එළවළු සහ පළතුරු තොග විනාශය වැළැක්වීමට ගබඩා පහසුකම් ලබාදෙනවා

 ඡායාරූපය:

එළවළු සහ පළතුරු තොග විනාශය වැළැක්වීමට ගබඩා පහසුකම් ලබාදෙනවා

- අගමැති රනිල් වික්‍රමසිංහ

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සිදුවන එළවළු සහ පලතුරු විනාශය වැලැක්වීම සඳහා මෙට්‍රික් ටොන් 5000 ක් ගබඩා කිරීමට හැකි අංගසම්පූර්ණ ගබඩාවක් ඉදිකර ගොවීන්ගේ ගැටලු විසඳා ඉදිරියේදී මෙරටට ආවේණික බෝග වගා කිරීමේ ව්‍යාපෘති කීපයක් මේ වන විට දිවයින පුරා ආරම්භ කර ඇති බවත් ඒ තුළින් ආර්ථිකයට විශාල අත්වැලක් සැපයීමට හැකි බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (09) ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් පැවසීය.

“දඹුල්ලේ නව ගබඩා සංකීර්ණයක් ඉදිකිරීමට මගේ අමාත්‍යංශය යටතේ රාජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා ඇමැතිතුමා කටයුතු කරමින් සිටිනවා. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට යාබදව ඇති භූමියක් ඒ සඳහා ලැබී තිබෙනවා. මෙට්‍රික් ටොන් 5000 ක එළවළු සහ පලතුරු ගබඩා කිරීමට හැකි ගබඩාවක් අප එහි ඉදිරියේදී ඉදිකරනවා. අප එම ගබඩා සංකීර්ණය ඔබට ලබාදෙන්නේ ශීතකරණ ආදී නොයෙකුත් පහසුකම් ඇතිවයි. එම නිසා එළවළු, පළතුරු තවදුරටත් කුණු ගොඩට දැමීමට සිදු වන්නේ නැහැ. ඒ සඳහා ඉන්දීය රජයෙන් ආධාර ලැබෙනවා. ශ්‍රී ලංකාවේ ගබඩා සංකීර්ණ පාලනය කිරීමට පළපුරුද්දක් ඇති සමාගම් නොමැති නිසා එහි කළමනාකාරීත්වය ඉන්දීය සමාගමකට භාර දෙනවා.

මේ සඳහා ශ්‍රී ලංකාවේ කාගිල්ස්, කීල්ස් ආදී සමාගම් සම්බන්ධ කරගන්නවා. එම නිසා අස්වනු සහ භෝගවලට නිශ්චිත මිලක් ලැබෙන වැඩසටහනක් අප ක්‍රියාත්මක කළ යුතුයි. මේ අප ආරම්භ කර තිබෙන්නේ එහි පළමු අදියර පමණයි. එහි දෙවන අදියරේ මෙම ගබඩා සංකීර්ණයන් සමග සම්බන්ධ වන ග්‍රාමීය මාර්ග පද්ධතිය අලුත්වැඩියා කරනවා. මාර්ගවල ඇති අපහසුතා නිසා ප්‍රවාහනයට බාධා එල්ල වනවා. එවිට බෝගවලට හානි සිදු වෙනවා. නමුත් ඊට පිළියමක් ලෙස ඉදිරි වසර කිහිපයේදී ගබඩා සංකීර්ණයට සම්බන්ධ මහා මාර්ග පද්ධතියක් ඇති කිරීමට අප බලාපොරොත්තු වෙනවා. අස්වනු ප්‍රවාහනය කිරීමේදී විවිධ ගැටලු ඇති වෙනවා. එම නිසා භෝග ප්‍රවාහනයට අවශ්‍ය ප්ලාස්ටික් පෙට්ටි ආදී පහසුකම් ලබාදීමටත් අප ක්‍රියා කරනවා.

එවිට ප්‍රවාහනයේදී භෝගවලට සිදුවන හානිය අවම වනවා. භෝග මිලදී ගැනීම වර්ධනය වනවා. එවැනි අලුත්

වැඩ සටහනක් මේ ප්‍රදේශය වෙනුවෙන් අප ආරම්භ කරනවා. භෝග අලෙවියෙන් ලැබෙන ආදායම වර්ධනය කිරීම අපේ අරමුණයි. එම සමාගම් සමග එක්වී ගොවි මහතුන්ගේ නිෂ්පාදන ඉහළ දැමීමට, තරඟකාරීත්වය ඉහළ දැමීමට අවශ්‍ය තාක්‍ෂණික දැනුම ලබාදීමටත් අප කටයුතු කරනවා. එසේ නම් ඉදිරියේදී භෝග මිලදී ගැනීමේ සහ ගබඩා කිරීමේ විප්ලවයක් ඇති කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

මෙම වැඩසටහන ඉදිරියේදී වෙනත් ප්‍රදේශවලත් ආරම්භ කිරීමත් අපේ බලාපොරොත්තවයි. දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැව් ප්‍රතිසංස්කරණය කිරීම, වාරි මාර්ග, ඉදිකිරීම, ඉඩම් ලබාදීම, වගා කිරීම, භෝග ලබාගැනීම ආදී වැඩකටයුතු රාශියක් සිදු වෙමින් පවතිනවා. තවමත් අපට සිදු කිරීම නොහැකි වූයේ මිල තත්ත්වය ගැන නිශ්චිත තීරණයක් ගැනීම පමණයි. අප එයත් ඉදිරියේදී සිදු කරනවා.

