කොස් සංවර්ධනයට අධිකාරියක් හදනවා | ඇස පාදන රැස


කොස් සංවර්ධනයට අධිකාරියක් හදනවා

 ඡායාරූපය:

කොස් සංවර්ධනයට අධිකාරියක් හදනවා

- ඇමැති මහින්ද අමරවීර

කොස්‌ සංවර්ධන අධිකාරියක්‌ ඉදිරියේදී පිහිටුවන බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා පැවැසීය. කොස්‌ගස පුනරුද ව්‍යාපෘතියේ නිර්මාතෘ ආතර් වී. දියෙස්‌ මහතා එම ව්‍යාපෘතිය ආරම්භ කර වසර 100 ක්‌ සම්පූර්ණ වීම සැමරීමට සහ “අපි වවලයි අපි කන්නේ” වගා ව්‍යාපාරය අරඹමින් පෙරේදා (11) පානදුර ජෙරමියස්‌ දියෙස්‌ කනිෂ්ඨ විද්‍යාලයේදී පැවැති උත්සවයේදී ඇමැතිවරයා මේ බව පැවසීය.

ආතර් වී. දියෙස්‌ මැතිතුමා දේශපාලඥයෙකු නොවුවත් එතුමා කිසිදිනක දේශපාලනඥයන් ඉදිරියේ දණ නොනැමූ උතුම් පුද්ගලයෙක්‌. විශේෂයෙන්ම රටට නිදහස ලැබුණු අවස්‌ථාවේ ඒ මහතා තම නිවසේ කොඩි 03 ක්‌ එල්ලුවා. එකක්‌ ජාතික කොඩියයි. අනෙක බෞද්ධ කොඩියයි. අනෙක්‌ කොඩිය කලු කොඩියක්‌. රටට නිදහස ලැබුණත් මේ රට කිසි දිනෙක විදේශ රටවලින් නිදහස්‌ නොවන බව එතුමා එදා දැනගෙන හිටියා. අද අපි කෝටි දසදහසක්‌ විදේශ රටවලට ණය වී සිටිනවා. කිරි දරුවෙක්‌ පවා රුපියල් ලක්‌ෂ 04 ක්‌ වර්තමානයේ විදේශ රටවලට ණය වී සිටිනවා. මේ තත්ත්වයෙන් ගොඩ ඒමට නම් අප කළ යුත්තේ අපට අවශ්‍ය දේවල් අප රටේම නිපදවා ගැනීමයි. "අපි වවලයි - අපි කන්නේ" වැඩසටහන ආරම්භ කළේ ඒ නිසයි. අපිට අවශ්‍ය දේ අපි අපේම රටේ නිපදවා ගැනීමේ වැඩපිළිවෙළකට අපි යොමු විය යුතුයි. අප රටේ සෑම ප්‍රදේශයකම පැණි දොඩම් වගා කළ හැකි නමුත් වසරකට රුපියල් මිලියන 958 ක්‌ වැයකර විදේශ රටවලින් මෙරටට දොඩම් ආනයනය කරනවා. එසේම මිදි ආනයනය සඳහා අපි වාර්ෂිකව වැය කරන මුදල රුපියල් මිලියන 2,766 ක්‌. අප රටේ සෑම ප්‍රදේශයකම වගා කළ හැකි කහ සහ ඉඟුරු තවමත් විශාල වශයෙන් මෙරටට ආනයනය කරනවා. ඒ සඳහා වාර්ෂිකව වැය කරන මුදල රුපියල් මිලියන 1,315 ක්‌.

රට පුරාම තිබෙන හිස්‌ ඉඩම්වල මෙන්ම පොල් රබර් වගාවන් අතරේත් ඉඟුරු සහ කහ වගා කළ හැකියි. ඒ සඳහා ලෝක වෙළෙඳපොළ තුළ විශාල ඉල්ලුමක්‌ තිබෙනවා. අපේ ගොවීන්ට එමඟින් විශාල ආදායමක්‌ උපයා ගත හැකියි. අද මෙම අවස්‌ථාවට ආතර් වී දියෙස්‌ මැතිතුමාගේ පවුලේ සාමාජිකයන් පැමිණ සිටිනවා. ආතර් වී. දියෙස්‌ මහතා කොස්‌ සිටුවීමේ ව්‍යාපාරය ගෙන ගියේ ජාතික සේවාවක්‌ වශයෙන්. එතුමා හොඳ දානපතියෙක්‌. සමාජ සේවකයෙක්‌ ඒ වගේම දේශප්‍රේමියෙක්‌. කොස්‌ වගාව ප්‍රචලිත කිරීම සඳහා මෙන්ම කොස්‌ගස්‌ ආරක්‌ෂා කර ගැනීම සඳහාත් ඒ පිළිබඳ නීති රීති ක්‍රියාත්මක කිරීමටත් සුදුසු පරිදි කොස්‌ සංවර්ධන අධිකාරියක්‌ ස්‌ථාපිත කිරීමට මම යෝජනා කරනවා. ඒ සඳහා අමාත්‍යාංශ නිලධාරීන් එක්‌ව ඒ පිළිබඳ පවතින නෛතික තත්ත්වයන් සලකා බලා කටයුතු කරන ලෙස මම ඉල්ලා සිටිනවා” යැයිද පැවසීය.

මාතෘකා