පොලොන්නරුව අද සංවර්ධනයේ කේන්ද්‍රස්ථානයක්

 ඡායාරූපය:

පොලොන්නරුව අද සංවර්ධනයේ කේන්ද්‍රස්ථානයක්

- ජනපති කියයි

කොළඹින් පිට නිස්කලංක පරිසරයක වෘක්කවේදී රෝහලක් ඉදිකිරීමට ලැබීම පිළිබඳව තමා සතුටට පත්වන බවත් ආර්ථික හා සමාජීය වැඩකටයුතු ඉදිරියටත් පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය ශක්තිය චීන රජය ඔස්සේ ලැබෙනු ඇති බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගිය (21) පොලොන්නරුව වෘක්කවේදී රෝහල ඉදිකිරීමේ උත්සවයට එක්වෙමින් පැවසීය.

ඉතා දුෂ්කර තත්වයේ තිබූ පොලොන්නරුව අද වන විට සංවර්ධනයේ කේන්ද්‍රස්ථානය වී ඇති බවත් රටේ ජාතික ආර්ථීකයට, ජනතාවගේ ජීවන තත්වය උසස් කිරීමට, කර්මාන්ත, බහුකාර්ය යෝජනා ක්‍රම, ව්‍යාපෘති රාශියක් ඉදිකිරීමට පියවර ගෙන ඇති බවත් ඔහු පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේද කීවේය.

“මේ වෘක්කවේද රෝහල පොලොන්නරුවට ලැබුණ රෝහලක් නොවෙයි. මෙය අපේ රටට ලැබුණ රෝහලක්. මුළු මහත් රටේම ජනතාව වෙනුවෙනුයි මේ රෝහල පොලොන්නරුවේ ඉදි වන්නේ. රුපියල් කෝටි 1200ක් වැය කරන මේ රෝහල නව තාක්ෂණික උපකරණ හා සැලසුම් සමග අංග සම්පූර්ණ ජාත්‍යන්තර මට්ටමේ ප්‍රමිතියකින් යුතු උසස්ම රෝහලක්. ශෛල්‍යාගාර හයක් මෙහි ඉදි වෙනවා. මේ භූමිය අක්කර දාසය හමාරක් වෙනවා. මේ භූමිය තිබෙන්නේ පොලොන්නරුව මහ රෝහලට කිට්ටුවෙන්මයි. මෙතන තිබුණේ ධීවර අමාත්‍යාංශයේ ධීවර පර්යේෂණ ආයතනයයි. පාරෙ යන අයට පෙනුණේ මාළු ටැංකි ටිකක් විතරයි. නමුත් අපි මේ භූමිය භාර අරගෙන පිරිසිදු කරලා, ඉතා අලංකාර රෝහලක් ඉදි කිරීමට සුදුසු ස්ථානයක් බවට පත් කළා. මේ ස්ථානයේ එහා පසින් තියෙන්නේ විශාල වෙල් යායක්. පරිසරයේ තියෙන වැදගත්කම පිරිසිදුකම රෝහලක් ඉදි කිරීමේදී ඉතා වැදගත් වෙනවා.

“අපේ රටේ කොළඹ ජාතික රෝහල ඇතුළු ලංකාවේ බොහෝ රෝහල් තිබෙන්නේ නගර මැද්දේ. නමුත් ලෝකයේ බොහෝ රටවල් නගරවලින් පිටයි රෝහල් ඉදි කර තිබෙන්නේ. ඒ නිසා මේ රෝහල මෙම ස්ථානයේ ස්ථාපිත කිරීමට ලැබීම පිළිබඳව මම ඉතා සතුටු වෙනවා. මේ ලස්සන භූමිභාගය ශුද්ධ පවිත්‍ර කරගෙන යන විට පුරාවිද්‍යා ප්‍රදේශයකුත් හමු වුණා. කැලෑවකුත් තිබුණා. පුංචි චෛත්‍යයකුත් එහා පැත්තේ තියෙනවා. මේ රෝහලේ වැඩ නිම කරලා, පුරාවිද්‍යා බල ප්‍රදේශය නවීකරණය කරලා, ඒ පුරාවිද්‍යා බල ප්‍රදේශයට අයත් පැරණි ස්ථානයත් මේ රෝහලේ රෝගීන්ට ආගමික කටයුතුවලට සුදුසු ඓතිහාසික ස්ථානයක් සේ නිර්මාණය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.