මෙම ගබඩා සංකීර්ණය ඉදිකිරීමේ පළමු අදියර ලෙස ඉදිරි සතියේදී අදාළ පාර්ශ්ව මුණගැසීමටත්, නාගරික සංවර්ධන අධිකාරිය සමග සාකච්ඡා කර එම අදාළ ඉඩම ලබාගැනීමටත් එකඟව ඇති බව හර්ෂ ද සිල්වා ඇමැතිතුමා මා සමග පැවසුවා. මේ අප ක්‍රියාත්මක කරන එක් විශාල වැඩසටහනක්. මෙවැනි වැඩසටහන් ගණනාවක් අපේ රජය සතු වෙනවා. සමෘද්ධි ලාභීන් සංඛ්‍යාව වැඩි කිරීමටත් අප කටයුතු කරනවා. සමෘද්ධි ලාභීන් තෝරා ගැනීමේදී සිදුවන අක්‍රමිකතා පිළිබඳව අපට ඇතැම් ප්‍රදේශවලින් වාර්තා වුණා. එම නිසා ඒ වෙනුවෙන් වගකීමෙන් කටයුතු කරන්න යැයි මම විෂයභාර ඇමැතිතුමාට පැවසුවා. එම වැඩකටයුතු ශීඝ්‍රයෙන් ඉටුකළ යුතු නිසා ඊට අවශ්‍ය නිලධාරීන් සංඛ්‍යාවද වැඩි කිරීමට අප තීරණය කළා.

මගේ අමාත්‍යංශයේත්, සමෘද්ධි අමාත්‍යංශයේත්, සමෘද්ධි අධ්‍යක්‍ෂ ජනරාල්තුමා සහ මුදල් අමාත්‍යංශයේ නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් මම පත් කළා. එම කමිටුව හරහා සමෘද්ධි බැංකුව මීටත් වඩා ශක්තිමත් කිරීම පිළිබඳව මට වාර්තා ලබාදෙනවා. ඊට ඇතැමුන් විරෝධය දක්වනවා. නමුත් ගමේ අඩු ආදායම් ලාභීන්ට ලබාදෙන ණය මුදල තවත් වැඩි කිරීමට හැකියාව ඇති බැංකුවක් බවට සමෘද්ධි බැංකුව පත් කිරීමට අවශ්‍ය පියවර අප ගනිමින් සිටිනවා.

බස්නාහිර පළාතේ කර්මාන්ත දියුණුව ඇති වන විට පොල්, රබර් ගස් කැපෙනවා. එම නිසා රජරට සහ උතුරු කලාපයේ පොල් අක්කර 15,000 ක් වගා කිරීමට අප සාකච්ඡා කර තිබෙනවා. වව්නියාව මාන්කුළම ප්‍රදේශයේ අක්කර 10,000 ක්

පමණ ඒ සඳහා ලබාගැනීමට අප බලාපොරොත්තු වෙනවා. නවීන් දිසානායක ඇමැතිතුමා එම කටයුතු ඉදිරියට කර ගෙන යනවා. ඒ වගේම මොණරාගල සහ මාතලේ ඇතැම් ප්‍රදේශවලත් රබර් වගා කිරීම පිළිබඳව එතුමා සැලසුම් සකස් කරමින් යනවා.

මගේ අමාත්‍යංශය යටතේ නුවර, මාතලේ, ඇල්කඩුව, කුරුණෑගල ආදී ප්‍රදේශවල කොකෝවා වගාව දියුණු කිරීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරනවා. ගමේ ආර්ථිකය ශක්තිමත් කිරීමට අප එවැනි වැඩසටහන් රාශියක් ආරම්භ කර තිබෙනවා. චොකලට් නිෂ්පාදකයින් එම කෝකෝවා මිලදී ගැනීමට සූදානම් බව මේ වන විට පවසා තිබෙනවා. ඒ වගේම පොල්, රබර් පිළිබඳව ද කිසිදු ගැටලුවක් ඇතිවන්නේ නැහැ. තම අස්වනු හරහා ජනතාවට වැඩි වශයෙන් මුදල් ලබා ගත හැකි ආකාරයට අප ආර්ථික වැඩසටහන ක්‍රියාත්මක කරනවා”.

මාතෘකා

 
 
 
රටේ අපරාධ රැල්ල අඩු කිරීමට කළ යුත්තේ ?