යාපනය යනු කොළඹ යටත් විජිතයක් නොවන බව අවබෝධ කර ගත යුතුයි

 ඡායාරූපය:

යාපනය යනු කොළඹ යටත් විජිතයක් නොවන බව අවබෝධ කර ගත යුතුයි

අගමැති රනිල් වික්‍රමසිංහ

පටු දේශපාලන අරමුණු මත ජාතිවාදය ඇවිස්සවීමේ පුවත් විකෘති කර ජනතා අතරට යන බවත් එලෙස අසත්‍ය ප්‍රවෘත්ති පළකිරීමෙන් වැලකී සිටින ලෙසත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය (23) යාපනය හින්දු විද්‍යාලයේ උත්සවයකට සහභාගී වෙමින් පැවසීය.

ගම්පෙරළිය, සුවසැරිය, එන්ට්‍රප්‍රයිසස් ශ්‍රී ලංකා වැනි වැඩසටහන්වලට අමතරව තවත් බොහෝ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් යාපනය කොළඹ යටත් විජිතයක් නොවන බවත් අගමැතිවරයා පැවසීය.

“යාපනය හින්දු විද්‍යාලයට පැමිණීමට මට අවස්ථාව ලැබීම පිළිබඳව මම සතුටට පත්වෙනවා. මේ රටේ හින්දු ආගම් ප්‍රබෝධය පළමුවෙන් ඇති කළේ ආරුමුගම් ශ්‍රි නාවලර් මැතිතුමායි. හින්දු අධ්‍යාපනය වෙනුවෙන් පාසල් ඇතිවූයේ ඒ ආකාරයටයි. හින්දු ආගම් ප්‍රබෝධය අනුගමනය කරමින් දකුණේ බෞද්ධ ආගම් ප්‍රබෝධය ඇති වුණා. වෙසක් පොහෝ දිනය රාජ්‍ය නිවාඩු දිනයක් බවට පත් කිරීමට කටයුතු කළේ ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන් මැතිතුමායි. අපි ඔක්කොම එක මවකගේ දරුවන් යැයි අපේ ජාතික ගීතයේ සඳහන් වන්නේ එම නිසයි.

අද මම මෙහි පැමිණියේ උතුරු පළාතේ පාසල්වල ස්වෙච්ඡාවෙන් සේවය කළ ගුරුවරුන්ට පත්වීම් ලබාදීමටයි. යුද්ධ කාලයේත්, යුද්ධයෙන් පසුවත් පාසල්වලට ප්‍රමාණවත් තරම් ගුරුවරුන් සිටියේ නැහැ. බඳවා ගැනීමට අවශ්‍ය සුදුසුකම් සහිත පුද්ගලයින් සිටියේත් නැහැ. එම නිසා ඊට අවශ්‍ය අවම සුදුසුකම් ඇති කරමින් ඒ අනුව බඳවා ගැනීමට හැකි සියලුම දෙනා බඳවා ගැනීමට අප කටයුතු කර තිබෙනවා.

මෙම ගුරුවරුන් ඉක්මනින් බඳවා ගන්න යැයි මහ ඇමැතිතුමාත් මට පැවසුවා. ගුරු සේවයට බඳවා ගත් කොටසකට පසුගිය දා අපි පත්වීම් ලබාදුන්නා. ඉතිරි කණ්ඩායමට අප මෙහිදී පත්වීම් ලබාදෙනවා. මේ ආකාරයට 680 දෙනෙකුට අපි ගුරු පත්වීම් ලබා දී තිබෙනවා. එම නිසා ගුරුවරුන් බඳවා ගැනීම සම්බන්ධව මාවෙයි සේනාධිරාජා මන්ත්‍රීතුමා ඉදිරියේ දී මට කරදර නොකරනු ඇති බවට මම කල්පනා කරනවා.

ඔබ අද පත්වීම් ලබා ගත් පසු ගුරුවරුන් ලෙස හොඳින් සේවය ලබාදිය යුතුයි. ඔබ සතුව විශාල කැපවීමක් ඇති බව මා දන්නවා. ඔබට අවශ්‍ය සෑම සහයෝගයක්ම ලබා දෙන ලෙස අධ්‍යාපන ඇමැතිතුමාටත්, අමාත්‍යාංශයටත් මා දන්වා තිබෙනවා. යුද්ධයට පෙර ශ්‍රී ලංකාවේ වැඩිම කැපවීමක් සහිත ගුරුවරුන් යාපනයේ සිටියා. නමුත් යුද්ධයත් සමග මේ සියලු දේ විනාශ වී ගියා. එම නිසා අප නැවතත් පෙර පැවැති තත්ත්වය ඇති කරගත යුතුයි.

කැපවීම සහිත ගුරුවරයෙකු නිර්මාණය වන්නේ පුහුණු ගුරුවරුන් හරහායි. උතුරේ ද්‍රවිඩ පාසැල්වලට අවශ්‍ය ගුරු සංඛ්‍යාව බඳවා ගනිමින් ඊළඟ අවුරුදු කිහිපය තුළ ඔවුන් පුහුණු කිරීමට අකිල විරාජ් කාරියවසම් ඇමැතිතුමා ක්‍රියා කරනවා.

ගුරුවරුන් පුහුණු කිරීම සඳහා විශාල අධ්‍යාපන විද්‍යා පීඨයක් යාපනයේ ඇති කිරීමටත් මම අමාත්‍යතුමා සමග සාකච්ඡා කළා. දැනට තිබෙන අධ්‍යාපන පීඨයේ පහසුකම් තිබෙන්නේ 250 දෙනෙකු සඳහා පමණයි. එම නිසා ඊට වඩා විශාල අධ්‍යාපන විද්‍යා පීඨයක් ඇති කිරීමට අවශ්‍ය පියවර මූල්‍යාධාර ලබාදීමට අපි කටයුතු කරනවා.

