යහපාලන ආණ්ඩුව නීතියේ ආධිපත්‍ය රට තුළ ඇති කළා | ඇස පාදන රැස


යහපාලන ආණ්ඩුව නීතියේ ආධිපත්‍ය රට තුළ ඇති කළා

 ඡායාරූපය:

යහපාලන ආණ්ඩුව නීතියේ ආධිපත්‍ය රට තුළ ඇති කළා

අමාත්‍ය නවීන් දිසානායක

යහපාලන ආණ්ඩුව නීතියේ ආධිපත්‍ය හා ප්‍රජාතන්ත්‍රවාදය රට තුළ ඇති කරමින් පසුගිය ආණ්ඩු සමයේ හකුළා දැමූ මාධ්‍ය නිදහස නැවතත් රටේ ඇතිකළ බව එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක අමාත්‍ය නවීන් දිසානායක මහතා ඊයේ (12) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය.

“ජාත්‍යන්තර වශයෙන් රජය ගෙනයන වැඩපිළිවෙල හෑල්ලුවට ලක්කිරීමක් සිදුකරනවා. ජීනීවා නුවරදී ජී.එල් පීරිස් මහතා ප්‍රකාශ කර තිබෙනවා ජත්‍යන්තර මානව හිමිකම් කේන්ද්‍රයෙන් ශ්‍රී ලංකාව ඉවත්විය යුතුයි කියා. අපි කිසිසේත්ම එම ප්‍රකාශය අනුමත කරන්නේ නෑ. අපි රටක් වශයෙන් මානව හිමිකම් රැකීමට බැඳී තිබෙනවා. අපිටත් අසාධාරණකම් සිදුවුණා. මහින්ද පාලනයේදී ඊට මුහුණදෙන්න බැරි වුණාට යහපාලන ආණ්ඩුවෙන් එම අසාධාරණකම් සඳහා හොදින් මුහුණ දුන්නා. මේ සතියේ අලුත් අධිකරණ පද්ධතියක් පිහිටුවීමේ වැඩකටයුතු ආරම්භ කළා. මූල්‍යමය අපරාධ සම්බන්ධයෙන් ඇති නඩු ඇසීම සඳහා එම අධිකරණය පිහිටුවන්නේ. එයින් බරපතළ වංචා පිළිබඳ නඩු තීන්දු සති දෙකෙන් ලබාදෙන්න පුළුවන්.

යහපාලන රජයට තිබෙන විශාල චෝදනාවක් තමයි හොරු අල්ලන්නේ නැත්තේ ඇයි කියන එක. ඒ නිසා යම් චන්ද ප්‍රමාණයක් සහ ජනතාවගේ විශ්වාසය යම් ප්‍රමාණයකින් නැති වී තිබෙනවා. අපි එය පිළිගන්නවා. ප්‍රජාතන්ත්‍රවාදී ස්වරූපයක් තුළ වැඩකරණ ආණ්ඩුවක් අපිට නීතියෙන් බැහැරව ක්‍රියාත්මක කරන්න බෑ. නීති ක්ෂේත්‍රයේ විශාල ගැටලු තිබෙනවා. ඒ නිසා තමයි මේ හොරු ඇල්ලීම පරක්කු වෙලා තියෙන්නේ. අපි බලාපොරොත්තු වෙනවා ලබන සතියෙ ඉඳලා මූල්‍යමය නඩු ඇසීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න. අපේ ආණ්ඩුව නීතියට හිස නමනවා. නීතියේ ආධිපත්‍ය රකිනවා. අපේ ආණ්ඩුව පැරදුණත් මාධ්‍ය නිදහසත් අධිකරණ නිදහසත් ලබාදෙනවා. මාධ්‍යවේදීන් ඝාතනය කරන්න, අතුරුදහන් කරන්න අපි ඉඩ තියන්නේ නෑ. අපට අවශ්‍ය වෙන්නේ අපේ ආත්ම ගෞරවය ආරක්ෂා කරගෙන ගෙදර යන්න.

