රට දියුණුව කරා ගෙන යෑමට නම් අපනයන ආර්ථිකයකට රට යොමු කළ යුතුයි

 ඡායාරූපය:

රට දියුණුව කරා ගෙන යෑමට නම් අපනයන ආර්ථිකයකට රට යොමු කළ යුතුයි

- අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

වත්මන් රජය බලයට පත්වන විට එතෙක් ලබාගෙන තිබූ ණය සඳහා පොලිය ගෙවීමටවත් හැකි ආර්ථික තත්ත්වක් රටේ නොතිබූ බවත්, විවිධ අභියෝගවලට මුහුණදී ඒ තත්ත්වය ක්‍රමයෙන් වෙනස් කිරීමට හැකි වූ බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය 6 වැනිදා සපුගස්කන්ද, මාකොළ, බියගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව තෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයට එක්වෙමිනි. එහිදී අගමැතිවරයා වැඩිදුරටත් මෙසේද කීය.

“අද බියගම දියුණු ප්‍රදේශයක් බවට පත්ව තිබෙනවා. එවැනි දියුණු ප්‍රදේශවලට බලපාන ගැටලු තමා අද මෙහි තිබෙන්නේ. ඒ සියල්ලට රුවන් විජයවර්ධන මහතා වියදම් ලබාදෙන බව මට විශ්වාසයි. එතුමාට මා පොරොන්දු වුණා මේ ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත රෝහල සම්බන්ධව ඒ සඳහා ඉඩම දැන් සකස් කර මුදල් වෙන් කර තිබෙනවා. ඒ සඳහා වන සැලැස්ම කඩිනමින් ලබාදෙන ලෙස මා සෞඛ්‍ය අමාත්‍යංශයටද දැනුම් දී තිබෙනවා.

අද වන විට බියගම අපනයන ආර්ථිකයක් තිබෙන ප්‍රදේශයක් බවට පත්ව තිබෙනවා. එදා බියගම වෙළඳ කලාපය ආරම්භ කරන විට එය සාර්ථක නොවන බවට ඇතැම් පාර්ශ්ව චෝදනා කළා. මේ වෙළඳ කලාප ඇතුළේ කර්මාන්ත ශාලා 55-60 ත් අතර ප්‍රමාණයක් මේ වන විට තිබෙනවා. ඊට අමතරව මුළු ප්‍රදේශයම ගත්විට කර්මාන්ත ශාලා 90ක් පමණ තිබෙනවා. කර්මාන්තශාලා පමණක් නොවෙයි. අද මේ ප්‍රදේශවල කන්ටේනර් නවතා තැබීමටද ජනතා මුදල් ගන්නවා. ඒ ආකාරයට විවිධ ආදායම් මාර්ග බිහි වී තිබෙනවා. ත්‍රිවීලර්, කඩසාප්පු, කුඩා වෙළඳ ව්‍යාපාර, ඇතුළු ජනතාවගේ ආදායම් මාර්ගවල දියුණවක් තිබෙනවා. ඒ සියල්ල ඇති වුණේ මේ ප්‍රදේශය කේන්ද්‍ර කරගෙන ඇති කළ ආර්ථික වැඩපිළිවෙළ නිසයි.

මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු යහපාලන රජය යටතේ යළිත් රටේ කර්මාන්තකරණයක් ඇතිකර අපනයන ආර්ථිකයට යෑමට තීරණය කළා. බියගම ආදර්ශයක් ලෙස ගෙන රටේ අනෙකුත් ප්‍රදේශවල අපනයන ආර්ථික සැලසුම් ඇති කළ යුතුයි.

බියගම කේන්ද්‍ර කරගෙන අපනයන ආර්ථිකයක් ඇති කිරීම සම්බන්ධව 1978 දී සාකච්ඡා කළා. එහි වැඩකටයුතු ආරම්භ කිරීමට වසර පහක් පමණ ගත වුණා. මේ නිසා එදා ඇතැම් අය අපිට විවිධ චෝදනා කළා. මේ කර්මාන්ත කවදාවත් බියගමට එන්නේ නැහැ කිව්වා. මේක මහ බොරුවක් කිව්වා. ආණ්ඩුවට මේ වැඩකටයුතු කිරීමට ශක්තියක් නැහැ කිව්වා. එදා කව්රුත් මේ වැඩපිළිවෙළ හරියනවා කියා කිව්වේ නැහැ.

