තොරතුරු දැනගැනීමේ පනතින් නිසි ප්‍රයෝජන ගන්න කිසිවෙක් උනන්දු නැහැ

 ඡායාරූපය:

තොරතුරු දැනගැනීමේ පනතින් නිසි ප්‍රයෝජන ගන්න කිසිවෙක් උනන්දු නැහැ

ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති

විසිවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ස්වාධීන මන්ත්‍රී යෝජනාවක් ලෙස ගෙන ඒමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කිරීමත් සමඟම මෙරට දේශපාලනය උණුසුම් වුවද, මේ වන විට එම උණුසුම පහව ගොස් තිබේ. කෙසේ වෙතත් විජයකලා මහේෂ්වරන් මන්ත්‍රීතුමියගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ජවිපෙ ස්ථාවරය රජයට පක්ෂපාතී යැයි රජයට නැඟෙන චෝදනා සහ ඉදිරි පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් ජවිපෙ සූදානම ආදී කරුණු අරබයා ජවිපෙ ප්‍රතිචාරය කෙබඳුදැයි ඡන්ද දායකයා තවමත් අවධියෙන් සිටියි. ඉදින් එම කාරණා කරුණු පිළිබඳව විමසීමට අද 'රැස' සමඟ සංවාදගත වන්නේ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්තිය.

 

විසි වැනි ව්‍යවස්ථා සංශෝධනය හකුළගන්න වෙන තත්ත්වයක් නේද දැන් පේන්න තියෙන්නේ?

අපිට නම් එහෙම තත්ත්වයක් පේන්න නැහැ. එහෙම හකුළගන්න වෙන තත්ත්වයක් ගැන කවුරුවත් අපිට වාර්තා කරලත් නැහැ. දැනට අපි එය පාර්ලිමේන්තුවට, කතානායකවරයාට බාරදී තිබෙනවා. ඊට පස්සේ නීතිපතිවරයාගේ නිර්දේශ අරගෙන ගැසට් කිරීම ආදී නීතිමය ක්‍රියාමාර්ග ගැනීම තමයි දැන් ඉතිරි වෙලා තියෙන්නේ.

 

ඒ කටයුතුවලට බාධා වෙන තත්ත්වයක්ද තියෙන්නේ?

නැහැ. දැනට එහෙම බාධාවක් පේන්න නැහැ. මොකද මේ 20 වැනි සංශෝධනය අපි ගෙනාවේ එය ආණ්ඩුව ගේන්නේ නැති හින්දයි. ඇත්තටම මේක ආණ්ඩුව විසින් ගෙන ආ යුතු යෝජනවාක්. මොකද මේ ආණ්ඩුව ජනවරම ලබාගෙන තිබෙන්නෙම විධායක ජනාධිපතිධුරය අහෝසි කරනවා කියන පොරොන්දුව මතයි. එතකොට මෙය ක්‍රියාත්මක කිරීමේ වගකීම සම්පූර්ණයෙන්ම තියෙන්නෙ ආණ්ඩුවටයි. අනෙක මේකෙන් හොඳක් වෙන්නෙත් අපට නෙවෙයි. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදී පැත්තෙන් ගත්තොත් මේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න ඉන්න හුඟ දෙනෙකුට ජනතාවගේ කැමැත්ත ලැබෙයි කියලා මම හිතන්නෙ නැහැ.

 

අද ජනතා විමුක්ති පෙරමුණ මුල් කාලෙ තරම් සටන්කාමී නැහැ කීවොත්?

1971, 1988, 1989 කාලවලදි අපට ආයුධ එක්කයි මුහුණ දෙන්න සිදු වුණේ. නමුත් දැන් පවතින ප්‍රජාතන්ත්‍රවාදී වටාපිටාව තුළ අපි ප්‍රජාතන්ත්‍රවාදීව ඊට මුහුණ දෙනවා. ඒ ප්‍රජාතන්ත්‍රවාදය ඇතුළේ අපේ පක්ෂයේ සටන්කාමී බව අඩු වෙලා කියලා කෙනෙකුට හිතෙනවාද දන්නේ නැහැ.

