මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ උදා ගම්මාන 2,500ක් ඉදි කිරීමෙන් පසුවයි

 ඡායාරූපය:

මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ උදා ගම්මාන 2,500ක් ඉදි කිරීමෙන් පසුවයි

ඇමති සජිත් ප්‍රේමදාස

වත්මන් යහපාලන රජය ආරම්භ කළ සැමට සෙවණ නිවාස ව්‍යාපෘතිය මගින් දිවයින පුරා ගම්මාන 724 ක වැඩකටයුතු මේ වන විට නිම කර ඇති බවත් 2020 වන විට ගම්මාන 2500ක් ඉදි කර දිවයින පුරා සිටින පැල්පත්වාසීන් සැමට නිවසක් ලබාදෙන බවත් නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පසුගිය (27) දිඹුලාගල, නව මිල්ලාන ප්‍රදේශයේ ඉදි වූ ‘ලෙන්සිතුවම්ගම’ ජනතා අයිතියට පත්කිරීමේ උත්සවයට එක්වෙමින් පැවසීය. අමාත්‍යවරයා එහිදී මෙසේද පැවසීය,

යහපාලන රජය ආරම්භ කළ ‘යළි පිබිදුණු උදා ගම්මාන’ වැඩපිළිවෙළ යටතේ ජනතා අයිතියට පත් වන්නේ 72 වන ආදර්ශ ගම්මානයයි. එමෙන්ම මෙය පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතා අයිතියට පත් කළ පස්වන ආදර්ශ ගම්මානයයි.

“නව නිවාස 25 කින් ‘ලෙන්සිතුවම්ගම’ උදා ගම්මානය සමන්විතයි. මෙම ගම්මානය අංග සම්පූර්ණව ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ 268 ක පමණ මුදලක් වැය කර තිබෙනවා. පිරිසුදු පානීය නළ ජලය, විදුලිය, ප්‍රවේශ මාර්ග හා විධිමත් අභ්‍යන්තර මාර්ග පද්ධතියක් ඇතුළු සියලු යටිතල පහසුකම් වලින් ‘ලෙන්සිතුවම්ගම’ උදා ගම්මානය සමන්විතයි. මෙම ගම්මානය ඉදි කළ ප්‍රදේශය ඉතාම පුණ්‍යවන්ත භූමියක්. අතීතයේ සිටම පර සතුරු උවදුරුවලින් රට බේරාගන්නට මුල්වුණ හිමිවරුන් මෙහි වැඩ සිටියා. එමෙන්ම මෙම ඓතිහාසික ප්‍රදේශයේ එදා විවිධ රජවරු රජකම් කළා.

මෙම ගම්මානයේ සෑම නිවසක්ම කේන්ද්‍ර කර ගනිමින් ජනාධිපති කාර්යය සාධක බළකායන් හතරක් ක්‍රියාත්මක වනවා. පරිසර සංරක්ෂණ වැඩසටහන, ආහාර සුරක්ෂිතතා ගෙවතු වගා වැඩසටහන, වකුගඩු රෝග නිවාරණ වැඩසටහන සහ සෑම නිවසක්ම මත් ද්‍රව්‍යවලින් තොර නිවසක් බවට පත්කිරීමේ මත් ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන එම වැඩසටහන් හතරයි. එමෙන්ම මෙම ගම්මානයේ ජීවත් වන ජනතාවගේ ජිවනෝපාය ශක්තිමත් කිරීමටත් අප දැවැන්ත මෙහෙවරක් ඉටු කරනවා. ඒ හරහා මෙම ජනතාවට සෑම අතින්ම උසස් ජන ජීවිතයක් ගත කිරීමට වටපිටාව සලසා දීම අපගේ අරමුණයි.

ජනතා අයිතියට පත්කරන උදා ගම්මානවල ගෙවතු වගාව දිරි ගැන්වීමට අප මැදිහත් වනවා. අප ඉදි කරන සෑම උදා ගමකම ඔසු උයනක් ස්ථාපනය කරනවා. එමෙන්ම සෑම ගෙවත්තකම ඔසු පැළ වගාව ව්‍යාප්ත කිරීමට කටයුතු කරනවා. පසුව ඒවා ආයුර්වේද සංස්ථාවට අලෙවි කිරීමේ වැඩසටහනක්ද අප ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වනවා. මෙරට දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම සහ දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයට අවශ්‍ය අමුද්‍රව්‍ය පිටරටින් ගෙන්වීම සීමාකිරීම මෙහි අරමුණයි.