මෙහි ගුරුවරුන් පුහුණු කිරීමේ කටයුතු සඳහා විදෙස්ගත වූ විශ්‍රාමික ගුරුවරුන් නැවතත් ලංකාවට කැඳවීමට මහ ඇමැතිතුමාටත්, පාර්ලිමේන්තු, පළාත් සභා මන්ත්‍රීවරුන්ටත් හැකි වනු ඇතැයි මම විශ්වාස කරනවා.

කොළඹට නොදෙවැනි අධ්‍යාපන ක්‍රමයක් අතීතයේ යාපනයේ පැවතුණා. අප පාසල් යන කාලයේ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ ප්‍රතිඵල වඩා හොඳ කොළඹ පාසල්වල ද, යාපනයේ පාසල්වල ද යන්න තරගයක් තිබුණා. එකල ශ්‍රී ලංකාවෙන් ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයට සුදුසුකම් ලැබූ හොඳම ශිෂ්‍යයන් වුණේ යාපනයේ ශිෂ්‍යයන් බව කිව යුතුයි. ඒ අතරිනුත් වැඩිම සුදුසුකම් ලබාගත්තේ යාපනයේ හාට්ලි විද්‍යාලයේ ශිෂ්‍යයිනුයි. සුන්දරලිංගම් මහතා ඉන් එක් අයෙක්. එවැනි හොඳ අධ්‍යාපන ක්‍රමයක් නැවතත් යාපනයේ ඇති කළ යුතුයි. හොඳ ගුරුවරුන් සිටිනවා නම් එම තත්ත්වය නැවත ඇති කළ හැකියි.

ශ්‍රී ලංකාව තවදුරටත් අඩු වැටුප් ප්‍රමාණයක් ගෙවන රටක් ලෙස ක්‍රියා කළ යුතු නැහැ. එම තත්ත්වය ඇති කර ගැනීමට නම් දැනුම සහිත පුද්ගලයින් අවශ්‍ය වෙනවා. අපේ අධ්‍යාපන ක්‍රමය අප සංවර්ධනය කර ගත යුත්තේ එම නිසයි. ඉදිරි වසරේ දී අප තවත් ගුරුවරුන් ප්‍රමාණයක් බඳවා ගන්නවා. මේ වන විට අප ක්‍රීඩා ගුරුවරුන් බඳවා ගෙන තිබෙනවා. ඒ වාගේම නැටුම් විෂය වෙනුවෙනුත් අපි ගුරුවරුන් බඳවා ගත්තා. මීට දින තුනකට පෙර 12 සහ 13 ශ්‍රේණිවල වෘත්තීය විෂයයන් ඉගැන්වීම සඳහා උපාධිධාරීන් බඳවා ගත්තා.

රටේ අනෙකුත් ප්‍රදේශවල දෙමළ මාධ්‍ය පාසල් සඳහාත් ගුරුවරුන් බඳවා ගැනීමට කටයුතු කළ යුතුයි. මෙම වැඩ කටයුතු සම්බන්ධයෙන් මම අකිල විරාජ් කාරියවසම් ඇමැතිතුමාට ස්තුතිවන්ත වෙනවා. එතුමා ප්‍රමිතිය ආරක්‍ෂා කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය මෙහෙය වනවා. එතුමා ප්‍රමිතිය අමතක කරමින් දේශපාලනය කරන්නේ නැහැ. මින් පෙර සිටි පාලකයින් සංවර්ධන වැඩ කටයුතුවලට තම තමන්ගේ නම් යොදා ගත්තා. පාසල්වලටද ඇතැම් අය තමන්ගේ නම් දැමුවා. ඒ ආකාරයට "අකිලෝදය විද්‍යාගාර” ඇති කරන්නේ නැහැ. අපට අවශ්‍ය වන්නේ අපේ නම් ප්‍රසිද්ධ කර ගැනීම නොවෙයි. අපට අවශ්‍ය හොඳ ප්‍රතිඵල සමගින් හොඳ බුද්ධිමත් පරපුරක් බිහි වී රට ඉදිරියට ගෙන යනු දැකීමයි. එතුමාට මෙම වැඩ කටයුතු හොඳින් කර ගෙන යාම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ කැපවීම උපකාර වී තිබෙනවා.

දින දෙකක් තිස්සේ අපි යාපනයේ ප්‍රදේශ රැසක සංචාරය කළා. එහිදී "සුව සැරිය” ගිලන් රථ සේවා වැඩසටහන දියත් කළා. එම අවස්ථාවට ස්කයිප් තාක්‍ෂණය ඔස්සේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාත් සහභාගි වුණා. එය විශේෂ අවස්ථාවක්. මංගල සමරවීර මුදල් ඇමැතිතුමා, රිෂාඩ් බදුර්දීන් ඇමැතිතුමා ඇතුළු අනෙකුත් මැති ඇමැතිවරු සහ රාජ්‍ය නිලධාරීන් රැසක් සති අන්තයේ දී මේ ප්‍රදේශවල විශාල වැඩ කොටසක් සිදු කළා.

කිළිනොච්චිය ධාන්‍යාගාරය විවෘත කිරීමට අපට අවස්ථාව ලැබුණා. ඒ වගේම ඊයේ රාත්‍රියේත්, අද පෙරවරුවේත් උතුරේ ව්‍යාපාරිකයින් නගා සිටුවීම සඳහා වැඩසටහන් කිහිපයක්ම පැවැත්වුණා. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන අපි ක්‍රියාත්මක කළා.”

මාතෘකා