ජාති ආගම් භේද අවුස්සවන කිසිවෙකුට රජ පුටුවට යෑමට ජනතාව ඉඩ තබන්නේ නෑ

 ඡායාරූපය:

ජාති ආගම් භේද අවුස්සවන කිසිවෙකුට රජ පුටුවට යෑමට ජනතාව ඉඩ තබන්නේ නෑ

අමාත්‍ය සජිත් ප්‍රේමදාස

ජාති, ආගම් භේදය අවුළුවන කිසිදු පුද්ගලයෙකුට රජ පුටුවට යන්නට වත්මන් යහපාලන රජය සහ රටේ ජනතාව ඉඩ තබන්නේ නැති බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පසුගියදා (06) එරාවූර් හි ඉදිකළ 87 වන ආදර්ශ ගම්මානය ජනතා අයිතියට පත්කිරීමේ උත්සවයට සහභාගී වෙමින් පැවසීය.

“මේ දිනවල දේශපාලන ක්ෂේත්‍රය තුළ අරුම පුදුම කතා අසන්නට ලැබෙනවා. මා එය හඳුන්වන්නේ දිව දෙකේ දේශපාලනය නොව දිව හතේ දේශපාලනය ලෙසටයි. කටුස්සා කියන සත්වයා ඔබ හොඳින් දන්නවා. කටුස්සා පාට මාරු කරමින් හැසිරීම් රටාව වෙනස් කරනවා. දේශපාලන ක්ෂේත්‍රය තුළ දිව හතේ කටුස්සෝ ටිකක් නිර්මාණ වී විවිධ ප්‍රකාශ සිදුකරමින් විවිධ ක්‍රම උපායන් අනුගමනය කරනවා. ජනතාව ප්‍රතික්ෂේප කර ගෙදර යැවූ කණ්ඩායම අද දිව හතේ කටුස්සන් බවට පත්වෙලා.

එදා බලයේ සිටින විට බේරුවලට ගොස් පිදුරු දමා ගිනිකූර ගැහුවා. මෑත කාලයේදී ඔවුන් නුවරට ගොස් වැඩිපුර පිදුරු දමා ගිනිකූර ගැහුවා. එසේ සිදුකළ ඔවුන්ට නැවත වරක් ජනාධිපති මන්දිරයට, අරලියගහ මන්දිරයට යන්නට ඔවුන්ට අශාවක් ඇතිවෙලා. ඒ ආසාව තුළ ඔවුන් බලහත්කාරයෙන් ඉස්තාර් උත්සවවලට යනවා. ඔවුන් බලහත්කාරයෙන් ඉස්ලාමීය ජනතාව අතර ගොස් “මගේ පෙර වැරදිවලට සමාවෙන්න, මා ඔබගේ දේවස්ථාන පුච්චා නැහැ, මගේ අතින් සිදුවූයේ අත්වැරදීමක්, ජාති, ආගම්, වර්ග, බේදය නිර්මාණය කළේ මගේ පැවැත්ම නිසා මට සමාවෙන්න” යනුවෙන් පවසනවා. එසේ ප්‍රකාශ කරමින් විවිධ ස්ථානවලට යන දිව හතේ කටුස්සන් අද දේශපාලන ක්ෂේත්‍රය තුළ බිහිවෙලා.

බුදු රජාණන් වහන්සේ දේශනා කළ ඒ උතුම් ධර්මයට අනුව යන රාජ්‍ය ප්‍රතිපත්තියක් යහපාලන රජය ක්‍රියාවට නංවන්නේ. 'සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නීරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, වෛර නොකරත්වා, දුකෙන් මිදෙත්වා' යන ප්‍රතිපත්තිය යහපාලන රජය ඉදිරියට ගෙන යන්නේ. ජාති, ආගම් බේදය අවුළුවා කිසිම කෙනෙකුට රජ පුටුවට යන්නට මේ රටේ ජනතාව ඉඩ තබන්නේ නැති බව මා වගකීමෙන් ප්‍රකාශ කරනවා” යැයි අමාත්‍යවරයා පැවසීය.

මාතෘකා