“මම චීන ජනරජයට සහ චින ජනාධිපති “ෂිං ජිං පින්” මැතිතුමාටත් ශ්‍රී ලංකා රජය සහ ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් කෘතඥ වෙනවා. 2015 මම චීනයේ කළ රාජ්‍ය සංචාරයේදී කළ ඉල්ලීමක් අනුව මේ රෝහල අපේ රටට ලබාදීම පිළිබඳව මගේ විශේෂ ස්තූතිය මේ අවස්ථාවේ ඒ සියලු දෙනාට පිරිනමනවා.

“අපි දැන් මාස හතකට කලින් මේ භූමිය භාරදුන්නා. ඒ කාලය තුළ මේ ඉදිකිරීම් කටයුතු සඳහා චීන රජය ටෙන්ඩර් කැඳවීම් කළා. ඒ වැඩකටයුතුවලට මාස හයකට වැඩි කාලයක් ගතවුණා. අපේ රටේ වගේ නෙවෙයි, මම සොයලා බැලුවා චීනයේ ටෙන්ඩර් දෙන විධිය. චීනයේ ටෙන්ඩරය ලබා දීමට ප්‍රසම්පාදන කමිටුව තීන්දු කීරීමෙන් පසු මාස තුනක කාලයක් දෙනවා ඒ සඳහා විරෝධතා තිබෙනවා නම් ඉදිරිපත් කරන්න. ඒ කාර්යයට ඒ සමාගම සුදුසු නැද්ද, එහෙම නැත්නම් නුසුදුසු විදියට තෝරා ගත්තාද, ඒ කාර්යය කරන්න පුළුවන්ද, ඒ සමාගම මෙවැනි ඉදිකිරීම්වලදි යහපත් තත්වයන් පෙන්නලා තියෙනවාද, දූර්වලතා පෙනුම් කරලා තිබෙනවාද? ඒ සඳහා සමාගම විවෘතව රටේ ජනතාවට දැනගන්න තබනවා අවශ්‍ය නම් විරෝධතා දක්වන්න. ඒ නිසා අපි කලින් උත්සවය තියලා අද මේ ඉදිකිරීම් සමාගම ඇවිත් වැඩ පටන් ගන්න විට මාස හය හමාරක්, හතක් වගේ කාලයක් ගියා. මේ සමාගම මාසයකට කලින් ලංකාවට ඇවිත් මේ භූමියේ මුලික කටයුතු ආරම්භ කරලා තිබෙනවා.

“රටේ වකුගඩු රෝගයට ලක් වූ මුළුමහත් රෝගීන් වෙනුවෙන් මේ රෝහල අපේ රටේ ජනතාවට දායාද කරන්න ලැබීම පිළිබඳව මම ඉතාම සතුටු වෙනවා. චීනය අපේ රටට දෙන ආර්ථීක සහ සංවර්ධන ආධාර අතිවිශාලයි කියලා ඔබ දන්නවා. මේ රටේ මාර්ග ඉදිකිරීම්, අනෙකුත් සංවර්ධන ක්ෂේත්‍ර යන සියල්ල සඳහා 1950 දශකයේ සිට සෑම රජයක් යටතේම විශාල වශයෙන් චීනය දායකත්වය ලබා දෙනවා. අපි වර්තමාන රජය බලයට පත් වුණාට පසුව චීනය සහ ශ්‍රී ලංකාව අතරේ ඒ සම්බන්ධතා තවත් වැඩි වුණා. ඒ නිසා වැඩි වැඩියෙන් ආධාර දෙනවා. කදුරුවෙල පැත්තට යන විට ඔබ දකිනවා ආර්ථීක මධ්‍යස්ථානයේ වැඩ පටන් අරගෙන තියෙනවා. නැගෙනහිර, උතුරු මැද පළාතටම ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් වෙනවා. ඒ නිසා මේ ආර්ථික මධ්‍යස්ථානය වෙළෙඳ භාණ්ඩ කටයුතු හුවමාරු කරගැනීමේ ප්‍රධාන මධ්‍යස්ථානයක් ලෙස ඉදි වෙනවා.

