විභාගය මෙන්ම ජීවිතය සමත්වීමේ අභියෝගය ජයගත යුතුයි

 ඡායාරූපය:

විභාගය මෙන්ම ජීවිතය සමත්වීමේ අභියෝගය ජයගත යුතුයි

- ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන

විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පවතින අමානුෂික නවකවදය පිටුදැකීමට වගකිවයුතු සියලු පාර්ශ්ව එක්ව පොදු වැඩපිළිවෙළකට කඩිනමින් අවතීර්ණ විය යුතු බවත් සදාචාරවත් නොවූ අමානුෂික නවකවදය හේතුවෙන් පසුගිය වසර කිහිපය තුළ මෙරට විශ්වවිද්‍යාල සිසුන්ට අමිහිරි අත්දැකීම් රැසකට මුහුණදීමට සිදුවන නිසා හෙට දවසේ රට භාරගැනීමට සිටින දරු පරපුරට එල්ල වී ඇති මෙම අභියෝගයට කඩිනම් විසඳුම් ලබාදීමට කටයුතු කරන බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගියදා (08) බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේ නව තෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදීමේ අවස්ථාවට එක්වෙමින් පැවසීය.

“සෑම ආණ්ඩුවක්ම මේ රටේ නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කරන්න විශාල වැඩකොටසක් කරලා තිබෙනවා. මධ්‍ය මහා විද්‍යාල ආදි ශිෂ්‍ය සංගමය විසින් පසුගිය දිනවල ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මැතිතුමාගේ ප්‍රතිමාවක් හැදුවා. එම ප්‍රතිමාව තවම විවෘත කළේ නැහැ. නිදහස් අධ්‍යාපනය රටට හඳුන්වාදුන්

සී. ඩබ්ලිව්. ඩබ්ලිව් කන්නන්ගර මැතිතුමා පිළිබඳව අප සියලුදෙනා තුළ තිබෙන්නේ මහත් වූ ගෞරවයක්. පාසල්වල එතුමාගේ පිළිරුවක්, ඡායාරූපයක් හෝ එතුමාගේ නමින් ගොඩනැගිලි නම් කර තිබෙනවා. අද එහෙම සැලකුවත් රාජ්‍ය මන්ත්‍රණ සභාවේ නිදහස් අධ්‍යාපන පනත සම්මත කරලා ඊළඟ මැතිවරණයට ගියාම සී. ඩබ්ලිව්. ඩබ්ලිව් කන්නන්ගර මැතිතුමාව ඡන්දයෙන් පරාජය කරලා ගෙදර ඇරියා. ඊට පසුව තමයි රටේ ජනතාවට තේරුණේ එතුමා කෙතරම් වටිනා කෙනෙක්ද කියලා.

වර්තමානයේ විශ්වවිද්‍යාලවල නවක සිසු දරුවන්ට විඳින්නට සිදුවී තිබෙන අමානුෂික නවක වදය පිළිබඳව ඔබ දැනුවත් ඇති. විශ්වවිද්‍යාල නවක වදය අද ඊයේ දෙයක් නෙවෙයි. එයට බොහෝම දීර්ඝ ඉතිහාසයක් තියෙන්නේ. ඇතැම් විට නවක වදය නවතිනවා. ඇතැම් විට වැඩි වෙනවා. නමුත් අද තත්ත්වය ඉතාම අමානුෂිකයි. ඉතාම හිංසාවාදියි. මේවා දරුවන්ට පුහුණු කරන්නේ කවුද? පාසල්වල ගුරුවරුන්ද? දරුවන්ගේ දෙමව්පියන්ද? විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුද?

පසුගිය මාස දෙකේ තුනේ නවක විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට දුන්න නවකවදය දැඩි අමානුෂිකයි. නින්දා සහගතයි. ම්ලේච්ඡයි. මට ඕන කෙනෙක් ඕන දෙයක් කියපුවාවේ. ඕන නිවේදනයක් නිකුත් කරපුවාවේ. නවක ශිෂ්‍යයෝ නේවාසිකාගාරවල රෑට නිදා ගත්තහම එතනට පැමිණ කරන්න තිබෙන හිරිහැර සියල්ලම කරනවා. ඔළු පැලෙන්න ගහනවා. අත පය කඩනවා. නිරුවත් කරලා වද දෙනවා. පසුගිය දවස් දෙක තුනේ මාධ්‍ය තුළ දකින්න ඇති. මාධ්‍යයේ පෙන්වන්න පුළුවන් ඒවා පෙන්නුවා. මේ ම්ලේච්ඡත්වය මේ උගත් දරුවන්ට කවුද දෙන්නේ. විශ්වවිද්‍යාලයට යන්නේ අහිංසක සුන්දර දරුවන්. ඒ දරුවන්ගේ බලාපොරොත්තු අසීමිතයි. තමන් ගැන, දෙමව්පියන් ගැන, ලෝකය ගැන, මානව සමාජය ගැන, තමාගේ මාතෘභූමිය ගැන. කවුද මේ වධහිංසා කරන්නේ. මේ දේවල් කරන්නේ මීට අවුරුදු දෙක තුනකට කලින් නවක ශිෂ්‍යයෝ විදියට විශ්වවිද්‍යාලවලට ඇතුළත් වුණු මේ වගේම දරුවන්ගෙන් කොටසක් නේද? ඒ පිටිපස්සේ ඉන්නේ කවුද? ඒ තමයි ම්ලේච්ඡත්වයෙන් නිහීන වූ දේශපාලනය. දේශපාලන බලය සඳහා ශිෂ්‍ය සංගම් තම දේශපාලන බලයට නතු කර ගැනීමට ශිෂ්‍යයින් පොළඹවා ගැනීමට කරන දෙයක් මේ. මේක ශිෂ්‍ය ත්‍රස්තවාදය. මට ඕන කෙනෙක් බැණපුවාවේ. මම ඇත්ත කියපුවහම තමයි මට හුඟක් අය බනින්නේ. මම මේ ඇත්ත කියන්නේ.

