අපි තීන්දු ගත්තේ රටේ අනාගතය ශක්තිමත් කරන්නයි

 ඡායාරූපය:

අපි තීන්දු ගත්තේ රටේ අනාගතය ශක්තිමත් කරන්නයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

රුහුණු සංවර්ධන වැඩසටහන යටතේ මේ වසර අවසන් වන විට චයිනා මර්චන්ට් සමාගම සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ හවුල් ව්‍යාපාරයක් ලෙස හම්බන්තොට වරාය ක්‍රියාත්මක වන බවත්, මත්තල ගුවන්තොටුපළ ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ඉන්දීය සමාගමක් සමඟ වෙළඳ කලාප ඇතිකිරීමට සාකච්ඡා කරමින් සිටින බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අගමැතිවරයා මේ බව පැවසුවේ පසුගිය 7 වැනිදා මොණරාගල, මහානාම ජාතික පාසලේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයට සහභාගී වූ අවස්ථාවේදීය. එහිදී හෙතෙම වැඩිදුරටත් මෙසේද කීය.

“1907 වර්ෂයේ පොල්අතු පැළකින් ආරම්භ කළ මොණරාගල මහානාම විද්‍යාලය අද වනවිට ඉතා දියුණු තත්ත්වයකට පැමිණ තිබෙනවා. 1967 වර්ෂයේ මා විශ්ව විද්‍යාලයට ඇතුළත් වන කාලයේදී වෛද්‍ය, විද්‍යා, ඉංජිනේරු, නීති පීඨ සඳහා මොණරාගලින් ශිෂ්‍යයින් තේරි පත්වුණේ ඉතා අවම මට්ටමකිනුයි. ඒ කාලයේ මොණරාගල දිස්ත්‍රික්කයෙන් විශ්ව විද්‍යාලය සඳහා බොහෝ විට තේරී පත්වුණේ කලා පීඨ සඳහා පමණයි.

රටේ අධ්‍යාපන ක්ෂේත්‍රය දියුණු කිරීමට ආණ්ඩුවක් ලෙස අප විශාල උත්සාහයක් දරනවා. ළඟම පාසල හොඳම පාසල වැඩසටහන, අවුරුදු 13 ක අනිවාර්ය පාසල් අධ්‍යාපනය, ගුරු පුහුණුව ලබාදීම ඇතුළු රටේ අධ්‍යාපනයට ඉතා වැදගත් වැඩසටහන් ක්‍රියාත්මක කරනවා.

අද වනවිට අධ්‍යාපනය පවතින්නේ ඉතා තරඟකාරී පසුබිමකයි. උසස්පෙළ විභාගය සමත්වීමම තරගකාරීත්වය ලෙස හැදින්විය නොහැකියි. වර්තමානය වන විට ජාත්‍යන්තර වශයෙන්ද අධ්‍යාපනය තරඟකාරී තත්ත්වයට පැමිණ තිබෙනවා. සෑම රටක්ම තම රටේ අධ්‍යාපන මට්ටම දියුණු කිරීමට උත්සාහ ගන්නවා. මෙවැනි තත්ත්වයක් මීට පෙර දකින්නට තිබුණේ නැහැ. මිනිස් ශ්‍රමය ප්‍රධාන සම්පතක් කර ගත් ශ්‍රී ලංකාව වැනි රටක අධ්‍යාපනය දියුණු කිරීමට වැඩි අවධානයක් යොමු කළ යුතුයි.

අපේ රටට යහපත් අනාගතයක් ඇති කරගත හැක්කේ අපනයන ආර්ථිකයට යොමු වී එය වර්ධනය කරගතහොත් පමණයි. අද අපේ රට විශාල ණය උගුලක සිරවී සිටිනවා. ඒ පසුගිය පාලන කාලය තුළ විශාල ලෙස විදේශ ණය ලෙස ලබාගත් නිසයි.

2015 දී අප බලයට පත්වීමෙන් පසු විවිධ අභියෝග හමුවේ වුවද ණය ගෙවමින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා පියවර ගත්තා. ඒ වෙනුවෙන් ඇතැම් විට බදු වැඩිකිරීමට සිදුවුණා. ඒ හේතුවෙන් බඩු මිල වැඩිවුණා. ජනතාවගේ දෝෂාරෝපණයට ලක් වුවත් ඒ ක්‍රියාමාර්ග ගැනීමට අපට සිදු වුණා. අප මේ සෑම ක්‍රියාමාර්ගයක්ම ගත්තේ රටේ සහ ජනතාවගේ අනාගතය ශක්තිමත් කිරීම සඳහායි.