අද දවස තුළ තවත් ප්‍රතිලාභීන් රැසකට අප සහන ලබා දෙනවා. පවුල් 25 කට නිවාස අයිතිය හිමිවනවා. ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 200 කට රුපියල් ලක්ෂ 200 ක් වටිනා ‘‘විසිරි නිවාස ණය’’ ලබා දෙනවා. තවත් ප්‍රතිලාභීන් 100 කට රුපියල් ලක්ෂ 200 ක් වටිනා ‘‘සොඳුරු පියස නිවාස ණය’’ ලබා දෙනවා. ‘‘ශිල්ප සවිය’’ වැඩසටහන යටතේ තරුණ තරුණියන් 104 දෙනෙකුට රුපියල් ලක්ෂ 52 ක් වටිනා වෘත්තීය උපකරණ කට්ටල, නිල ඇඳුම් සහ වෘත්තීය පොත් කට්ටල ලබාදෙනවා. එමෙන්ම වකුගඩු රෝගීන් 150 දෙනෙකුට රුපියල් ලක්ෂ 404 ක් වටිනා නිවාස ආධාර ලබාදෙනවා. දෘශ්‍යාබාධ සහිත පුද්ගලයින් 112 දෙනෙකුට රුපියල් 89,600 ක් වටිනා ඇස් කණ්නාඩි ලබා දෙනවා. ‘ලෙන්සිතුවම්ගම’ උදා ගම්මානය ජනතා අයිතියට පත්වීමත් සමඟ පුලතිසිපුර ජනතාවට හිමිවන ප්‍රතිලාභ මේවායි.

අප මේ වන විට සතියට උදා ගම්මාන දෙකක් හෝ තුනක් විවෘත කරමින් සිටිනවා. මේ වන විට දිවයින පුරා උදා ගම්මාන 724 ක කටයුතු ආරම්භ වී තිබෙනවා. අපේ ඉලක්කය වන්නේ වසර 2020 වන විට උදා ගම්මාන 2,500ක් රට පුරා ඉදිකිරීමයි. නමුත් අප එම ඉලක්කය 2019 වසර අග භාගය වන විට අප සම්පූර්ණ කර තිබිය යුතුයි. අපේ ඉලක්කය ජය ගන්නට නම් තව ගම්මාන 1,776 ක් රටේ ඉදි කළ යුතු වනවා. ඒ සඳහා මේ වසරේ තව ගම්මාන 888 ක් සහ ලබන වසරේ ගම්මාන 888 ක් ඉදි කළ යුතුයි. මේ සියල්ල කිරීමට අපට තව ඉතිරිව ඇත්තේ දින 585 ක් පමණයි. අප කෙසේ හෝ මීළඟ ජනාධිපතිවරණයට හෝ මහ මැතිවරණයට ඉදිරිපත් වන්නේ රටේ උදා ගම්මාන 2,500 ක් ඉදිකිරීමෙන් පසුවයි. ජනාධිපතිතුමන්ගේ සහ අග්‍රාමාත්‍යතුමන්ගේ ද්විත්ව නායකත්වය සහ ශක්තිය යටතේ යහපාලන රජය තුළ ඓතිහාසික නිවාස සංවර්ධනයක් හරහා මෙරට සැමට සෙවණ ලබා දීමට මා ඇප කැප වී කටයුතු කරන බව ප්‍රකාශ කරන්නට කැමතියි.

ජනතාව ඡන්දය ලබාදී ආණ්ඩු බිහිකර ගන්නේ තමන්ගේ බලාපොරොත්තු ඉටු කර ගන්නයි. බලයට පත්වන ආණ්ඩු විසින් රාජ්‍ය ප්‍රතිපත්තිය සකස් කළ යුතු වන්නේ රටේ ජනතාවගේ අදහස් වලට අනුවයි. ශ්‍රී ලංකාව සුබසාධන රාජ්‍යක්. රජයක් ලෙස අප ධනවාදයෙන් ධනය උපයා, සමාජවාදයෙන් සුබසාධන රාජ්‍ය හරහා සම්පත් බෙදී යාම ක්‍රියාත්මක කළ යුතුයි. අපේ රටේ ක්‍රියාත්මක විය යුතු ජාතික න්‍යාය පත්‍රය මෙයයි. මෙම ක්‍රම දෙකෙන් එකකින් පමණක් රටේ ප්‍රශ්න විසඳන්නට බැහැ. රටේ ප්‍රශ්න විසඳීමට මෙම ක්‍රම දෙකම අප භාවිතයට ගත යුතුයි” යැයි ඇමතිවරයා පැවසීය.

[අසේල ලියනගේ]

මාතෘකා