අපි බලය ගත්තේ රට හදන්නයි | ඇස පාදන රැස


අපි බලය ගත්තේ රට හදන්නයි

 ඡායාරූපය:

අපි බලය ගත්තේ රට හදන්නයි

- අගමැති කියයි

ඉන්දියන් සාගරික කලාපයේ ආර්ථික සංවර්ධනය පිළිබඳ අවධානය යොමු කරන විට ශ්‍රී ලංකාවේ කොළඹ වරායට මෙන්ම ඉදිරියේ ක්‍රියාත්මක වන හම්බන්තොට වරායටත් සුවිශේෂී ස්ථානයක් හිමිවන බවත් රටේ පළාත් සියල්ල ආවරණය වන පරිදී විශේෂ සංවර්ධන සැලැස්මක් ක්‍රියාත්මක කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ ත්‍රිකුණාමලය, දිස්ත්‍රික් මහා සංවර්ධන සැලැස්ම “සුබානා ජුරොං” ආයතනයට බාරදීම නිමිත්තෙන් පසුගිය (11) දින අරලියගහ මන්දිරයේ පැවැති විශේෂ උත්සවයට එක්වෙමිනි.

“ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහා සංවර්ධන සැලැස්ම “සුබානා ජුරොං” ආයතනයට බාරදීම හරහා ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය බවට පත් කිරීමේ වැඩසටහන අදින් ආරම්භ වෙනවා. ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය ලෙස පැවැති අතීත අවධියේ ශ්‍රී ලංකාවේ බටහිර හා නැගෙනහිර වරායන් ගණනාවක් පැවැතුණා. වර්තමානයේත් ඉන්දියන් සාගරයේ ආර්ථික සංවර්ධනය පිළිබඳව අවධානය යොමු කරන විට කොළඹ වරායට මෙන්ම ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත හම්බන්තොට වරායටත් විශේෂ ස්ථානයක් හිමිවෙනවා.

ඒ නිසා වගේම ඉන්දියාව, පාකිස්ථානය, ඉරානය ආදී රටවලට ද වැදගත්කමක් හිමිවෙනවා. සුවස් ඇල හරහා සිංගප්පූරුව දක්වා ගමන් කරන නෞකා සඳහා අවශ්‍ය සේවා සපයමින් ඉන් ආර්ථිකමය වාසි ලබාගැනීමට අපි බලාපොරොත්තු වෙනවා. වසර 2050 පමණ වන විට බෙංගාල බොක්ක ආශ්‍රිත ජනගහනය බිලියන 3කට සමාන වෙනවා. එවිට එහි විශාල දියුණුවක් ඇති වෙනවා. ඒ වන විට ශ්‍රී ලංකාවේ නැගෙනහිර දොරටුව ලෙස ත්‍රිකුණාමලය සංවර්ධනය කළ යුතුයි.

2015 දී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ප්‍රමුඛ මේ ආණ්ඩුව බලයට පැමිණියේ මුළු රටම දියුණු කිරීමටයි. එහිදී අප මූලිකවම අවධානය යොමු කළේ බස්නාහිර සංවර්ධනයටයි. රටේ දියුණුව රඳා පවතින්නේ බස්නාහිර සංවර්ධනය මතයි. එමෙන්ම රටේ මුහුදුබඩ තීරුව සංවර්ධනය කිරීමටත්, කොළඹ සිට මහනුවර දක්වා අධිවේගී මාර්ගයේ වැඩ කටයුතු ආරම්භ කර, ඒ හරහා එම ප්‍රදේශය දියුණු කිරීමටත් අපි වැඩ කටයුතු ආරම්භ කළා. මෙම සංවර්ධන වැඩ කටයුතු සිදුකරන අතරතුර අප රටේ අනෙකුත් ප්‍රදේශ අමතක කළේ නැහැ.

අප ලබාදුන් වාර්තාවලට අනුව ශ්‍රී ලංකාවේ බටහිර, නැගෙනහිර ආර්ථික තීරු පදනම් කර ගනිමින් ත්‍රිකුණාමලය දක්වා සංවර්ධන වැඩකටයුතු සිදුකිරීමටත්, නුවර සිට ත්‍රිකුණාමලය දක්වා මහා මාර්ගය ඉදිකිරීමටත් ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර ලබාගත්තා. එමෙන්ම සුබානා ජුරොං සැලැස්ම හරහා ත්‍රිකුණාමලයේ දියුණුව ඇති කිරීමත් අපගේ සැලසුම වී තිබෙනවා. ඉදිරි වසර 10 - 15ක කාලය සඳහා ශ්‍රී ලංකාවට අවශ්‍ය සැලසුම් මෙම ත්‍රිකුණාමලය සංවර්ධන සැලැස්මට ඇතුළත් වී තිබෙනවා. ඉන් පසුව අපට සංවර්ධනය කිරීමට ඉතිරි වන්නේ යාපනය දිස්ත්‍රික්කය පමණයි.

මෙම සැලැස්ම සකස් කිරීම වෙනුවෙන් වැඩ කටයුතු කළ මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයටත්, අමාත්‍යතුමාටත් මගේ විශේෂ ස්තූතිය පිරිනමනවා. ඒ වගේම එම සැලැස්ම සකස් කළ සිංගප්පූරුවේ සුබානා ජුරොං ආයතනයටත් මම අවසාන වශයෙන් ස්තුතිවන්ත වෙනවා.

මෙම අවස්ථාවට මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය චම්පික රණවක, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, විපක්‍ෂ නායක ආර්. සම්පන්දන්,නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම යන මහත්වරු ප්‍රමුඛ දේශපාලනඥයින්, සුබානා ජුරොං ආයතනයේ නියෝජිතයින්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

මාතෘකා