පළමුව රට ගැන, දෙවෙනුව පක්ෂය ගැන සිතිය යුතුයි

 ඡායාරූපය:

පළමුව රට ගැන, දෙවෙනුව පක්ෂය ගැන සිතිය යුතුයි

පා.ම. එස්. එම්. මරික්කාර්

විජයකලා මහේෂ්වරන් මහත්මිය සිදුකළ ප්‍රකාශය කවර ආකාරයකින් බැලුවද කිසිම අයුරකින් එය සාධාරණීකරණය කිරීමේ හැකියාවක් නොමැති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා ඊයේ (05) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය.

නිව්යෝක් ටයිම්ස් පුවත්පත හෙළි කළ ගවේශනය පිළිබඳ ජනාධිපති කොමිසමක් පත්කර ජනතාවට සත්‍ය හෙලි කිරීම ජනාධිපතිවරයාගේ වගකීම බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

“විජයකලා මහේස්වරන් කළේ නැවත එල්.ටී.ටී.ඊ. ගෙන එන්න අවශ්‍යයි වැනි ප්‍රකාශයක්. මේ රටේ අවුරුදු 30ක් යුද්ධය පැවතුණා. විශාල ලේ කඳක් බිමට වැටුණා, ආබාධිත රණවිරුවන් බිහිවුණා. උතුරේ, දකුණේ සාමය නැතිවෙලා හිත් බිඳිච්ච රටක්. 2009 යුද්ධය අවසන් වනවිට ජනතාවට සාමයෙන් සමගියෙන් ජිවත්වෙන්න අවශ්‍ය වටපිටාව හැදෙයි. ක්‍රමානුකූලව එකට එකතුවෙලා ඉන්න පුලුවන් වෙයි කියන බලාපොරොත්තු ඇති වුණා. සංවර්ධනයේ අරුණලු උතුරටත් දකුණටත් ලැබෙයි කියා බලාපොරොත්තුවක් තිබුණා. මේ රටට ආදරේ සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තුව නැවත යුද්ධයක් ඇති නොවීමයි. ඒ නිසා විජයකලා මහත්මියගේ ප්‍රකාශය අපි තරයේ හෙළා දකිනවා. ඇමතිධුරය ඉවත්කර පක්ෂ මට්ටමෙන් විනය පරීක්ෂණයක් කර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් පරිදි මන්ත්‍රී පට්ටමෙන් ඉවත් කළ යුතුයි කියන මතයේ අපි ඉන්නවා.

දැන් මේ ප්‍රකාශය අරගෙන ඒකාබද්ධ විපක්ෂයේ අය කෑ ගහනවා. මහින්ද රාජපක්ෂ මහත්තයා අරන්තලාවේ භික්ෂූන් ඝාතනය කරපු කරුණා අම්මාන්ලට පක්ෂයේ උප සභාපතිකම දෙනකොට මේ ගොල්ලො බලාගෙන හිටියා, පිල්ලයාන්ට නැගෙනහිර පළාතේ මහඇමතිකම දෙනකොට මේ ගොල්ලො බලාගෙන හිටියා. අපේ ආණ්ඩුවේ සමාජිකයෙකු රටට හෝ පක්ෂයට ද්‍රෝහි වෙනව නම් එයට විරුද්ධ වීමට අපිට අවසර තියෙනවා. ඒ අයට කියන්න කැමතියි අපි හොරු නෙමෙයි අපිට දේශපාලනය කරන හැටි උගන්වන්න අවශ්‍ය නෑ කියන එක. විජයකලා මහේෂවරන් ඇමතිවරියගේ ප්‍රකාශය පිළිබඳව ඉතා ඉක්මනින් පියවරක් ගන්නවා. ඒ සඳහා ජනාධිපතිතුමා හා අගමැතිතුමා සාකච්ඡා පවත්වනවා. ඒකාබද්ධ විපක්ෂයේ අය මේකට නටන්න අවශ්‍ය නෑ. එක්සත් ජාතික පක්ෂයේ තමයි හොරකම් කරපු නැති දේශපාලඥයින් ඉන්නේ, ඒකාබද්ධයේ තමයි 99% ක්ම හොරකම් කරපු අය ඉන්නේ. ඒ කට්ටියට දේශප්‍රේමී වෙන්න බෑ. අපිට වෙන්න පුලුවන්. මේ ප්‍රශ්නෙදි අපි පළමුව අපේ රට ගැන හිතන්නේ. දෙවනුව පක්ෂය ගැන හිතන්නේ. රටට ආදරෙයි කියලා එකාබද්ධ විපක්ෂයේ අයට කතාකරන්න අයිතියක් නෑ.