ශ්‍රී ලංකාව අපනයන ආර්ථිකය ආරම්භ කළේ තේ වගාව හරහායි. ඒ සඳහා මාසිකව ඉතා අඩු වැටුපකට ඉන්දියාවෙන් කම්කරුවන් ගෙන්වීමට එදා කටයුතු කළා. ඉන්පසුව 1977 දී ඇඟලුම් කර්මාන්ත ව්‍යාපෘතිය හරහා ශ්‍රී ලංකාව අපනයන කටයුතු තවදුරටත් පුළුල් කළා. එකළ යුරෝපීය කර්මාන්තශාලා තරඟකාරී වෙළෙඳපොළට පිවීසීමේ අරමුණින් ආසියාව වෙත පැමිණි අතර එහිදී එම ආයෝජන ශ්‍රී ලංකාවට වෙතද ගෙන්වා ගැනීමට හැකි වුණා. ඒ කාලයේ විදේශ ආයෝජන වැඩි වශයෙන් ගලා ආ දකුණු ආසියානු කලාපයේ තිබූ එකම රට බවට පත් වුණේ ශ්‍රී ලංකාවයි.

ලෝකයේ ආර්ථික දියුණුව කෙරෙහි අවධානය යොමු කරමින් මෙරට ආයෝජන අවස්ථා තවදුරටත් දියුණු කළ යුතුයි. ඒ අනුව විදේශ ආයෝජකයන් ගෙන්වාගත යුත්තේ කුමන ක්ෂේත්‍රයන් සඳහාද යන්න අවබෝධ කරගත යුතුයි.

නව තාක්ෂණය පදනම් කරගත් නිෂ්පාදන හා සේවාවන් ඔස්සේ අද ලෝකය ඉදිරියට ගමන් කරමින් සිටිනවා. අද මෙහි සිටින බහුතරයකට ජංගම දුරකථනයක් තිබෙනවා. නමුත් මීට වසර 30 කට පමණ පෙර මෙරට ජංගම දුරකථන තිබුණේ නැහැ. ජංගම දුරකථන නිෂ්පාදනය ආරම්භ වූ මුල් අවධියේ කොරියානු සහ චීන ජාතිකයන් එම තාක්ෂණය ලබාගත්තා. ඔවුන් එම තාක්ෂණය හොඳින් ඉගෙන ගෙන යුරෝපය අභිබවා ඉදිරියට ගියා. එම පසුබිම තුළ ෆින්ලන්තයේ නොකියා සමාගමට වෙළඳපොළ තුළ රැඳී සිටීමට පවා නොහැකි තත්ත්වයක් ඇති වුණා. වර්තමානයේ ද විශාල වශයෙන් ජංගම දුරකථන නිපදවන්නේ කොරියානු සහ චීන ජාතිකයන් බව කිව යුතුයි.

ඊශ්‍රායලය වැනි රටවල් තාක්ෂණය උපයෝගි කරගනිමින් කෘෂිකර්මාන්තයේ යෙදෙනවා. නමුත් ඊශ්‍රායලයට වසරකට ලැබෙන වර්ෂාපතනය මිලි මීටර් 600 ක් පමණයි. ඊශ්‍රායල ජාතිකයන් මේ ප්‍රදේශයට පැමිණියහොත් වියළි කලාපයක් වන මේ මොණරාගල ප්‍රදේශය තෙත් කලාපයක් ලෙස හදුන්වන්නට ඉඩ තිබෙනවා.

අද වන විට ඊශ්‍රායලය පලතුරු සහ එළවළු අපනයනය අතින් අපට වඩා ඉදිරියට පැමිණ සිටිනවා. එමෙන්ම සිංගප්පූරුව ශ්‍රී ලංකාවට වඩා මල් අපනයනය අතින් ඉදිරියෙන් සිටිනවා. ඔවුන්ට ස්වභාවික සම්පත් නොමැති වුණත් කෙසේ හෝ තාක්ෂණය උපයෝගි කර ගනිමින් ඉදිරියට පැමිණ තිබෙනවා. එසේ නම් අපට අවශ්‍ය වන්නේ තාක්ෂණය පදනම් කරගත් කර්මාන්ත බව කිව යුතුයි.