“මේ සියලු සම්පත් රටේ ආර්ථීකයට හා ජනතාවගේ සංවර්ධනය සඳහා එක් පැත්තකින් සෞඛ්‍ය සම්පන්න ජනතාවක් බිහිකරන්න, තවත් පැත්තකින් ජාතික ආර්ථීකය ශක්තිමත් කරන්න චීන රජය මේ ලබාදෙන්නා වූ සියලු සහයෝගයන් මා නැවතත් අගය කරනවා. අගෝස්තු පළමුවැනිදා සිට දින තුනක් පොලොන්නරු දිස්ත්‍රික්කයේ වැඩ අවසන් වූ ගොඩනැගිලි 170ක් විවෘත වෙනවා. පාසල් පමණක් 114ක්. ඒ වගේම රෝහල්, විහාරස්ථාන, පානීය ජලය, ඇතුළු මහජන සේවා සපයන ආගමික අංශවලටත් අපි ආධාර කරලා තිබෙනවා. මෙවැනි ව්‍යාපෘති රාශියක් මට පමණක් විවෘත කරන්න බැරි නිසා අපි සියලුම මැති ඇමතිවරුන්ට ආරාධනා කරලා තිබෙනවා විවෘත කිරීම්වලට සහභාගි වෙන්න කියලා. අපි ඒ ඒ මැති ඇමතිවරුන්ට විවෘත කරන ආයතන, ස්ථාන වෙන් කරලා තිබෙනවා.

“සංවර්ධනයේ යෝධ පිම්මක් රට වශයෙන් ගෙනියන වැඩපිළිවෙළ වගේම පොලොන්නරු දිස්ත්‍රික්කය ලෙස ගත්තාම ඒ ප්‍රතිඵල ඔබගේ ඇසට දකිනවා, ඇඟට දැනෙනවා. හිතට දැනෙනවා. පොලොන්නරු මහරෝහලේත් ඉදිකිරීම් රාශියක් සිදු වෙනවා. මම ඒ කිහිපයකටම මුල්ගල් තිබ්බා. ඒ වැඩ කටයුතු වේගවත්ව සිදුවී ගෙන යනවා. අපි 23 වෙනිදා මේ රටේ ජාතික ආර්ථීකයට විශාල සහායක් ලබාදෙන මොරගහකන්ද කළුගඟ ජලය එක්රැස් කිරීමේ ක්‍රමවේදය ආරම්භ කරනවා. මේ ව්‍යාපෘතිය සඳහා අපි රුපියල් කෝටි 22,000ක් වැය කරනවා. මොරගහකන්ද ජලාශයේ වැඩ අවසන් කර ජලය නිකුත් කළාට පසුව පරාක්‍රම සමුද්‍රය වගේ 06 ගුණයක් විශාලයි. එය මේ රටේ ජාතික ආර්ථීකය හා ජනතාවගේ ජීවන තත්වය උසස් කරන්නත්, කර්මාන්ත, බහුකාර්ය යෝජනා ක්‍රම ආදී ව්‍යාපෘති රාශියක් ඇරඹීමටත් දායකත්වය ලබා දෙනවා.

“මත්ද්‍රව්‍ය මේ රටේ බරපතළ ප්‍රශ්නයක්, අභියෝගයක්. මේ රටේ ජනගහනයෙන් 1.4%ක් මත්කුඩු, මත්පෙතිවලට ඇබ්බැහි වෙලා තිබෙනවා. රටේ ජනගහනයෙන් 18%ක් දුම්වැටිවලට ඇබ්බැහි වෙලා තිබෙනවා. රටේ ජනගහනයෙන් 14%ක් මධ්‍යසාරවලට යොමුවෙලා තිබෙනවා. ඒ අතරේ තමයි අලුත්ම වාර්තා කියන්නේ මත්කුඩු සඳහා ජනතාවගෙන් 1.5%කට ආසන්න ප්‍රමාණයක් යොමුවෙලා තිඛෙනවා කියලා. ඒ අතරේ පාසල් දරුවනුත් ඉන්නවා. මට දැනගන්න ලැබුණා ලංකාවේ ජනප්‍රිය පාසලක ඇතුළට මත්කුඩු අරගෙන ඇවිල්ලා, ළමයි අතරේ බෙදලා ළමයින්ම මත්කුඩු ව්‍යාපාර සඳහා යොමු කරනවා කියලා. අපි පොලිසිය ඇතුළු සියලුම ආරක්ෂක අංශ සමග මත්ද්‍රව්‍ය මර්දන වැඩසටහන් ජාතික වශයෙන් ක්‍රියාත්මක කරනවා. නමුත් දිනෙන් දින විෂ මත්ද්‍රව්‍ය තත්වය වර්ධනය වන නිසා තමයි රජයට තීන්දුවක් ගන්න සිදු වුණේ තද නීති රීති ක්‍රියාත්මක කළ යුතුයි කියල.”

මාතෘකා