැඩපිළිවෙළ යටතේ දිවයින පුරා ගම්මාන වැඩිදියුණු කෙරෙනවා. මේ සඳහා ත්‍රිවිධ හමුදාවේ සහය ලබාගැනීමටද නියමිතයි. ඒ අනුව ත්‍රිවිධ හමුදාව සංවර්ධන යුද්ධයට අවතීර්ණ වනු ඇති” යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.

මාතෘකා