විදෙස් ශ්‍රමිකයන්ගේ බලාපොරොත්තු ඉටු කරනවා

 ඡායාරූපය:

විදෙස් ශ්‍රමිකයන්ගේ බලාපොරොත්තු ඉටු කරනවා

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන

රටේ ප්‍රධාන විදේශ විනිමය උපයන පිරිස වන්නේ විදෙස්ගත ශ්‍රමිකයින් බවත් ඔවුන්ගේ සුබසාධනය, යහපත් මානසිකත්වය හා බලාපොරොත්තු ඉටුකිරීම රජයක් විදියට ඉටුකළයුතු සේවාවක් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගියදා (09) ප්‍රකාශ කළේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඌව පළාත් කාර්යාලය හා සම්පත් මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවයට එක්වෙමිනි.

“විදේශ රැකියා නියුක්ති කාර්යාංශය සිය සේවාවේ තවත් ඉතාමත් වැදගත් පියවරක් සනිටුහන් කරමින් ඌව පළාත් පුහුණු මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට ඔබ සමඟ එක්වීමට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා. ගරු ඩිලාන් පෙරේරා මන්ත්‍රීතුමා අමාත්‍යවරයෙක් වශයෙන් සිටි කාලය තුළ මේ ගොඩනැගිල්ලට අවශ්‍ය මුදල් වෙන් කොට ඉදිකිරීමේ කටයුතු ආරම්භ කළා. එය එක් පැත්තකින් ඇමතිතුමා දැකපු සිහිනයක් වගේම ඌව පළාතේ විදේශ රැකියා සඳහා යන සියලු දෙනාගේ බලාපොරොත්තු ඉටුකර ගැනීමේ සිහිනය සැබෑ කරන මධ්‍යස්ථානයක්. හරීන් ප්‍රනාන්දු අමාත්‍යතුමා අප සියලු දෙනාම එකතු කරගෙන සිය අමාත්‍යාංශයේ ප්‍රධාන වගකීමක් වශයෙන් මේ කාර්යය ඉටුකර තිබෙනවා.

කවුරුත් දන්නා පරිදි මේ රටේ විදේශ වත්කම් වැඩිකරන අපට විශාල ආදායමක් ලබාදෙන ප්‍රධාන ශ්‍රමික පිරිස විදියට විදේශගත ශ්‍රමිකයින් හඳුන්වාදිය හැකියි. එමෙන්ම දැනුම උපයෝගි කරගනිමින් විදේශ සේවයේ නිරත විවිධ වෘත්තිකයන් අපේ රටට විශාල වශයෙන් ආදායම් ලබා දෙනවා. ඔවුන්ගේ සුබසාධනය, ඔවුන්ගේ බලාපොරොත්තු ඔවුන්ට යහපත් මානසික තත්ත්වයකින් ඒ ඒ ස්ථානවල සේවය කිරීමට පසුබිම ගොඩනැගීම අප රජයක් විදියට ඉටු කළ යුතු වගකීමක්. යම් පුද්ගලයෙකුට ඔහු විසින් කරන්නාවූ කාර්යය තෘප්තිමත් මනසකින්, නිදහස් මනසකින් නිදහසේ කිරීමේ හැකියාව හා පසුබිම තිබිය යුතුයි.

විදේශයන්හි රැකියාවට යන සෑම කෙනෙක්ම තමාගේ බිරිඳ තමාගේ ස්වාමියා, දරුවන්, දෙමව්පියන්, ඥාතීන් පිළිබඳව නිතර සොයා බලනවා. ඒ මානුෂිකත්වය යහපත් මිනිසෙකුට පිහිටන උතුම් ලක්ෂණයක්, ගුණයක්. මේ ආයතනය තුළින් සැම විටම ඒ සේවය ලබා දීමට අවශ්‍ය පසුබිම සකසනවා වගේම නිදහස්, තෘප්තිමත් මනසකින් එම සේවය ඉටු කිරීම සඳහා අවශ්‍ය පසුබිම සැමවිටම ගොඩනැගිය යුතුයි.

