සමූපකාරය නංවන්න ආණ්ඩුව කැපවෙනවා

 ඡායාරූපය:

සමූපකාරය නංවන්න ආණ්ඩුව කැපවෙනවා

 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

සමූපකාර ව්‍යාපාරය මනුෂ්‍යත්වයේ වටිනාකම ඉස්මතු කරන ක්ෂේත්‍රයක් වන අතර සමූපකාරයෙන් අන් අයට විය යුතු සේවාව පිළිබඳ මෙහිදී කතා කෙරෙන බවත් ඉදිරියේදී සමුපකාර ක්ෂේත්‍රයේ ප්‍රගතිය සඳහා ඉතාම වැදගත් තීන්දු තීරණ රාශියක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසෙන මහතා ඊයේ (08) ජාත්‍යන්තර සමුපකාර සැමරුම් දින උළෙල සමරමින් මඩකළපුවේදී පැවසීය. එහිදී වැඩිදුරටත් හෙතෙම මෙසේද කීය.

“96 වෙනි ජාත්‍යන්තර සමූපකාර දිනය නිමිත්තෙන් පැවැත්වෙන මේ උත්සවයට සහභාගී වීමට ලැබීම පිළිබඳව මා සතුටට පත්වෙනවා. මගේ මතකයේ හැටියට ජාත්‍යන්තර සමූපකාර උළෙලවල් රාශියකට මා සහභාගී වී තිඛෙනවා. මා මුලින්ම ජාත්‍යන්තර සමූපකාර දිනයට සහභාගී වුණේ සමූපකාර සේවකයෙක් වශයෙන්. ඉන්පසුව ඇමතිවරයෙක් වශයෙන්. ඉන් පසුව ඔබේ ජනාධිපතිවරයා හැටියටයි. මීට පෙර මා පවසා ඇති පරිදි සමූපකාර සේවකයෙක් මේ රටේ ජනාධිපති ලෙස පත්වූ ප්‍රථම අවස්ථාව මෙය බව ඔබ දන්නවා.

සමූපකාර ක්ෂේත්‍රය සම්බන්ධයෙන් මෙහි සිටින ඔබට තිබෙන්නේ පුළුල් අත්දැකීම් සමූහයක්. සමූපකාර ව්‍යාපාරය කියන්නේ සම්පූර්ණයෙන්ම ජනතාවාදී ව්‍යාපාරයක්. එය රාජ්‍ය ව්‍යාපාරයක් නොවේ. ජනතාව අතරේ ක්‍රියාත්මක වන්නා වූ සාමූහිකත්වය පිළිබිඹු වන ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයක් ලෙසයි අපි එය හඳුන්වන්නේ. රාජ්‍ය ප්‍රතිපත්තිය කුමන ආකාරයක වුවත් සමුපකාර ප්‍රතිපත්තිය හා රාජ්‍ය ප්‍රතිපත්තිය අතරේ ඇතිවෙන්නා වූ යම් ගැටුම් තත්ත්වයක් තිබේ නම් ඒවා නිරාකරණය කර ගැනීමට අපට හැකියාව තිබෙනවා.

ලෝකයේ ධනවත් රටවල දියුණු සමූපකාර ව්‍යාපාර තිබෙනවා. ඒ නිසා රජයක ආර්ථික ප්‍රතිපත්තිය හා දේශපාලන ප්‍රතිපත්තිය කිසි විටෙකත් සමූපකාර ව්‍යාපාරයේ ප්‍රතිපත්ති හා ක්‍රියාත්මක වීමේදී ගැටීමක් අවශ්‍ය වන්නේ නැහැ. අපේ රටේ සමූපකාර ව්‍යාපාරය සම්බන්ධයෙන් තිබෙන දීර්ඝකාලීන අත්දැකීම් සමඟ මේ සමූපකාර ව්‍යාපාරයට කාගේත් තිබෙන්නේ ඉමහත් වූ ගෞරවයක් හා ආදරයක්. සමූපකාර ව්‍යාපාරය කියන්නේ සාමූහිකත්වය හා පොදු බවයි. තනියෙන් ජීවත්වීමට මිනිසුන් ගන්නා උත්සාහයට වඩා සාමූහිකත්වයේ වැදගත්කම ප්‍රතිපත්තියක් හා දර්ශනයක් වශයෙන් කියා දෙන ව්‍යාපාරයක්. තනියෙන් ජීවත්වීමට උත්සාහ ගන්නා වූ මිනිසුන් නොදියුණු මිනිසුන් විදියටයි උගත් සමාජය සලකන්නේ. මිනිසුන්ගේ වටිනාකම වැඩිවන්නේ පෞද්ගලිකත්වය ඉක්මවා සාමූහිකත්වයෙන් යුතුව ඉදිරියට යාමට දරන උත්සාහයේදී යි.

සමූපකාර ව්‍යාපාරය කියන්නේ මනුෂ්‍යත්වයේ වටිනාකම ඉස්මතු කරන ක්ෂේත්‍රයක්. තමාගෙන් අන් අයට විය යුතු සේවය පිළිබඳවයි එහිදී කතා කරන්නේ. ඒ වගේම අන් අයගෙන් පොදු සමාජයට වන්නා වූ සේවය පිළිබඳවයි එහි කතා කරන්නේ. ඒ නිසා සමුපකාර දර්ශනය හා ප්‍රතිපත්ති ලෝකයේ කිසිම දවසක යටපත් කරන්න පුළුවන්කමක් නැහැ. එය සැබෑ මනුෂ්‍යත්වයේ ගුණාංගයක්. සමුපකාර ව්‍යාපාරය ඇතැම් විට වැටෙනවා. යළිත් නැගිටිනවා. එය පුදුමයක් නොවෙයි. බොහෝ විට මිනිසුන්ගේ පෞද්ගලික ජීවිතත් ඒ ආකාරයෙන්මයි. සමහර විට රටවල්වල තත්ත්වයත් එසේමයි. විවිධ සංවිධානවල තත්ත්වයත් එයයි.