අපි මේ වැඩකටයුතු ආරම්භ කළේ නිසි සැලැස්මකට අනුවයි. ඉඩම් ලබාගැනීම්, විදුලිය, ජලය ලබාගැනීම්, දුරකථන පහසුකම් ඇතුළු සියලු පහසුකම් ලබාදීල තමයි 1988 පමණ වනවිට කර්මාන්තශාලා විශාල වශයෙන් ඉදිකළේ. ඒ වැඩපිළිවෙළ 1994 වන විට ඉතාම සාර්ථක තත්ත්වයකට පත්ව තිබුණා.

කර්මාන්ත ඇමැතිවරයා වශයෙන් බියගම ප්‍රදේශයට පමණක් නොව හෝමාගම, පිළියන්දල, හොරණ ඇතුළු රටේ අනෙකුත් ප්‍රදේශවල කර්මාන්තශාලා ආරම්භ කිරීමට මා එදා ක්‍රියා කළා.

මේ ආකාරයට නිසි සැලැස්මකට අනුව ක්‍රමානුකූලව මේ රට සංවර්ධනය කරා ගෙන යෑම අපේ සැලැසුම වී තිබෙන බව කිව යුතුයි. බණ්ඩාරගම, මිල්ලනිය කේන්ද්‍ර කරගෙන විශාලතම වෙළඳ කලාපයක් ආරම්භ කිරීමට දැනටමත් අපි සැලැසුම් කර තිබෙනවා. ඒකළ හා ජා - ඇල වැනි ප්‍රදේශවලටද නව කර්මාන්ත ඇති කිරීමට අප සැලසුම් කර තිබෙනවා. මීට අමතරව අධිවේගී මාර්ගය පාදක කරගනිමින් වයඹ පළාතේ බිංගිරිය හා මාවතගම ප්‍රදේශවල තවත් විශාල කර්මාන්ත කලාප දෙකක් ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා. එමෙන්ම හම්බන්තොට කර්මාන්ත කලාප ආරම්භ කෙරෙනවා. තවත් කර්මාන්ත කලාපයක් මාතර ඉදිකිරීම සම්බන්ධව දැන් පරීක්ෂා කරගෙන යනවා.

මේ අනුව කර්මාන්තකරණය පුළුල් කර අපනයන ආර්ථිකය දියුණු කිරීමට අපි පියවර ගෙන තිබෙනවා. එදා මුලින්ම බියගම නිෂ්පාදන කර්මාන්තයක් අප ආරම්භ කළා. නමුත් අද ලෝකයේ තිබෙන්නේ දැනුම පදනම් කරගත් තාක්ෂණ කර්මාන්ත එවැනි කර්මාන්තයක් මේ ප්‍රදේශයේ ඇති කිරීමට අපි සැලසුම් කරගෙන යන බව කිව යුතුයි. ඒ යටතේ තොරතුරු තාක්ෂණ හා අනෙකුත් තාක්ෂණය පදනම් කරගත් ව්‍යාපාර ඇති කළ හැකියි.

එමෙන්ම දැනුම ලබාදීම සඳහා තාක්ෂණය පිළිබඳව උසස් අධ්‍යාපන ආයතනයක්ද ආරම්භ කිරීමට අප තීරණය කර තිබෙනවා. එයට ලංකාවේ අයට පමණක් නොව ලොව ඕනෑම රටක අයකුට ඇතුළත් විය හැකියි.

අපි සැලැසුම් කර තිබෙන එම වැඩපිළිවෙළ සාර්ථක වීමෙන් බියගම, වැලිවේරිය ඇතුළු මේ ප්‍රදේශවල ඉඩම්වල වටිනාකම තවත් ඉහළ යනවා. මේ ප්‍රදේශ එදා අපි සංවර්ධනය කළා සේ අද මෙහි සිටින මන්ත්‍රීතුමන්ලා, ඇමැතිතුමන්ලා එකතු වෙලා කළ යුතුයි. ඊට අවශ්‍ය උදව් උපකාර අපි ලබා දෙනවා.

මේ රට වැටී තිබෙන ණය උගුලෙන් බේරීමට නම් විදේශ විනිමය අවශ්‍යයි. එහෙම නම් අපනයන ආර්ථිකය අපි තව තවත් ශක්තිමත් කළ යුතුයි. එය සංචාරක ව්‍යාපාරය විය හැකියි. තොරතුරු තාක්ෂණය විය හැකියි. එහෙමත් නැති නම් නිෂ්පාදන කර්මාන්ත විය හැකියි. කෘෂිකර්මාන්තය ද අප අත්හල යුතු නැහැ. එක් පුද්ගලයකුට අක්කර 50-60 නැති වුණත් අක්කර 1/2කින් වුවත් මුදල් ඉපයිමේ වැඩපිළිවෙළකට යා හැකියි.

