රටේ මිනිස්සුන්ගෙන් සල්ලි ගත්ත උන් අද හොඳ වෙලා

 ඡායාරූපය:

රටේ මිනිස්සුන්ගෙන් සල්ලි ගත්ත උන් අද හොඳ වෙලා

- අමාත්‍ය හරීන් ප්‍රනන්දු

රාජ්‍ය දේපල කොල්ල කෑ හොරුන්ට දඩුවම් හිමිවිය යුතු බවත් මේ වන විට සියල්ලන්ටම ජනතා මුදල් සොරා කෑ අය නිර්දෝෂී වී ඇති බවත් අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබාගත්ත පුද්ගලයන් පමණක් හොරු බවට පත් වී ඇති බවත් විදුලි සන්දේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ඊයේ (12) පැවති මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් අමාත්‍යවරයා බව සඳහන් කර ඇත.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ පැවසීය.

අද ලංකාවේ ජනතාවට නොතේරෙන දෙයක් තියෙනවා. ඒක තමයි ලංකාවේ පරිණත ප්‍රජාතන්ත්‍රවාදය කියලා තියෙන බව. මේක තමයි ලංකාවේ ගොඩක් කට්ටියට තේරෙන්නේ නැත්තේ. මේ මොකක්ද ඇත්ත කියලා. හැමෝම හිතන්නේ මේක නෝන්ජල් ආණ්ඩුවක් කොන්ද පණ නැති ආණ්ඩුවක් කියලා. ජනාධිපති ෆේස්බුක් එකෙන් ජෝකර් කෙනෙක් හැටියට පාවිච්චි කරනවා. අගමැති රනිල් වික්‍රමසිංහ ෆේස්බුක් එකෙන් ජෝකර් කෙනෙක් විදියට පෙන්නවා. මාධ්‍යයට ඕන විදියට මඩ ගහන්න පුළුවන් වෙලා තියෙනවා. ටී.වී. වලට ඕන විදියට දර්ශන හදලා පෙන්වන්න පුළුවන් වෙලා තියෙනවා. මේක බලන මිනිස්සු හිතනවා මේක මහ නෝන්ජල් ආණ්ඩුවක් කියලා. ඒක තමයි පරිණත ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ. මේ රටේ හැම මාධ්‍යම හඬ ජනාධිපතිද අගමැතිද කියලා නෑ. ඕන කෙනෙකුට ඕන විදියට විවේචනය කිරීමට හැකියාව නිර්මාණය වෙලා තියෙනවා.

2015 ජනවාරි 08 වනදා තමයි මේ තත්වය නිර්මාණය වුණේ. නීති 02 ක් තිබුනා. ඉස්සර අතේ නීතිය දැන් පොතේ නීතිය තිබුනා. අතේ නීතිය කියන්නේ ඉස්සර යූ.එන්.පී. කාරයෙක් යම් ප්‍රශ්නයට මුහුණ දුන්නොත් DIG ට කථා කරලා විමල් වීරවංශලා කියන්නේ ආ කථා කරනවා කියලා. DIG ලා බයට කථා කරනවා. ඒ කථා කරන්නේ ගෝඨාබය. DIG ගේ තොප්පියත් ගලවනවා ඒ කාලේ මිනිස්සු. ඒ කාලේ තිබුණේ අතේ නීතිය. දැන් තියෙන්නේ පොතේ නීතිය. අපි අතේ නීතිය අරන් නෑ. අපි පොතේ නීතියයි දීලා තියෙන්නේ. උසාවි ඇරලා තියෙනවා. උසාවියේ නීතියේ හැටියට කටයුතු කරන්න. නඩු විභාග වෙන්න කල් යනවා. එදාට මාධ්‍යෙකරුවන් කැමරා අරන් ගියාම ඡායාරෑප අරන් තවත් දවසක එන්න වෙනවා. ඒක තමයි අද තියෙන මාධ්‍ය සංදර්ශන, අතේ නීතියයි පොතේ නීතියයි කියලා. අතේ නීතිය වැඩ කරනවා. පොතේ නීතිය කල් යනවා. පොතේ නීතිය ක්‍රියාත්මක කරන්න අපි පාර්ලිමේන්තුවෙන් සම්මත කරගෙන අලුත් උසාවි පිහිටුවලා තියෙනවා. ඒවා ආරම්භ වුණාම ඒවා ක්‍රියාත්මක වෙන විදිය බලාගන්න පුළුවන්. කල් ගිහිල්ලා හරි ලෙඩා මලත් බඩ සුද්ද වුණා වගෙයි මම කියන්නේ.