මම ලෝකයේ රටවල්වල සිදුකළ නිල සංචාරවලදී, රාජ්‍ය නායකයින් හමුවූ සෑම අවස්ථාවකම රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයින් හමුවූ සෑම වේලාවෙම විදේශ සේවාවේ තිබෙන ගැටලු, අභියෝග, පහසුකම් පිළිබඳව සොයා බලනවා. මේ සේවා තත්ත්වයන් වර්ධනය කර ගැනීමට, ගුණාත්මක සේවයක් ලබා ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කර ගැනීමට සාකච්ඡා කරනවා. අපේ රටේ ආර්ථීකය පිළිබඳව බලවත් ශක්තිමත් පදනමක් ඇති කරන සේවාවක් වගේම තවත් පැත්තකින් ජාත්‍යන්තර සබඳතා ශක්තිමත් කරමින් ඒ තුළ මුදලින් මිල කළ නොහැකි සුවිශේෂ කාර්යභාරයක් ඔවුන්ගෙන් සිදුවෙනවා.

පසුගිය අවුරුදු තිහක් තිස් පහක් පිළිබඳව කතා කළ විට මේ ක්ෂේත්‍රයේ සේවය කරන ශ්‍රමිකයින්ගේ විවිධ ගැටලු සහ ප්‍රශ්නවලදී සෑම රජයක්ම යම් යම් වැදගත් පියවර රාශියක් ගත්තා. නමුත් ඇතැම් ප්‍රශ්න තවමත් නොවිසදී තිබෙන බව අපි දන්නවා. විදේශයන්හි සේවය කරන ගෘහ සේවිකාවන් එමෙන්ම වෙනත් විවිධ වෘත්තීන්හි සිටින අයට බලපාන නොයෙකුත් ගැටලු, ප්‍රශ්න වගේම යම් දුෂ්කරතාවලදී තානාපති අංශ පෙන්වන දුර්වලතා විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ තිබෙන යම් යම් අඩුපාඩුකම් තවමත් සුලබව වාර්තා වන බව අපට අමතක කළ නොහැකියි. රජය ක්‍රියාත්මක කරන යහපත් රාජ්‍ය ප්‍රතිපත්ති සහ සැලසුම් ක්‍රියාත්මක කරන වගකිව යුත්තන් එය වඩාත් නිවැරදිව ඵලදායී ලෙස මෙන්ම විධිමත්ව ඉටු කරන්නේ නම් පමණයි, ඉලක්ක සම්පූර්ණ කරගැනීමට පුළුවන්කම තිබෙන්නේ. ඒ වගකීම් දරන අයත් සිය වගකීම් මෙන්ම යුතුකම් පිළිබඳව මනා අවබෝධයකින් කටයුතු කිරීම අවශ්‍යයි වගේම, ඒ සඳහා සිය හෘද සාක්ෂියේ එකඟතාව ඉතාමත් අවශ්‍ය බව අප කවුරුත් දන්නවා.

මේ සේවාවල සිටින අය සමඟ කටයුතු කිරීමේදී, ඔවුන් යන්ත්‍ර සූත්‍ර නොවේ. ගස් ගල් නොවේ. ඒ සෑම කෙනෙක්ම මිනිස්සු. අධි තාක්ෂණික ලෝකය කොතරම් දියුණු වූවත් ඒ සියල්ලටම වඩා ඉහළින් මනුෂ්‍යත්වය තිබෙන්නේ. අනෙක් සියලු දේවල් ඊට පහළින් තිබෙන්නේ. මනුෂ්‍යත්වය තුළ, සිය හෘද සාක්ෂිය තුළ වගකීම් දරන අය මිනිසුන් පිළිබඳව සොයා බැලීමේදී සැමවිටම ඒ මනුෂ්‍යත්වය ඉහළින් තැබීම අවශ්‍යයි. පසුගිය අවුරුදු විසිපහක් තිස්සේ මම දැක තිබෙනවා, විදේශයන්හි සේවය කරන අය එවන ලිපිවල ඔවුන්ගේ දුක් ගැනවිලි පිළිබඳව. ඒවායේ යම් අඩුවීමක් තිබුණත් තවමත් එවැනි තත්ත්වයන් වාර්තාවන බව අප සෑම කෙනෙක්ම දන්නවා.