තමන් ගැන විතරක් හිතන අයට සමූපකාර ව්‍යාපාරයේ රැඳී සිටීමට හැකියාවක් නැහැ. සමාජයේ අනෙක් අයට ආදරය කරන, ගරු කරන අනෙක් අයගේ ප්‍රශ්න තේරුම් ගන්නා පිරිසට තමයි සමූපකාර ව්‍යාපාරයක රැඳී සිටින්නට පුළුවන්. ඒ වගේම මෙතැනදී කළ සමහර කතාවලින් සමූපකාර ව්‍යාපාරයේ තිබෙන ප්‍රශ්න සම්බන්ධයෙන් දුක් ගැනවිලි ඉදිරිපත් කළා. රජය පනවා ඇති බදු පිළිබඳව කරුණු ඉදිරිපත් කළා. ඇතැම් කතාවලින් ඔබ ගැන රජය බලන්නේ නැහැ වගේ අදහසක් ඉදිරිපත් වුණා. ඔබ දෙස නොබලනවා නම් ඔබ ක්‍රියා කළ යුත්තේ කෙසේද? එහෙම නම් ඔබ කෙරෙහි අවධානය යොමු කර ගන්න ඔබ තුළ වැඩපිළිවෙළක් තිබෙන්නට ඕනෑ. මේ රටේ සමුපකාර ව්‍යාපාරය ශක්තිමත් ව්‍යාපාරයක් කියන එක ඔබ පෙන්වන්න ඕනෑ. මීට වඩා ඔබ තුළ හඬක් නැගෙන්න ඕනෑ. ඔබේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න ඔබ සැමවිටම පොදු වේදිකාවක් ලෙස ඉස්සරහට එන්න ඕනෑ. එයින් මා අදහස් කරන්නේ වැඩවර්ජන වගේ දේවල් නොවෙයි. ඔබ ඉතාමත් ගුණාත්මක වූ මහජන ජනතාවාදී ව්‍යාපාරයක්. ඒ නිසා ඔබ සිටින බව පෙන්වන්න ඔබට ශක්තියක් තිඛෙනවා. විශේෂයෙන්ම ජාතික සමූපාකාර මණ්ඩලය මෙහිදී නායකත්වය ගත යුතුයි. සමුපකාර ව්‍යාපාරයේ තිඛෙන්නා වූ ගැටලු සහ ප්‍රශ්න විසඳා ගැනීමට ජාතික සමූපකාර මණ්ඩලය, අමාත්‍යාංශය එක්ව මීට වඩා ක්‍රියාශිලී වැඩපිළිවෙළකට අවතීර්ණ වන ලෙස මා කාරුණිකව ඉල්ලා සිටිනවා.

ලබන මාසේ ජාතික ආර්ථීක සභාවට, අමාත්‍යාංශයටත්, ජාතික සමූපකාර මණ්ඩලයටත් මා සමඟ එක්වන්නැයි කියලා ආරාධනා කරනවා. ඒ වගේම සමුපකාර ක්ෂේත්‍රයේ සිටින විවිධ සංවිධානවල විද්වතුන්ටත් ඒ අවස්ථාවට මම ආරාධනා කරනවා. එහිදී ඔබේ ප්‍රශ්න සාකච්ඡා කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඒ සාකච්ඡාවට කිරිවන්දෙණිය මහත්මයා වැනි විද්වතුන් සහභාගී වෙයි කියා මා විශ්වාස කරනවා. මුදල් අමාත්‍යාංශය සහ අනෙකුත් ආයතන සියල්ල කැඳවලා ඔබේ ප්‍රශ්න සාකච්ඡා කරන්න අපිට පුළුවන්. ඒ නිසා ඉදිරි මාස කිහිපය තුළ සමූපකාර ක්ෂේත්‍රයේ ප්‍රගතිය සඳහා ඉතාමත් වැදගත් තීන්දු තීරණ රාශියක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව මෙහිදී ප්‍රකාශ කළ යුතුයි. මම හිතනවා කතා කරනවාට වඩා වැඩක් කරලා පෙන්වන එක හොඳයි කියලා.

96 වෙනි ජාත්‍යන්තර සමූපකාර දිනය අපි අද සැමරුවේ මේ රටේ සමුපකාර ව්‍යාපාරය ශක්තිමත් අඩිතාලමක් මත වඩාත් කාර්යක්ෂම ව්‍යාපාරයක් වශයෙන් ඉදිරියට යන්න අවශ්‍ය ඉදිරි පියවර ගැනීමේ අපේක්ෂාවන් පෙරදැරි කරගෙනයි. ඉදිරි මාස කිහිපය තුළ ඔබට එහි ප්‍රතිඵල පෙන්වන්න මා බලාපොරොත්තු වෙනවා ” යැයි පැවසීය.

මාතෘකා