රාජ්‍ය දේපල කොල්ල කෑ හොරු ටික ඇතුලට යනවා නම් හොඳයි. අද ලංකාවේ කට්ටියට ලොකුම හොරු වෙලා තියෙන්නේ මේ ඇලෝසියස්ගේ සල්ලි ගත්ත අය තමයි. ඇලෝසියස්ගේ සල්ලි ගත්ත උන් හොරු වෙලා . රටේ මිනිස්සුන්ගේ සල්ලි ගත්ත උන් හොඳ වෙලා. ඒක තමයි තියෙන ජෝක් එක. දැන් රටේ මිනිස්සුන්ට අමතක වෙලා අපේ පොකට් එකට ගහපු උන් ගැන. කවුද 118 කවුද 160 කියලා. ඇලෝසියස්ගෙන් සල්ලි ගන්න හැදුවේ කියලා? රටේ ජනතාවගේ සල්ලි ගත්ත උන් අද මාධ්‍ය ඉස්සරහට ඇවිත් ලස්සනට නිවුස් හදලා ඒවා අමතක කරලා අහිංසක මිනිසුන් රවට්ටලා ගහන ගේම් එකක්. ගේම් එකේ ප්‍රධාන තොරතුරු ටික හංගලා පොඩි හාල් මැස්සෝ මේ ඡන්දෙට සල්ලි ඇලෝසියස්ගෙන් හම්බුනා කියලා පෙන්වලා රටේ මාතෘකාවක් බවට පත් කරලා.

හරියට නාට්‍යයක සටන් ජවනිකාවක් පෙන්වනවා වගේ. ලස්සන ජවනිකාවක් හදලා තියෙනවා. ඒකේ තවත් එකක් තමයි සිකුරාදා පලවන උම්බෑ මේ පත්තරයේ ප්‍රධාන කතෘ පරණ ආණ්ඩුවේ ලේක්හවුස් ආයතනයේ හිටපු සභාපතිවරයෙක්. අපි කියන්නේ උම්බෑ කියලා හොර පත්තරේකින් ගහලා මඩ ගහන්න උත්සහ කළාට ඒවාට අපි බය නෑ කියලා. අපි බලන්න ඕන මේ පත්තරේට සල්ලි වියදම් කරන්නේ කවුද කියලා. අපට ආරංචි නුවර පැත්තේ එක්කෙනෙක් ගෝඨා - භයට සම්බන්ධ කෙනෙක් කියලා. මේ පත්තරේ ගහල තියෙන්නේ මාෆියාවක් ක්‍රියාත්මක කරන්න. ලැජ්ජා නැති දේශපාලන වහල්ලු බවට පත් කරන්න උත්සහ කරනවා. අතේ නීතිය පොතේ නීතිය කියන යුගයක් අපි ආයෙත් වහල් කාලයට යනවද නැත්නම් නිදහසේ ලියන්න පුළුවන් විදියට පත්තරයක් සකස් කරනවාද? වෙනස්කම් කළ යුතු තැන් වෙනස්කම් කළ යුතුයි.

අද වෘත්තීය සමිති පාරට බැහැලා හැමතැනම උද්ඝෝෂණය කරනවා. එහෙම උද්ඝෝෂණ කරන්න පුළුවන් වෙලා තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ඇති විටයි. උද්ඝෝෂණ කරන්න බෑ ප්‍රජාතන්ත්‍රවාදය නැත්නම්. මිනිසුන්ට පාරට බහින්න දෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය වර්තමානය තුළ පවතින නිසයි. හැබැයි මහජනතාවට කරදර නිසා උද්ඝෝෂණවලට යම් යම් සීමා පනවලා තියෙනවා. එහෙම නැත්නම් පාසල් යන දරුවන්ට රැකියාවලට යන දරුවන්ට අවහිරතා ඇති වන නිසා ඒවා වලක්වා ගැනීමට යම් පියවර ගැනීමට අපට සිදු වනවා.

මාතෘකා

 
 
 
රටේ අපරාධ රැල්ල අඩු කිරීමට කළ යුත්තේ ?