මේ ලස්සන, සුන්දර පරිසරයක මේ වටිනා ගොඩනැගිල්ල තුළ මනුෂ්‍යත්වයේ සැබෑ සුන්දරත්වය සහ අර්ථය ඉෂ්ට වන ගුණාත්මක සේවාවක් වර්ධනය විය යුතුයි. පිළිබිඹු විය යුතුයි. එය විකාශය විය යුතුයි. එයයි වැදගත් වන්නේ. ගොඩනැගිල්ල කොතරම් ලස්සන වූවත්, පරිසරය කොතරම් ලස්සන වූවත්, ඒ සුන්දරත්වය එම වෘත්තියේ සිටින අයගේ දරු පවුල්වලට මානුෂීය වශයෙන් ඉටු කිරීමට අපට නොහැකි නම් අපි අපොහොසත් නම්, අපේ වගකීම පිළිබඳව යම් ප්‍රශ්නයක් තිඛෙනවා. රට තුළ ජීවත්වන කෙනෙකුට ගැටලුවක් ඇති වුවහොත් ඒ ගැන සොයා බලන්නට ඔහුගේ ඥාතීන්ට පුළුවන්කම තිබෙනවා. නමුත් විදේශයන්හි සේවය කරන්නට කටුනායකයින් ගුවනට එක්වූ අවස්ථාවේ සිට නැවත දකින තුරු නැවත කටහඬ ඇසෙන තුරු නැවත ඔහුගේ රූපය දකිනකම් ඔහු සිටින්නේ කොතනද කියා නිවැරදි තොරතුරු ලැඛෙනකල් ඒ සියලු දෙමව්පියන් ද දරුවන් ද භාරකරුවන් ද අසරණ වන්නේ කෙසේද කියා අප කවුරුත් දන්නවා. ඒ නිසා මෙය ඉතා ගරු කටයුතු දෙයක්. යහපත් බව මනුෂ්‍යත්වය තුළ කෙරෙන්නාවූ කාර්යයක්. ආධ්‍යාත්මික කාර්යයක් මේ ආයතන තුළ සිදුකරන්නේ. සෘජුව පෙනෙන දේට වඩා ළඟ දකින දේට වඩා ඊට එහා ගිය දෙයක් අප විසින් ඉටු කළ යුතු වෙන්නේ.

මේ නව ගොඩනැගිල්ල ඌව පළාතේ සේවාවන්වලට වගේම ජාතික වශයෙන් ගත් විට මේ සේවාවන්වල ඉතාමත් වැදගත් මධ්‍යස්ථානයක්. මෙම මධ්‍යස්ථානය මේ ස්ථානයෙහි ඉදිකිරීමට කටයුතු කළ උනන්දු වූ හිටපු අමාත්‍ය ඩිලාන් පෙරේරා මැතිතුමාටත් එවකට සිටි කාර්යය මණ්ඩලයටත් විශේෂයෙන් ස්තූතිවන්ත වෙනවා. අද මේ කටයුත්ත විධිමත්ව සැලසුම් කළ තරුණ ඇමතිවරයෙක් වන හරීන් ප්‍රනාන්දු ඇමතිතුමාත් එතුමාගේ කාර්යය මණ්ඩලයටත් නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර මැතිතුමා ඇතුළු යෞවනත්වයේ දක්ෂතාවයන්, සිතුම් පැතුම් සමග නව ලෝකය හඳුනාගෙන නව දැනුම, නව තාක්ෂණය සමඟ බලාපොරොත්තු වන යහපත් සංවර්ධනය, ළගා කරගැනීම වෙනුවෙන් ඔබ සෑම කෙනෙක්ම ගන්නාවූ උත්සාහය, කැපවීම මා ඉතාමත් අගය කරනවා යැයි ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.

[අසේල ලියනගේ]

මාතෘකා

 
 
 
රටේ අපරාධ රැල්ල අඩු කිරීමට කළ යුත්තේ ?