හිටපු ජනාධිපතිතුමාගේ මැතිවරණ ව්‍යාපාර වලට ඩොලර් මිලියන 7.6 චයිනා හාබර් ව්‍යාපෘතිය හරහා ලබාදීලා තියෙනවා කියලා, මීට සතියකට කලින් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතෙන් අනාවරණය කළා. මේ සල්ලි වලින් ප්‍රචාරක ව්‍යාපාරය සඳහා ජනතාවට ටී ෂර්ට් වලට පමණක් ඩොලර් හය ලක්ෂ පනස්දහසක් වැයවෙලා තියෙනවා. සාරි සහ ජනතා අල්ලස් සඳහා ඩොලර් බිලියන අනූහත්දාහක් ලබාදීලා තියෙනවා. ස්වාමීන් වහන්සේ නමකට ඩොලර් තිස් අටදාහක් දීලා තියෙනවා. ජනාධිපති මන්දිරයේ දෙදෙනෙකුට ඩොලර් මිලියන දෙක ගානෙ චෙක් පත් දෙකක් ලබාදීලා තිබෙනවා. මේ රටට ආදරේ මිනිස්සු නම් උත්තර දෙන්න බැඳීමක් තියෙනවා. පාර්ලිමේන්තුවට ඇවිත් හිටපු ජනාධිපතිතුමාට ප්‍රකාශයක් කරන්න පුලුවන්. එතුමා වෙනුවෙන් කඩේ යන විමල් වීරවංශලාට ප්‍රකාශයක් කරන්න පුලුවන්. නමුත් ඒ අය කරන්නේ නෑ.

සමහර මාධ්‍ය ආයතන මේ වගේ සිදුවීම් ගවේශනාත්මකව වාර්තාකරණය කරන්නේ නෑ. තාම ඒ ගොල්ලන්ට එක්නැලිගොඩලාගේ සෙවනැලි පේනවා ඇති. ලසන්ත වික්‍රමතුංග, කීත් නොයාර්ලට වුණා වගේ වෙයි කියලා බයෙන් ඉන්නවා ඇති. මාධ්‍යවේදීන්ට කියන්න කැමතියි අපේ රජය මාධ්‍ය නිදහස උපරිමයෙන් ලබාදීලා තිබෙනවා. ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්, ජනාධිපති, අගමැති වගේ ඕනෑම කෙනෙක්ට අද මාධ්‍යවේදීන්ව විවේචනය කරන්න පුලුවන්. එක පැත්තකින් බය හිතෙන එක සාධාරණයි හිට්ලර් කෙනෙක්නෙ ගේන්න හදන්නේ. අස්ගිරි පාර්ශ්වයේ අනුනායක හාමුදුරුවො කියන ප්‍රකාශය අපිට මතකයි. ඒත් ඒ ගොල්ලො හදන්නේ හිට්ලර් කෙනෙක් හදන්න. හිටපු ජනාධිපතිවරයාව ගෙදර යැව්වේ එක්සත් ජාතික පක්ෂය නෙමෙයි, මේ රටේ ජනතාව. ජනතාවගේ මුදල් හොරකම් කළාම ස්වභාවධර්මයෙන් දඩුවම් ලැබෙනවා. ඒක තමයි මහින්ද රාජපක්ෂට වුණේ.

නිව්යෝක් ටයිම්ස් පුවත්පත වාර්තා කරනවා ඒ අයගේ ගවේශනවවලට තොරතුරු ලබාදුන්න මාධ්‍යවේදීන් දෙදෙනෙකුට මරණ තර්ජනය කරලා තියෙනවා. ඒ පිළිබඳව රටට හෙළිකළ යුතුයි. ආණ්ඩුවේ පුද්ගලයෝ මාධ්‍යට තර්ජනය කරද්දි මාධ්‍ය හෙළිකරනවා. නමුත් විපක්ෂයේ අය හොරකම් කරලා මීනීමරලා දූෂණ කරපු කට්ටිය ගැන ලියන්න මාධ්‍යවේදීන් බයයි. මේ ඩොලර් මිලියන 7.6 ප්‍රශ්නය විජයකලාගේ ප්‍රශ්නෙත් එක්ක යට ගහන්න බෑ. ඒකාබද්ධයේ අය දැන් බයවෙලා ඉන්නේ.

කිසියම් සමාගමකට පිස්සුවක් නෑ රටක ජනාධිපතිවරයෙකුගේ මැතිවරණයකට නිකරුණේ මුදල් දෙන්න. ඒක ඔවුන් කරලා තියෙන්නෙ ආයෝජනයක් මහින්ද රාජපක්ෂ කරලා තියෙන්නේ ඒවා චීනෙට දීලා මුදල් ගැනීමක්” යැයි අමාත්‍යවරයා පැවසීය.

ඡායා [රොෂාන් පිටිපන] [අසේල ලියනගේ]

මාතෘකා