නමුත් අපේ ක්‍රියාකාරීත්වයේ කිසිම අඩුවීමක් වෙලා නැහැ. අපි වැඩි වන බඩු මිල, වංචා දූෂණ, නාස්තිය හොරකම් ගැන කතා කරනවා. රජයේ වැඩවලට නිසි පිළිවෙළක්, සැලැස්මක් නැහැ කියලා අපි කතා කරනවා. ආණ්ඩුවේ අඩුපාඩු ගැන කියනවා. ඒ වගේම අපි වෘත්තිය සමිති හදලා තියෙනවා. ඒ අතර ගොවි ව්‍යාපාරය තුළ අද අපි ඉදිරියෙන් වැඩ කරනවා. ශිෂ්‍ය ව්‍යාපාරය තුළ අපි සක්‍රීයව ඉන්නවා. ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබාගන්න අපි සාධාරණව අරගල කරනවා.

 

ඒ විදිහට ආණ්ඩුව විවේචනය කරන ජ.වි.පෙ. ම ආණ්ඩුවට සහයෝගය දෙනවා කියලත් කියනවා?

අපි ආණ්ඩුවත් එක්ක ඉන්නවා, අපි අගැමතිවරයාට උදව් කරනවා කියල කියන අයගෙන් මම අහන්න කැමතියි විශ්වාසභංගය වෙලාවේ අපි කොහේද හිටියේ කියලා මතක් කරගන්න කියලා. අගමැතිතුමාට විරුද්ධ විශ්වාසභංගයේදී අපි ඒ පැත්තේ හිටියා නම් එහෙම චෝදනා කරන එක හරි. නමුත් අපි ආණ්ඩුවට විරුද්ධවයි ඡන්දය දුන්නේ. මහින්ද මහත්මයා නම් අයවැය ඡන්දයට එන්නෙත් නැතුව ආණ්ඩුවට උදව් කළාද කියන්න අපි දන්නෙ නෑ. අපි නම් අයවැයේදි ආණ්ඩුවට උදව් කළේ නැහැ. ඒකාබද්ධ විපක්ෂයේ කට්ටියත් කියනවා අප ආණ්ඩුව උදව් කරනවා කියලා. ඒ වගේම විමල් වීරවංශ එයාගේ පාස්පෝට් එක හදාගන්නකොට ඒ කතා ඒකාබද්ධ විපක්ෂයට අදාළ නැහැ. ඊයේ පෙරේදා ආණ්ඩුව තෙල් මිල වැඩි කළේ ඇයි ? අඩු කළේ ඇයි කියලා අපි පාර්ලිමේන්තුවේදී අහනකොට වීරවංශට නහුතෙට නගිනවා. වීරවංශ එතකොට අගමැති රනිල් වගේ අපට උත්තර දෙනවා. එතකොට ආණ්ඩුවට උදව් කරන්නේ අපිද? එයාලාද? ඔය කාටවත් හිතෙන්නෙ නැත්තෙ ඇයි අපි සමාජවාදය හදනවා කියලා.

මත කියන්නේ නිකම් පැළවෙන ඒවාට නෙවෙයි. ජනමාධ්‍යයේත් වගකීමක් තියෙනවා ඒ ගැන. ආණ්ඩුවත් සමහර වෙලාවට මතයක් හදනවා අපි ආණ්ඩුවට උදව් කරනවා වගේ. ඒක ආණ්ඩුවට වාසියි. අපි ආණ්ඩුව එක්ක ඉන්නවා කියලා කෑගහන ඒකාබද්ධ විපක්ෂය පහුගිය අවුරුදු තුනටම ජනතා ප්‍රශ්න වෙනුවෙන් කළ සේවය මොකක්ද? නමුත් අපි ජනතා ප්‍රශ්න ගැන හඬ නගනවා. ජනතා විමුක්ති පෙරමුණේ නාමල් කරුණාරත්න ගොවීන්ගේ ප්‍රශ්නවලට උද්ඝෝෂණය කරනවා. සමන්ත විද්‍යාරත්ත පරිසර ප්‍රශ්නවලට කතා කරනවා.

