කමිටුවෙන් උසස්වීම් දී ඇත්තේ පළිගැනීම්වලට ලක්වූවන්ට පමණයි

 ඡායාරූපය:

කමිටුවෙන් උසස්වීම් දී ඇත්තේ පළිගැනීම්වලට ලක්වූවන්ට පමණයි

අමාත්‍ය අකිල විරාජ්

අධ්‍යාපන ක්ෂේත්‍රයේ පසුගිය සමයේ දේශපාලන පලිගැනීම්වලට ලක්වූවන්ට සාධාරණත්වය ඉටුකිරීම සඳහා පත්කළ කමිටුවෙන් උසස්වීම් ලබාදී ඇත්තේ සත්‍ය වශයෙන්ම දේශපාලන පළිගැනීම්වලට ලක්වූ අයට පමණක් බවත් ඔවුන් අතර නුසුදුස්සන් කිසිවෙකු නැති බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

අමාත්‍යවරයා ඒ බව පැවසුවේ අධ්‍යාපන අමාත්‍යංශයේ පසුගියදා (04) පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

එදා දේශපාලනය මත තොග පිටින් විදුහල්පති සේවයට පත්කළා. අධ්‍යාපන පරිපාලන සේවයට තොග පිටින් පත්කළා. එයට අමතරව තමයි දේශපාලන පළිගැනීම් කියලා පත්වීම් දුන්නේ. අපි එහෙම කළේ නෑ. එදා ලංකාවේ පළමුවෙනියාට ලකුණු ලැබුණ කෙනාටත් ගුරුවරයෙක් වෙන්න බැරිවුණා. මේ කරන අසාධාරණය මේ විදිහට පාසල් පද්ධතිය, පාසල් අධ්‍යාපනය කඩා කප්පල් කිරීමට යෑම අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් මම පිළිකුලෙන් හෙළාදකිනවා. ඒ වගේම මේ රටේ අනාගතයට මේ වගේ දේවල් කරන්න එපා. අපි වෙනම දේශපාලනය කරමු. හැබැයි රටේ පාසල් පද්ධතියට, අධ්‍යාපනයට දේශපාලනය දාලා හොඳට යන අධ්‍යාපනය කඩාකප්පල් කරන්න එපා කියලා කියනවා.

එක්තරා පුවත්පතක තිබෙනවා 4 වැනිදා සියලුම පාසල් වැසේ කියලා. මේක භයානක කතාවක්. මේ රටේ අධ්‍යාපනය ලබන ලක්ෂ 42ක් දරුවන්ට කරන නිගාවක් මේක. මේ වගේ ප්‍රවෘත්තියක් දාන්නේ කොහොමද. 1994 දේශපාලන පළිගැනීම් කියලා ඉවක් බවක් නැතිව 6080කට පමණ දේශපාලන පත්වීම් දී තිබෙනවා. අධ්‍යාපන පරිපාලන සේවයේ විශාල පිරිසක් නියෝජ්‍ය විදුහල්පති ශ්‍රේණිය දක්වා යැව්වා. ඒත් 1994 සිට මේ දක්වා අපි ඉතාම සාධාරණ ලෙස අවුරුදු 23ක සිට ඉල්ලූ අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන්ගෙන් සමන්විත කමිටු පත්කරලා ඒ කමිටුවලින් දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන් කියන අය පිළිබඳ සොයා බලා සාධාරණ ලෙස ඒ අය වෙනුවෙන් කටයුතු කළා. අපි මේ අයට සාධාරණය ඉටු කරන්න අවශ්‍යයි. මේ අය එක්සත් ජාතික පක්ෂයේ පළිගැනීම්වලට ලක්වූ අය නෙවෙයි. මෙතැන ඉන්නවා

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ අය, ජනතා විමුක්ති පෙරමුණේ අය, එක්සත් ජාතික පක්ෂයේ අයත්. අවුරුදු 23ක් තුළ දේශපාලන පළිගැනීම් වලට ලක්වූවන්ට සාදාරණය ඉටු කරනවා” යැයි අමාත්‍යවරයා පැවසීය.

[අසේල ලියනගේ]

මාතෘකා