අපි වසර 3 ක් ඇතුළත කළ වැඩ සමහර අයට අමතකයි - ඇමතිනී තලතා අතුකෝරළ | ඇස පාදන රැස


අපි වසර 3 ක් ඇතුළත කළ වැඩ සමහර අයට අමතකයි - ඇමතිනී තලතා අතුකෝරළ

 ඡායාරූපය:

අපි වසර 3 ක් ඇතුළත කළ වැඩ සමහර අයට අමතකයි - ඇමතිනී තලතා අතුකෝරළ

වත්මන් රජය තමන්ගේ නිවැරදි බව ඔප්පු කර ගන්න ඕනෑම අධිකරණයකට යාමේ නිදහස අයිතිය තහවුරු කර තිබෙන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමතිනී තලතා අතුකෝරළ මහත්මිය පවසයි. අමාත්‍යවරිය මේ බව පැවසුවේ පසුගියදා රුපියල් ලක්ෂ 20ක වියදමකින් ඉදි කල නිවිතිගල වටාපොත නිල සෙවන ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. එහිදී ඇය වැඩිදුරටත් මෙසේද කීය.

“අපි බලයට පත් වෙලා වසර තුනක් අතුළත වසර 20 ක් තුළ කරන්න බැරි වූ වැඩ කොටසක් කළා. ඒත් සමහර අයට මේවා අද අමතක වෙලා. අපි හදලා දුන්න පාරවල් නඩත්තු කරන්න බැහැ කියලා ප්‍රාදේශීය සභාව කියනවා. මේ අයට නායකයෙක් පක්ෂයක් නැතිව ඡන්දය දුන්නේ ඇයි කියලා තේරුම් ගන්න බැහැ. 2015ට පෙර රජයේ නිලධාරීන්ට තමන්ගේ ආත්ම ගරුත්වය තියාගෙන වැඩ කරන්න බැරි වුණා . බලයට පත් වෙලා අපිටත් තිබුණා දේශපාලන පළිගැනීම් කරන්න කුහකම් කරන්න. නමුත් මේ රජය එහෙම කරන්නේ නැහැ.

තමන්ගේ නිවැරදි බව ඔප්පු කර ගන්න ඕනෑම අධිකරණයකට යාමේ නිදහස අයිතිය තහවුරු කර තිබෙනවා. අද රාජ්‍ය නිලධාරීන්ට අපක්ෂපාතීව ජනතාවට සේවය කිරීමට හැකි වාතාවරණයක් උදා කර තිබෙනවා. රජයක් ලෙස අපි රජයේ වගකීම නිසි පරිදි ඉටු කරනවා. රාජ්‍ය නිලධාරීන්ද කාර්යක්ෂමව සේවය ලබා දිය යුතුයි. ඒ අය දේශපාලන හිතවත්කම්, වෙනත් හේතුන් මත සේවය කළ යුතු නැහැ. අපි පක්ෂය තුළ වේදිකාව තුළ දේශපාලනය කරනවා. නමුත් ඇමතිවරුන් බවට පත් වුණාම එක පිරිසකට නෙමෙයි අපි ජනතාවට උපරිම සේවයක් කළ යුතුයි. ස්වාධීන අධිකරණ පද්ධතියක් සියලුම ජනතාවට ලබාදීම අධිකරණ අමාත්‍යවරිය ලෙස මගේ වගකීමයි. ඒ සදහා උපරිම ලෙස අපි කැපවී සිටිනවා.

ගරු අගවිනිසුරුතුමාට ඒ සදහා අවශ්‍ය පහසුකම් බලය ලබාදී තිබෙනවා. මේ පවතින නීතියත් සමග වැඩ කරන්න. ඕන කෙනෙකුට නිදහසක් අයිතියක් තිබෙනවා තමන්ගේ නිවැරදි බව ඔප්පු කර ගන්න ඕනෑම අධිකරණයකට යන්න. ඒ නිදහස අපි තහවුරු කර තිබෙනවා. නාය යෑම් හේතුවෙන් අවතැන් වු ජනතාවට ක්‍රමානුකූලව ඉඩම් ලබාදීම සිකළා. දැන් මේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය තුළ පවුල් 16ක් නාය යාමේ අවදානම් තත්ත්වයේ ඉන්නවා. ඒ අයට ඉවත් වෙන්න දැනුම් දී තිබෙනවා කියලා ප්‍රාදේශීය ලේකම්තුමිය සදහන් කලා. එහෙත් ඒ අය ඉවත් වෙන්නේ නැහැ.