පසුගිය අවුරුදු තිහක පමණ කාලය තුළ ඉඳලා විශ්වවිද්‍යාල අධ්‍යාපනයට ගිය දරුවෝ කීදෙනෙක් නම් සියදිවි නසා ගත්තද? අංගවිකල වුණාද? මානසික රෝගීන් වුණාද? සාධාරණ විදියට විනෝදයක් විදියට පිළිගැනීමක් විදියට සදාචාරාත්මකව නවක වදය දුන්නට කමක් නැහැ. ඒකේ කිසි වැරැද්දක් නැහැ. නමුත් මේ අමානුෂිකභාවය වැරදියි. මේ අය නේද රට භාර ගන්න ඉන්නේ. අද මේ පාසලේ ඒ 9 ක් අරගෙන ඉන්න දරුවෝ 92 දෙනා අතරින් කීදෙනෙක් අනාගතයේ මේ කොයි ගොඩට එකතු වෙයිද කියලා අපට කියන්න බැහැ. මේ දේවල්වලින් පරිස්සම් වෙන්නේ කොහොමද? ගැලවෙන්නේ කොහොමද? මම දැක්කා විශ්වවිද්‍යාල උපකුලපතිවරුයි උසස් අධ්‍යාපන ඇමතිතුමයි තමන්ට හිරිහැර වෙනවා නම් වහාම දන්වන්න කියලා අලුතින් ක්‍රමයක් හඳුන්වා දීලා තිබෙනවා. ඒ ගැන දැනුම් දෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිළිබඳව අදාළ පාර්ශ්ව දැනගත්තොත් ඒ දන්වපු ශිෂ්‍යයාගේ ජීවිතයත් අවදානමේ. ඒක තමයි ශෝචනීය තත්ත්වය. ඒ නිසා අපි සියලුදෙනාම අනාගතය භාරගන්න ඉන්න මේ පින්වන්ත දරුවන්ට අනාගතයේ මුහුණ දීමට තිබෙන අභියෝග පිළිබඳව පොදු සාමුහික වගකීමකින් කටයුතු කිරීම අවශ්‍ය වෙනවා. හිරිහැරයට ලක්වන දරුවෝ ආචාර්ය මණ්ඩලවලට පැමිණිලි කරන්නේ නැහැ. පොලීසියට පැමිණිලි කරන්නේ නැහැ. නමුත් තමාගේ දේශපාලන සංවිධාන තුළ රඳවා ගැනීම සඳහා වෙනත් සංවිධානවලට යාම වැළැක්වීම සඳහා දරුවන් බිය ගන්වන්න මානසික රෝගීන් කරන්න අංගවිකලයින් ආබාධිතයින් කරන්න ඇතැම් විට ජීවිතයක් අහිමි කරන්න කරන මෙම පහත් ක්‍රියාවලට රජයක් විදියට අපත්, දෙමව්පියන්, දරුවන් හා මේ රටේ ගුරු පරපුර මීට මුහුණ දෙන්න ඕනෑ.

දරුවෙක් විශ්වවිද්‍යාලයට ගිහිල්ලා සතුටින් තමන්ගේ අධ්‍යාපන කටයුතු කර ගන්න පරිසරය හැදුණු දවසට තමයි අපිට සතුටු වෙන්න පුළුවන් වෙන්නේ. එම කණ්ඩායම්වලින් එන අය තමයි වෛද්‍යවරු, ඉංජිනේරුවරු විදියට වගේම වෙනත් ක්ෂේත්‍රවලට යන්නේ. නමුත් ඒ වගේ හැසිරීම් තිබෙන අය මොන විදියේ වෘත්තියකට ගියත් මේ රටට දෙයියන්ගේ පිහිටයි කියලා තමයි මට කියන්න තිබෙන්නේ. ඒ නිසා යහපත් සමාජයක් ගොඩනගන්න තාක්ෂණය නිවැරදිව භාවිත කරන්න. මේ අයහපත් දේවල් තුරන් කරන්න. සමාජ වගකීම් පිළිබඳව අවබෝධයෙන් කටයුතු කරන්න. අධ්‍යාපන සහතිකයෙන් විභාගය සමත්වීම වගේම ජීවිතය සමත් වීමේ අභියෝගය අපි ජයග්‍රහණය කළ යුතුයි. ඒ අභියෝගයට ආදරය කළ යුතුයි. ඒ එන ප්‍රශ්න අපි ජය ගත යුතු වෙනවා. රජය ගෙනියන වැඩපිළිවෙළ මත මැති ඇමතිවරුන්ගේ විශ්වවිද්‍යාල බලධරයින්ගේ සහෝගයෙන් මේ අමානුෂික තත්ත්වයන් වෙනස් කරන්න ඉදිරිකාලයේදි අපට පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා”.

මාතෘකා

 
 
 
රටේ අපරාධ රැල්ල අඩු කිරීමට කළ යුත්තේ ?