මේ අනුව එවැනි අපනයන කලාපයක් බියගම - හේනෙගම ආශ්‍රිතව ඉදිකිරීමට අපි සැලසුම් කර තිබෙනවා. තම මුදල් යොදවා ආරම්භ කරන එවැනි ව්‍යාපාර සාර්ථක වුවහොත් ෆේස්බුක් ආයතනය මෙන් විශාල ලෙස මුදල් උපයාගැනීමට හැකියාව තිබෙනවා. වට්ස්ඇප්, ෆේස්බුක් වැනි ව්‍යාපාර ආරම්භ වුණේද ඒ ආකාරයට කුඩා පරිමාණයෙනුයි. මිනිස් සම්පත ඒ සඳහා පුහුණු කළ යුතුයි. එය පාසල් අධ්‍යාපනය තුළින් ආරම්භ කළ යුතු වෙනවා.

රුහුණු සංවර්ධන වැඩසටහන යටතේ මේ වසර අවසන් වන විට චයිනා මර්චන්ට් සමාගම සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ හවුල් ව්‍යාපාරයක් ලෙස හම්බන්තොට වරාය ක්‍රියාත්මක වෙනවා. මත්තල ගුවන්තොටුපළ ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ඉන්දීය සමාගමක් සමඟ සාකච්ඡා කරමින් සිටිනවා. වෙළඳ කලාප ඇතිකිරීමට සැලසුම් කර තිබෙනවා.

හම්බන්තොට, මොණරාගල, රත්නපුර, බණ්ඩාරවෙල ආදී ප්‍රදේශවල ජාතික සහ අනෙක් පාසල් හරහා අප එම දැනුම ශිෂ්‍යයන්ට ලබාදීම ආරම්භ කරනවා. පරිගණක අධ්‍යාපනය දියුණු කිරීමද ඊට ඇතුළත්. මේ සියල්ලම සඳහා අධ්‍යාපන ඇමතිතුමා විශේෂ අවධානයකින් කටයුතු කරනවා.

ඒ වගේම මේ ප්‍රදේශවල උසස් අධ්‍යාපන ආයතන ආරම්භ කළ හැක්කේ කෙසේදැයි උසස් අධ්‍යාපන ඇමතිතුමා සමඟ සාකච්ඡා කළ යුතුයි. රාජ්‍ය හෝ වෙනත් ප්‍රසිද්ධ පෞද්ගලික ආයතන හෝ සම්බන්ධ කරගනිමින් මේ ප්‍රදේශවල තරුණ තරුණියන්ට දැනුම ලබාදිය යුතුයි. වෘත්තීය අධ්‍යාපනය ලබා ගැනීමේදී වියදම් වෙනුවෙන් සහනදායි ණය ලබාදීමද සිදුකරනවා.

1980 දී අධ්‍යාපන ඇමති ලෙස පත් වූ විට වසර කිහිපයක්ම මේ ප්‍රදේශයේ පාසල් වෙත අවධානය යොමු කිරීමට මට අවස්ථාව ලැබුණා. මෙම පාසල අද මෙවැනි දියුණුවක් අත්කරගෙන තිබීම පිළිබදව මම ඉතා සතුටට පත්වෙනවා. එම ලැබූ දියුණුවෙන් අප සම්පූර්ණ ප්‍රයෝජනය ලබාගත යුතුයි. එම නිසා මේ පාසලට අඩු පාඩුවක්ව තිබෙන උසස් පෙළ විද්‍යාගාරය ඔබේ පාසලට ලබාදෙන බව මම මේ මොහොතේ ප්‍රකාශ කර සිටිනවා.

මේ පාසලේ දියුණුව එතැනින් නතර කළ නොහැකියි. ඔබ සියලුදෙනාගේ සහයෝගයෙන් අවශ්‍ය අනෙකුත් පහසුකම්ද දියුණු කරගත යුතුයි. ඒ ආකාරයට මහානාම ජාතික පාසල තව තවත් දියුණුවට පත් වේවා යැයි ඔබේ පාසලට සුභ ප්‍රාර්ථනා කරනවා.”

මාතෘකා