අපිට හිට්ලර්ලා අවශ්‍ය නෑ. අපි ඉඩදෙන්නෙත් නෑ. ජනාධිපතිවරණයක් එන්න තාම සාකච්ජා කරලා නෑ. අපිට ඉන්නවා හොඳ අපේක්ෂකයෙක්, අපි නිසි වෙලාවට හඳුන්වා දෙනවා. අපිට සහෝදර සමාගම්, එක පවුලකට සීමා වූ දේශපාලන අදහස් නෑ. අලුතින් ඇතිකරන්න හදන ජාතිවාදය ඉතාමත් භයානකයි. අපි එක්සත් ජාතික පක්ෂය වශයෙන් මේ රටේ සියලුම ජනකොටස් වලට අයිතිවාසිකම් තිබෙනවා. අපිට හොඳ ත්‍රිවිධ හමුදාවක් තියෙනවා, හොද ආරක්ෂක අමාත්‍යවරයෙක් ඉන්නවා. ජාතිවාදී ක්‍රියා නැවත රටේ ඇතිවීමට අපි ඉඩ තබන්නේ නෑ. මගේ පියා සහ සජිත් ප්‍රේමදාස මහතාගේ පියා එල්ටී. ටී.ඊ. සංවිධානය විසින් ඝාතනය කළා. අපි එක්සත් ජාතික පක්ෂයේ තනතුරු දරන පුද්ගලයන් ලෙස නැවතත් එල් ටී ටී ඊ සංවිධානයට හිසි එසවීමට ඉඩ තබන්නේ නෑ.

ගම්පෙරලිය වැඩසටහන යටතේ එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකට මිලියන 200ක් වෙන්කර තිබෙනවා. ඒ ගම්වල සංවර්ධන ව්‍යාපෘති කිරීමට අපි වැඩකටයුතු ආරම්භ කර තිබෙනවා. සමෘද්ධි වැඩසටහන අපි ගමට රැගෙන ගොස් තිබෙනවා. ප්‍රතිලාභද ලබාදී තිබෙනවා. රටේ සිටින රැකියා විරහිත තරුණ තරුණියන්ට රැකී රක්ෂා ලබාදීමට වැඩසටහනක් ආරම්භ කර තිබෙනව. අර්ජුන මහේන්ද්‍රන්ව වගේ අය අපට අවශ්‍ය නෑ කියලා අපි පක්ෂයේ ඇතුළේ ඉඳලම කිව්වා. අපි කිසි දෙයක් හැංගුවේ නෑ. අපි කියනවා රාජපක්ෂලාගේ කාලයේ මේ වගේ දෙයක් වුණා නම් ඒවා එළිවෙන්නෑ කියන්න කැමතියි. රටේ අගමැති කොමිෂන් සභා ඉදිරියට ආවා. කටඋත්තර දුන්නා. ඇත්ත නැත්ත ජනතාවට හෙලිකළා.

මරණීය දන්ඩනය ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලය විසින් ජනාධිපතිතුමාට යෝජනාවක් ඉදිරිපත් කළා. විශේෂයෙන් තරුණ පරම්පරාව විනාශ කරන විශාල භීතිකාවක් මේ මත්ද්‍රව්‍ය. පසුගිය අවුරුදු 20 තුළ දකුණු ආසියාවේ මත්ද්‍රව්‍ය හුවමාරු කිරීමේ කේන්ද්‍රස්ථානය බවට ශ්‍රී ලංකාව පත්වී තිබෙනවා. බන්ධනාගාරය තුළදීම මත්ද්‍රව්‍ය අලෙවිකිරීමෙන් නීතිය විහිලුවකට ලක්වෙනවා. මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් විදෙස් රටවල නීති රීති තදයි. තරුණ පරම්පරාව ආරක්ෂා කිරීමට ජනාධිපතිතුමා ගත් තීරණයට කැබිනට් මණ්ඩලයේ සියලුම අමාත්‍යවරුන් පක්ෂ බේද නොබලා කැමති වුණා.

දේශපාලඥයෙකු වුණාම ආචාර ධර්ම පද්ධතියක් තිබෙනවා. ඒ ගිවිසුම කැඩුවහොත් දඬුවම් ලැබෙනවා. විජයකලා හිටපු ඇමතිනී කළ ප්‍රකාශය පිළිබඳ පරීක්ෂණයක් පවත්වමින් තිබෙනවා. ඒ පිළිබඳව ඉදිරියේදී කරුණු හෙලිවෙයි. මගේ පෞද්ගලික මතය නම් එතුමිය මන්ත්‍රී ධූරයෙන් ඉවත්විය යුතුයි කියායි” යැයි අමාත්‍යවරයා පැවසීය.

[අසේල ලියනගේ]

මාතෘකා