එහෙම ඉදලා යමක් වුනාම රජයටවත් වෙන කාටවත් චෝදනා කරලා වැඩක් නැහැ. විශේෂයෙන් ආපදා තත්වයන් තුළදී රජයෙන් ලබා දෙන ප්‍රතිලාභ නියමප්‍රතිලාභියාට ලබාදීමට කටයුතු කළ යුතුයි. ආපදා තත්ත්වයන් ඇති වූ විට මුහුණ දීම සදහා ආපදා සහන සේවා මධ්‍යස්ථාන අපි මේ ප්‍රදේශවල ස්ථාපිත කර තිබෙනවා. වසර 20කින් කරන්න බැරි වුනු වැඩ අපි වසර 3 ක් ඇතුළත කළා. සමහර අයට මේවා අමතකයි. ඇතැම් අය මේවා දන්නේ නැහැ. දැන ගත්තත් ඒවා උවමනාවෙන්ම අමතක කරනවා. අපිටත් බලයට පත් වෙන කොට පළි ගන්න පුළුවන් කුහක කම් කරන්න පුළුවන් වෛර කරන්න පුළුවන් නමුත් එහෙම කරන රජයක් නෙමෙයි මේක. අනිත් කාරණය තමයි අපි දේශපාලනය හේතු කොට ගෙන තීන්දු තීරණ ගන්නේ නැහැ.

අපිට හිතා ගන්න බැහැ පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ජනතාව මොනවා දිහා බලලා ඡන්දය දුන්නාද කියලා .අපි කිවුවා කවුරු කැමති වුණත් අකමැති වුණත් 2020 වෙනකල් මේ රජය තියෙනවා කියලා ඒක සමහරුන්ට තේරුම් ගන්න බැරි වුණා. අවබෝධයක් තිබුණේ නැහැ. සමහර නිලධාරීන් පවා පුදුම විදිහට දේශපාලනයේ නිරත වුණා.දැන් බලයට පත් වුණ ප්‍රාදේශීය සභාවල සභාපතිවරුන් කියනවා අපි හැදුව පාරවල් නඩත්තු කරන්න සල්ලි නැහැ කියලා . එහෙනම් මොකටද ඔය තරම් දගලලා බලයට ආවේ. මොකටද මේ අයට පක්ෂයකුත් නැතිව නායකයෙකුත් නැතිව ඡන්දේ දුන්නේ කියලා අපිට තේරෙන්නේ නැහැ.

අපි නිවිතිගල අංග සම්පුර්ණ නගරයක් කරන්න කටයුතු කර ගෙන යනවා. ඒ සදහා විශාල මුදලක් ලැබිලා තියෙනවා. ඉදිරියටත් ලැබෙනවා. ඒත් පාරක් නඩත්තු කර ගන්න බැරිප්‍රාදේශීය සභාවකට ඒවා හදලා දීලා වැඩක් නැහැ. පසුගිය වසර තුනේ අපිට ප්‍රාදේශීය සභාවක පළාත් සභාවක බලය නැතිව වසර තුනක් තුළ දැවැන්ත සංවර්ධනයක් කළා. බලය කියන එක හරියට රෝදේ වගේ. අද තියෙන්න පුළුවන් හෙට නැති වෙන්න පුළුවන්. බලය තිබුණොත් වැඩ කරනවා .අපේ ජනතාව තේරුම් ගන්න ඕන 2015 ජනවාරි 08 වෙනිදාට පෙර රට තිබුණේ කොහොමද කියලා. රජයේ නිලධාරීන්ට තමන්ගේ ආත්ම ගරුත්වය තියා ගෙන වැඩ කරන්න බැරි වුණා. අද ඒ අයට ඒවා අමතක වී ඇති බව තිබෙනවා.”

මාතෘකා