2015 දී අපි මේ රට භාරගන්නා අවස්ථාව වන විට එතෙක් ලබාගෙන තිබුණු ණය කන්දරාවට පොලියවත් ගෙවීමට නොහැකි තත්ත්වයකට රට පත්ව තිබුණා. කෙසේ හෝ විවිධ අභියෝග හා දුක් ගැහැට මධ්‍යයේ ඒ තත්ත්වය ක්‍රමයෙන් වෙනස් කිරීමට අපට හැකි වුණා.

රට දියුණුව කරා ගෙනයාමට නම් අපනයන ආර්ථිකයකට රට යොමු කළ යුතුයි. ඒ අනුව අපනයන ආර්ථිකය හා කුඩා ව්‍යාපාර ශක්තිමත් කිරීමට එන්ටප්‍රයිස් ලංකා වැඩසටහන අපි ආරම්භ කර තිබෙනවා.

එන්ටප්‍රයිස් ලංකා වැඩසටහන මගින් කුඩා ව්‍යාපාරිකයින්ට මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට ආධාර උපකාර කිරීමට පියවර ගෙන තිබෙන බව කිව යුතුයි. රටක් හැටියට විදේශ විනිමය උපයන්නේ කෙසේද කියා අප බැලිය යුතුයි. ඒ වගේම ලෝකයේ අනෙක් රටවල් මෙන් අපේ රට දියුණුව කරා ගෙනයන්නේ කෙසේද කියා අප බැලිය යුතුයි.

එදා පරාක්‍රමබාහු රජතුමා මායා ප්‍රදේශය පාලනය කරන කාලයේදී විදේශ විනිමය අවශ්‍ය බව සිතුවා. ඒ සඳහා කළුතර ප්‍රදේශයේ කුරුඳු වගා කළා. එහි ප්‍රතිඵල අවුරුදු පහකින් ලැබෙන්න පටන් ගත්තා. ඒ අනුව එම මුදල් රටේ සංවර්ධන වැඩකටයුතුවලට යෙදෙව්වා. ඒ අනුව අලුතින් සිතලා අප ඉදිරියට ගෙන යායුතුයි.

ශ්‍රී ලංකාව ලෝකයේ කුඩා රටක්. මේ රට දියුණු කර ඉදිරියට ගෙන යා යුතුයි. ඒ ගමන නිසි සැලැස්මකට අනුව යා යුතුව තිබෙනවා. රට බංකොළොත් වීමට ඉඩ දෙන්න බැහැ. බැනුම් අහගෙන හෝ රට ගොඩනැගීමේ ගමන ඉදිරියට ගෙනයා යුතුයි.

ආණ්ඩුව කතා කරනවා පමණයි. වැඩකරන්නේ නැති බවට ඇතැම් පාර්ශ්ව අද කෑගහනවා. බියගම බාරගෙන ක්‍රමවත් සැලැසුමකට අනුව සංවර්ධන වැඩපිළිවෙළ දියත් කරන අවස්ථාවේදීත් ඒවායෙහි ප්‍රමාදයක් සිදු වන බවට චෝදනා එල්ල වුණා. නමුත් ඒ සංවර්ධනයේ ප්‍රතිලාභ ලැබෙන විට අපි ගෙන ගිය වැඩපිළිවෙළ ජනතාවගේ ප්‍රශංසාවට ලක්වුණා. ඒ අනුව අපි ක්‍රමානුකූලව මේ රට දියුණුව කරා ගෙන යා යුතුයි.

අපි එදා ණය කන්දක් බාරගත්තා පමණක් නොවෙයි නැව් නැති වරායක් භාර ගත්තා. ඒ වගේම ගුවන් යානා නැති ගුවන් තොටුපොළක් භාරගත්තා. ඒ දෙකම දැන් ආර්ථිකය උද්පාදනය කරන තත්ත්වයට අපි පත් කරගෙන යනවා. ලබාගත් ණය වල ඉහළම වාරික ගෙවන්න සිදුවන්නේ 2018 වසරේ සිටයි. ඒ සියල්ල ගෙවා අවසන් කරන අතර රට සංවර්ධනය කර ජනතාවට යහපත් ජීවන තත්ත්වයක් අත්කර දීම අපේ අරමුණයි.”

මාතෘකා