 

අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ආණ්ඩුව විසින් ආරක්ෂා කර ඇති බව ප්‍රජාතන්ත්‍රවාදී පාර්ශ්වයන්ගේ අදහසයි. ඒ පිළිබඳ ඔබේ පක්ෂයේ ස්ථාවරය කුමක්ද?

උන්න හැටියට මළා මැදයි කියලා තොරතුරු දැනගැනීමේ පනතක් තියෙන එක හොඳයි කියලා සෑහීමකට පත්වෙන්න අපට බැහැ. මම කියන්නේ තොරතුරු දැනගැනීමේ පනත හරියට ක්‍රියාත්මක කරලා එහි ප්‍රතිඵල ලබන තත්ත්වයක නෙවෙයි අපි ඉන්නේ. තොරතුරු දැනගැනීමේ පනතින් ගොඩාක් අය ඉල්ලන්නේ රාජ්‍ය ආයතනවල පුද්ගලික කාරණාවලට අදාළ තොරතුරු. එහෙම නැතිව රටේ ආර්ථික, සමාජ, සංස්කෘතික, ජාතික පැවැත්මට අදාළ තොරතුරු, විනාශ වෙමින් යන අපේ පරිසර පද්ධතිය, වන ගහනය ආරක්ෂා කරන්නේ කොහොමද මේ වගේ වැදගත් කරුණු ගැන තොරතුරු නෙවෙයි. අද ඒ ගැන පනත හරහා විමසන්න කිසිවෙක් උනන්දු වන්නේ නැහැ. ඒ නිසා ඒ පනතින් නිසි ප්‍රයෝජන ගන්න ජනතාවත් දැනුවත් විය යුතුයි. කේළාම් සොයන්න මෙවැනි පනතක් අවශ්‍ය නැහැ. කේළාම්, ඕපාදූප කොහොමටත් මේ සමාජයේ තියෙනවනේ.

 

ඔබේ පක්ෂය හැරයන සාමාජිකයන් පක්ෂ නායකත්වය ඇතුළු සාමාජිකයන්ට එල්ල කරන මඩ ප්‍රහාර ගැන ඔබේ අදහස කුමක්ද?

අපි ඒවා ගණන් ගන්නෙ නැහැ. බල්ලෙක් බිරුවට කඳු පාත්වෙන්නේ නැහැ කියලා කියමනක් තියෙනවානෙ. ඔවුන් කරන ගැරහීම් ගැන අපිට හිතන්න දෙයක් නැහැ. ඔවුන් ගිය ස්ථානවල ස්ථාවරය හදාගන්න අපට ගරහන එක ඔවුන්ගේ රාජකාරියේ කොටසක්. ඔවුන් ඒ රාජකාරිය නොකොළොත් ඔවුන්ට පඩි ගෙවන එකක් නෑනේ.

 

ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් පක්ෂයේ සැලසුම මොනවාද?

විශේෂ සැලසුමක් නැහැ. මොකද අපි මේ රටේ දේශපාලනය කරන්නේ මැතිවරණයක් දිහා බලාගෙනම නෙවෙයි. හුඟක් දෙනා පක්ෂ දේශපාලනය කරන්නේ මැතිවරණයක් එන්නේ කවදද කියල බලාගෙනයි. ඇත්තටම අපට තියෙන ලොකුම ප්‍රශ්නය ඒක නෙවෙයි, ප්‍රශ්න විසිරුණු විපරිත වූ සමාජය සංවිධානය කරන්නේ කොහොමද කියන එකයි. මේ ජනතාවගේ ඔළුව හදන්නේ කොහොමද කියන එකයි. ජනතාව වෙනස් නොකර මේ සමාජය වෙනස් කරන්නත් බැහැ. මේ සමාජයේ තියෙන වැරැද්ද පෙන්නා දීම අපි විසින් කළ යුත්තක්. සමාජය වෙනස් කිරීමේදී පිළිගත් දේශපාලන පක්ෂයක් විදිහට නීත්‍ය‍නුකූලව පත්කරගන්න මහජන නියෝජිතයන් අපට වැදගත් වෙනවා. නමුත් සමාජ නායකයන් තෝරාපත් කරගන්න ඕනෑම වෙලාවක ඕනෑම මැතිවරණයකට අපි ඉදිරිපත් වෙනවා. හොරකම් කරලා, මිනී මරලා වීරයෝ වගේ ඉන්න ඇතැම් මහජන නියෝජිතයෝ ඡන්දෙ ළංවෙද්දි බෝධිසත්වයෝ වගේ හැසිරෙන්නේ තමන්ගේ ඡන්ද ටික වෙනුවෙන් ප්‍රතිරූප හදාගන්නයි. තෙවරප්ප්පෙරුම පාරේ බිම නිදාගන්නේ, විජයකලා කෑ ගහන්නේ, රන්ජන් රාමනායක මොනවා හරි කියන්නෙත් තමන්ගේ ඡන්ද ටික වෙනුවෙනුයි. නමුත් අපි එහෙම ඡන්ද ටික බලාගෙන දේශපාලනය කරන්නේ නැහැ. ඒක පිටින් ඉඳන් බලන කෙනෙකුට මෝඩකමක් කියලා හිතුණත් ඒ මෝඩකමට අපි කැමැතියි. ඡන්ද බලාගෙන දේශපාලනය කළා නම් මම කොළඹ දිස්ත්‍රික්කයෙන් ඡන්දය ඉල්ලලා මාතරට ගිහින් පරදින්නෙ නෑනේ. ඒ නිසා පළාත් සභා කියලා විශේෂයක් නැහැ. ඕනම මැතිවරණයකට අපි ඉදිරිපත් වෙනවා.

 

ආණ්ඩුවේ ‍හොරු ඇල්ලීමේ සහ දූෂණ විරෝධී වැඩපිළිවෙළ ගැන ඔබේ පක්ෂය සෑහීමකට පත්වෙනවාද?

කොහෙත්ම නැහැ. පහුගිය ආණ්ඩුව හොරකම්, දූෂණ, වංචා කළා. ඒවාට දඩුවම් දෙනවා, ක්‍රියාමාර්ග ගන්නවා කියලා බලයට ආව මේ ආණ්ඩුවත් ඒ ටිකම ඊටත් වඩා හොඳින් කරගෙන යනවා. ඒ සියල්ලම ජනතාව රවටන දේවල් විතරයි. ඒ පිළිබඳ කිසිම ආකාරයකින් සෑහීමකට පත්වෙන්න අපිටවත් ජනතාවටත් බැහැ.

 

විජයකලා මහේෂ්වරන් රාජ්‍ය අමාත්‍යවරිය කළ ප්‍රකාශය පිළිබඳ ජනතා විමුක්ති පෙරමුණේ මතය කුමක්ද?

ඒක අපට අදාළ නැහැ. ඒ වගේ ප්‍රකාශවලට වැඩිපුර ජනප්‍රියතාවක් දෙන්න අවශ්‍ය වන්නේ නැහැ. හේතුව ඇය එහෙම ප්‍රකාශයක් කළේ ඒ විදිහට ජනප්‍රිය වෙන්න හිතාගෙන තමයි. මොකද ඇයට විද්‍යා දැරියගේ ඝාතන සිදුවීමත් එක්ක පසුගිය කාලේ උතුර පැත්තේ යන්න බැරි තත්ත්වයක් තිබුණා. තෙවරප්පෙරුම මහත්මයා පාරේ නිදාගන්න එකයි විජයකලා කරන ප්‍රකාශයේයි ලොකු වෙනසක් නැහැ. දෙකම එකයි. ජනතාවත් ඒවා අහන්න සැදී පැහැදී ඉන්නවා. මාධ්‍යයත් තමන්ගේ මාධ්‍ය ජනප්‍රිය කරගන්න ඒවා උස්සලා දානවා.

සාකච්ඡා කළේ [සුරේකා නිල්මිණි ඉලංගකෝන්]

මාතෘකා